කතා බහ කරමු,  බත් කමු, විසිර යමු?

1597

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් පැවති සර්ව පාක්ෂික සමුළු අතුරින් අපට වඩාත්ම මතක හිටින්නේ 1984 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවය. 83 ජූලි කලබලයෙන් පසු මෙරට වාර්ගික ප‍්‍රශ්නයට පිළිතුරක් සෙවීම සඳහා පැවති මේ සමුළුවට එ. ජා. ප. යට අමතරව ශ‍්‍රී. ල. නි. ප, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ වෙනත් කුඩා දේශපාලන කණ්ඩායම් පහක් සහභාගි වූහ. මෙම සමුළුවට ජ.වි.පෙ. ට ආරාධනා නොකරන ලද්දේ එම පක්ෂය එකල තහනම් වූ බැවිනි. ඊට අමතරව කොයි වෙලාවේ හෝ මරා දැමීමේ තර්ජනයට ලක්ව සිටි සැබෑ ජේ වී පී කාරයන් සියලූ දෙනා ද සිටියේ සැඟවිලාය. පෙරේදා පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීම සඳහා වර්තමාන ජේ වී පී යට ආරාධනා කළ නමුදු ආණ්ඩුවට විරුද්ධව විරෝධතා රැලියක් සංවිධානය කරමින් සිටි නිසා හෝ වෙනත් කාරණයක් නිසා හෝ අනුර කුමාර දිසානායක එයට සහභාගි වූයේ නැත. ඒ අතර ‘‘දැන් ඕගොල්ලෝ ආණ්ඩුව කළා ඇති ගෙදර යන්න’’ යන වගන්තිය ගෝඨාභයට කීම සඳහා සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වී විශාල කාලයක් ගතකිරීමට අවශ්‍ය නැති බව අනුර දිසානායක විරෝධතා

රැලියේදී කළ කතාව රූපවාහිනිය මගින් ප‍්‍රදර්ශනය කරන ලදී. මෙහිදී වැදගත් කාරණයක් කිව යුතුව තිබේ. රැස්වීම සහ විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීම ගැන සජිත් පේ‍්‍රමදාස ඇතුළු සජබ, අනුර දිසානායකගෙන් උපදෙස් ලබාගත යුතුය. මීට දින කිහිපයකට පෙර රට පුරා පෝස්ටර් ගසා, කතා පවත්වා, නැටුම් නටා, ෆේස් බුක් කැම්පේන් කර ”රට විනාශයි පෙරට එන්න” යන උදෘතය යටතේ සජිත් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණය මෙන් තුන් ගුණයක සෙනගක් ජ වි පෙ රැලියට පැමිණ සිටියහ. මෙම සෙනග කන්දරාව දැකීමෙන් අනුර දිසානායක කීයටවත් නොරැවටෙන බව අපි දනිමු. සංගීත සංදර්ශනය බැලීමට එන සියලූම දෙනා පසු කාලයේදී ගායකයෝ නොවෙති. කෙසේ වුවද අපගේ වැටහීම නම් ‘‘දැන් ඇති ගෙදර යන්න’’ යන වගන්තිය කීමට හෝ ජේ වී පී ය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූයේ නම් හොඳය යන්නය. කෙසේ වුවත් 1984 දී පැවති සර්ව පාක්ෂික සමුළුව සාර්ථක වුණේ නැත. එහිදී කරන ලද යෝජනා දෙමළ ජනයා පිළිගත්තේ නැත. දෙමළ ජනයා කළ යෝජනා ආණ්ඩුව පිළිගත්තේ නැත. සර්ව පාක්ෂික සමුළු, වට මේස සාකච්ඡුා, හතරැස් මේස සාකච්ඡා යනාදී බොහොමයක් පැවතියද මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නය යුද්ධයක ස්වරූපයෙන් තිස් අවුරුද්දක්ම පැවතියේය. අන්තිමට එල් ටී ටී ඊ ය යටත් වුණේ ප‍්‍රභාකරන් ගේ මළ මිනිය රූපවාහිනියෙන් පෙන්වූ පසුය.

සාමාන්‍යයෙන් ගත්කල සර්ව පාක්ෂික සමුළුවක් යනු දේශපාලන පැලැස්තරයකි. එය යුද සමයක පවතින සටන් විරාමයකට සමානය. තුවාලවලට බෙහෙත් දමා ගැනීම සහ ආයුධ නැවත එකතුකර ගැනීම සඳහා එදිරිවාදී පාර්ශ්ව සටන් විරාම කාලය පාවිච්චි කරති. මෙරට සටන් විරාම පැවති කාලයේදී පේ‍්‍රමදාස ආණ්ඩුව දුන් සිමෙන්ති වලින් එල් ටී ටී ඊ සංවිධානය ප‍්‍රභාකරන්ට ශක්තිමත් භූගත බංකරයක් තනා දී සෙසු ත‍්‍රස්තවාදීන් සඳහා ද බංකර් සාදා දුන්නේය. පෙරේදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී සිදුවූ ප‍්‍රමුඛ කාරණය නම් එම සමුළුවේදී ඉදිරිපත් වූ යෝජනා ක‍්‍රියාත්මක කිරීමට කමිටුවක් ඇති කිරීමය. සාමාන්‍යයෙන් මෙවැනි කමිටුවක් ඇති කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා කල්ප භාගයකුත් එම කමිටුවේ ක‍්‍රියාකාරිත්වය සඳහා තවත් කල්ප භාගයකුත් ගතවේ. මෙය ආණ්ඩු තුන හතරක්ම පෙරළෙන කාලයකට සමාන දීර්ඝ කාලයකි. සංවර්ධන අය වැයක් වෙනුවට සහන අයවැයක් ගෙනෙන ලෙසත් බැංකු කඩා වැටීම වැළැක්වීමට ආරක්ෂක දැලක් යොදන ලෙසත් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමුළුවේදී ඉල්ලා සිටියේය.

මෙයින් හැෙඟන්නේ බැංකුවේ බිල්ඩිම කඩා වැටීම නොව බැංකුවේ සල්ලි සේප්පුව කඩා වැටීමය. කොහොමටත් නව අයවැයක් ගෙන එන බවත් අලූත් අවුරුද්දට පෙර ජනතාවට සහන දෙන බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සමුළුවේදී සඳහන් කළේය. ධනවාදී ආර්ථිකයක් තුළ පාරිභෝගික ජනතාවට සහන දෙන ප‍්‍රධාන ක‍්‍රම දෙකක් තිබේ. පළමුවැන්න බඩු මිල අඩු කිරීමය. දෙවැන්න එසේ නොකර ජනතාවගේ වැටුප් වැඩි කිරීමය. මේ දෙවැනි කාරණය කිරීමට මේ වෙලාවේදී යම් තරමක හෝ හයියක් ඇත්තේ රාජ්‍ය අංශයට පමණි. පෞද්ගලික අංශයේ පඩි වැඩිවීමක් තබා තියෙන පඩිය ගෙවා ගැනීමටවත් බැරිය. ඒ නිසා වඩාත්ම සුදුසු කටයුත්ත වන්නේ බඩු මිල අඩු කිරීමය. ආණ්ඩුව පුද්ගලික අංශයට කිසිදු සහනයක් දීමට ලෑස්ති බවක් නොපෙනේ. එසේම පෞද්ගලික මට්ටමෙන් ජනතාවට ද සහනයක් දීමේ කිසිදු පියවරක් ආණ්ඩුව ගන්නා බවක් නොපෙනේ. සිංහල අවුරුද්ද වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ට උත්සව අත්තිකාරමක් දීමට නම් එය රාජ්‍ය බැංකු හරහා සංවිධනය කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුය. ඒ සියල්ලම පැත්තකින් තබමු. ෆිනෑන්ස් එරියස් වූ සියලූ වාහන ලබන මාසයේ සිට උස්සන්නට ෆිනෑන්ස් කොම්පැනි තීන්දු කර තිබේ. ඒ අනුව සර්ව පාක්ෂික සමුළුවේ ඵලදායි නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බැරි වුණොත් එම සමුළුව සමාන වනු ඇත්තේ දේශපාලන නායකයන්ගේ කතා බහකින් පසු දවල් බත් කා විසිර යෑමකට පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment