කතුන්ගේ මාල කැඩූ හිටපු  හමුදා සෙබළු තිදෙනා  ජීව බෝම්බයක්ද සමග අත්අඩංගුවට

69

සොරකම් කළ යතුරුපැදිවලින් ගොස්

සොරකම් කරන ලද යතුරු පැදි වලින් ගොස් සංවිධානාත්මකව, අපරාධ ක්‍රියාවල නිරත වූ හිටපු යුද හමුදා සෙබළුන් තිදෙනකු, ජීව අත් බෝම්බයක් සහ සොරකම් කරන ලද යතුරුපැදි, රන්භාණ්ඩ සමඟ පෙරේදා (17 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ සහ පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු සහ 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මෙම අපරාධ කල්ලියේ නායකයා වන මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි ප්‍රධාන සැකකරු සතුව තිබී මෙම ජීව අත් බෝම්බය සහ සොරකම් කරන ලද එක් යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීම සඳහා රථ වාහන රාජකාරියේ නිරතව සිටි අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශයේ සමීර බණ්ඩාර (38618), නිමේෂ් (61320) යන සැරයන්වරුන් දෙදෙනා සහාය ලබා දී ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් සොරා ගන්නා ලද යතුරු පැදිවලින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල, ගෙවල් බිඳුම්, යතුරු පැදි ඇතුළු සොරකම් රැසක් සිදු කර ඇති බව, ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බවද පොලිසිය කියයි.

සැකකරුවන් සොරකම් කර තිබියදී සොයා ගන්නා ලද යතුරු පැදි දෙකේ සහ එම රන්මාල දෙකේ වටිනාකම ලක්ෂ පහළොවකට ආසන්න බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී (1) සංජීව මහානාම යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතා යටතේ ක්‍රියාත්මක වන නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති උ.පො. ප. ගයාන් රාජකරුණා, උ. පො. ප. වික්‍රමරත්න, පොලිස් සැරයන්වරුන් වන චන්දන (16446), ප්‍රියන්ත (37759), රත්නායක (29856) පො. සැ. රි දයානන්ද (36644), කොස්තාපල්වරුන් වන අජිත් (70066), ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment