කතරගම වනාන්තර අක්කර 500ක් ගිනි තබා විනාශ කරලා – කොවිඞ් අස්සේ කැලෑ සුද්ධ කරන කැලෑපාලූවෝ

358

කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කඳසුරිඳුගම, කරවීලේ, ලූණුගම්වෙහෙර රක්‍ෂිත සීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම් සීමාව, සිතුල්පව්ව වන සීමාව, තම්මැන්නාව රක්‍ෂිත වැව් පද්ධතිය ඇතුළු ප‍්‍රදේශවල වටිනා ගස් කපා ලොරි පිට පටවමින්, භූමිය අල්ලාගැනීමේ මහා ඉඩම් කොල්ලයක් සිදුවෙමින් තිබෙන බව ප‍්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ.

කතරගම වනාන්තර අක්කර 500ක් ගිනි තබා විනාශ කරලා - කොවිඞ් අස්සේ කැලෑ සුද්ධ කරන කැලෑපාලූවෝ

කඳසුරිඳු අඩවිය මහ දවල් ගිනිබත් කරමින් තිබේ. සංචරණ සීමාවලින් උපරිම ප‍්‍රයෝජන ගන්නා කාලකණ්ණි කැලෑ පාළුවන් කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මායිම්ව පිහිටි වන සංරක්ෂණ රාශියක් ඉවක්, බවක් නොමැතිව ගිනිබත් කර භූමිය කොල්ලකමින් සිටිති. පවතින රජයේ ප‍්‍රබල මැති, ඇමැතිවරුන්ට හීලෑ වන්දිබට්ටයන්ද ඒ අතර සිටින බව සැලවීමත් සමඟ ගිනිබත් වූ මහ වනයක් සේ මගේ සිත පාළු විය. ඒ යහපාලන රජය සමයේ උතුර, නැගෙනහිර ප‍්‍රදේශවල සිදු වූ මහා වන විනාශය හමුවේ පපු කැවුතු අතට ගෙන කම්පනයෙන් යුක්තව කතා කළ පවතින රජයේ නායකයන් යටතේ රුහුණු රටේ කැලෑ විනාශ වෙයි කියා හීනෙකින්වත් නොසිතූ නිසාය. එහෙත් දේශපාලන කඳවුරු වෙනස් වුවද කාලකණ්ණි ක‍්‍රියාකාරකම්වල කිසිදු වෙනස්වීමක් සිදු වී නොමැති බව මේ කැලෑ කැපීමෙන් සහ රට තුළ සිදුවෙමින් පවතින අකටයුතුකම් හමුවේ දැන් පසක් වෙමින් තිබේ.

කතරගම වනාන්තර අක්කර 500ක් ගිනි තබා විනාශ කරලා - කොවිඞ් අස්සේ කැලෑ සුද්ධ කරන කැලෑපාලූවෝ

‘‘දර කෝටුවක් ඇහිඳගන්න රක්‍ෂිතයට ගියත් කැලෑ මහත්වරු අපිව අත්අඩංගුවට අරගෙන උසාවි දානවා. ඒත් දේශපාලන හයිරන්කාරයන් කැලෑ කපලා ගිනි තියනකොට ඒ කැලෑ මහත්වරු ඇහැක් ඇර බලන්නේ නෑ. ඇතැම් නිලධාරීන්ගේ, ග‍්‍රාමසේවා නිලධාරීන්ගේ සහයෝගයත් ඇතිව හේන් එළිපෙහෙළි කරන මුවාවෙන් මහ කැලෑව විනාශ කරලා කොටු කරගන්නවා. ගිනිබත් වෙන කැලෑ රොද අතරින් දුම් රොඩු අහස උසට ඉගිලෙනවා. ඒත් පරිසර නිලධාරීන්, පරිසරවේදීන් නොදැක්කා සේ ඉන්නවා. මේක පුදුම රටක් මහත්තයෝ. මේකෙ හැම නීතියක්ම ක‍්‍රියාත්මක වෙන්නෙ අපි වගේ පොඩි මිනිස්සුන්ට විතරයි.’’ හදකම්පා කරවන ඒ කතාව අපට කීවේ කතරගම ප‍්‍රදේශවාසියෙකි. මේ ලෝකයේ තවදුරටත් ජීවත්වීමට ඇති කැමැත්ත නිසා ඔහුගේ නම, ගම සඳහන් නොකරන ලෙස අපගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය. ඔහුගේ මරණ බියට සවන් දුන් අපි හඬ පමණක් එසේ වචන කළෙමු.

කතරගම වනාන්තර අක්කර 500ක් ගිනි තබා විනාශ කරලා - කොවිඞ් අස්සේ කැලෑ සුද්ධ කරන කැලෑපාලූවෝ


කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කඳසුරිඳුගම, කරවීලේ, ලූණුගම්වෙහෙර රක්‍ෂිත සීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම් සීමාව, සිතුල්පව්ව වන සීමාව, තම්මැන්නාව රක්‍ෂිත වැව් පද්ධතිය ඇතුළු ප‍්‍රදේශවල වටිනා ගස් කපා ලොරි පිට පටවමින්, භූමිය අල්ලාගැනීමේ මහා ඉඩම් කොල්ලයක් සිදුවෙමින් තිබෙන බව ප‍්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ. එමෙන්ම කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග‍්‍රාම සේවා වසම් පහක් ආවරණය වන පරිදි මෙම රක්‍ෂිත කොල්ලය සිදුවෙමින් තිබෙන බවද වාර්තා වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමිය මේ අයුරින් කොල්ලකමින් සිටිනුයේ කතරගම ප‍්‍රදේශයේ ඉඩම් හිමි ඇති හැකි පිරිස් බවද ප‍්‍රදේශවාසීහු කම්පනයෙන් යුක්තව අපට කීහ. දේශපාලන වන්දිබට්ටයන් වූ ඇති හැකි ඒ භූමි කාපාලූවන්ට ග‍්‍රාම ආරක්ෂක නිලධාරින්, පොලිස් නිලධාරින්, ප‍්‍රාදේශීය දේශපාලඥයින් සහ ව්‍යාපාරිකයින්ගේ ශක්තිය නොඅඩුව ලැබෙන බව ද වාර්තා වේ. තණමල්විල වන සංරක්‍ෂණ අඩවි බීට්ටු නිලධාරී කේ. පී. ධනුෂ්ක ලක්මාල් ද සිදුවෙමින් තිබෙන මහා වන විනාශය සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිළි කළේය.

 ‘‘අපි, නිලධාරීන් තුන්දෙනෙක් සම්බන්ධ වෙලා තමයි මේ වැටලීම සිද්ධ කළේ. මේ මිනිස්සු වන විනාශය කරගෙන යන්නේ මහ කන්නයේ හේන් වගා කරන්න කියලා. වන සංරක්‍ෂණ පනතට අනුව අවශේෂ වනයන්, සංරක්‍ෂණ ඉඩම්, ගම්බද ඉඩම් ලෙස වෙන් කර තිබෙනවා. මේවා ගැන දැනුවත් මිනිස්සු ඇතැම් ග‍්‍රාම සේවා නිලධාරීන්ගේ උපදෙස් පිට ඒ ඉඩම් අල්ලගන්න කටයුතු කරනවා. ඒ වගේම මේ රක්‍ෂිත එළිපෙහෙළි කිරීම යට ප‍්‍රබලයින් ඉන්නවා. ඇතැම්විට ඉඩම් අල්ලන ව්‍යාපාරිකයා, නිලධාරියා හැංගිලා ඉඳගෙන කැලෑව හෙළි කරන කුලීකරුවා නීතිය ඉදිරියට ඉදිරිපත් කරනවා. මේ වන විටත් මේ ඉඩම් එළිකරන පිරිස්වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරමින් නඩු සීයක් පමණ දාලා තියෙනවා.’’ තණමල්විල අඩවි වන නිලධාරී කේ. පී. ධනුෂ්ක ලක්මාල්ගේ කෙටි අදහස් දැක්වීම මේ සටහනට වටිනාකමක් බව අපගේ අදහසය. එහෙත් කතරගම ප‍්‍රදේශවාසීන් පවසා සිටිනුයේ සාමාන්‍ය පිරිස් පමණක් තෝරාගෙන දීර්ඝ කාලයක් ඇදෙන පරිදි නඩු කිහිපයක් ගොනු කර නීතිය ක‍්‍රියාත්මක කළ බව හඟවා ධනය, බලය සහිත ඉඩම් කොල්ලකරුවන් හමුවේ නිලධාරීන් මුණිවත රකින බවය. රක්‍ෂිත විනාශය හමුවේ තම වගකීම ඉටුකිරීම වන සංරක්‍ෂණ නිලධාරීන් හිතා මතාම පැහැරහරින බවය. වන විනාශයට එරෙහිව කතරගම ප‍්‍රදේශවාසීන් එසේ අදහස් ප‍්‍රකාශ කරන විට කතරගම ප‍්‍රාදේශීය ලේකම් ඒ. එම්. නන්දසිරි මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ විවිධ පිරිස් විසින් අල්ලාගෙන ඇති භූමිය වන සංරක්‍ෂණ ප‍්‍රදේශයට අයත් ඉඩම් බවය.

 මේ වන විටත් අක්කර හාරසීයකට වැඩි සංරක්‍ෂිත භූමි ප‍්‍රදේශයක් මෙන්ම වැව් ආරක්‍ෂිත පද්ධති, ඇළවේලී රක්‍ෂිත පද්ධති ඇතුළුව කතරගම ලූණුගම්වෙහෙර, යාල වන උද්‍යානය ආශි‍්‍රත රක්‍ෂිතය ඉඩම් කොල්ලකරුවන් විසින් විනාශයට පත් කර ඇත. ඇතැම් පිරිස් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන මහා කැලෑව විනාශ කරමින් සිටින බව ද වාර්තා වේ. එහෙයින් එම කැලෑ ප‍්‍රදේශවල ජීවත් වූ අලි, ඇතුන්, මුවන්, ඌරන් ඇතුළු විවිධ වන සතුන් වාස භූමිය අහිමිව ගම්වැදීමට පටන්ගෙන තිබේ. ඒ තුළින් ගම්වාසීන්ගේ සහ අසරණ සතුන්ගේ ජීවිත දැඩි අනතුරකට වැටී ඇති බව ද වාර්තා වේ. සතුන් ගම්වැදීමත් සමඟ උද්ගතව ඇති ගැටලූකාරී තත්ත්වය වෙනත් ලිපියකින් සාකච්ඡුා කරන අදහසින් මේ කතාවට මෙසේ අපි තිත තබමු.

 රටේ පවතින දේශපාලනය තවමත් ජනතාවට තේරුම් ගොස් නැත. ඒ අවසරයෙන් අතීතය අමතක දේශපාලනඥයන් කරලියේ රඟති. ඔවුන්ගේ වන්දිබට්ටයන් ඊටත් වඩා රඟති. ඒ රඟහල තුළ රටේ ජනතාව බිල්ලට තබා ව්‍යාපාර කෙරෙති. අතීත උරුමයන් ලෙස ශේෂ වූ මහ වැව්වල බැමි බිඳිමින් ඇවිදින මං තීරු ඉදිකිරීමට පිඹුරුපත් සකස් වේ. මහා රක්‍ෂිත එළිපෙහෙළි වී නොමැරෙන මිනිස්සුන්ගේ බූදල් බවට පත් වෙති. මේ තුප්පහි ක‍්‍රියාකාරකම් ගැන සොයාබැලීමට මෙරට කිසිදු බලධාරියෙක් නැත. එහෙත් හුස්ම සිර වී මිනිසුන් මැරෙන වසංගතයක් පැතිරෙමින් තිබෙන අවාසනාවන්ත පසුබිමක ඔක්සිජන් ලබාදෙන ගස් කපා වනපෙත් විනාශ කරන පව්කාරයන්ට එරෙහිව රටේ නීතිය ක‍්‍රියාත්මක නොවුනද, කතරගම දෙවියන් දඬුවම් නොකෙරුවද, සොබාදහමෙන් ගැලවීමක් නොලැබෙන බව කැලෑ පාළුවන්ට මතක් කර දිය යුතුය.

 * තරංග රත්නවීර
 කතරගම කේ. ඞී. දේවප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment