කථානායකයි විපක්‍ෂ නායකයි අතර ‘ටොම් පචයා’ ගැටුමක්

177

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) එකිනෙකාට ‘ටොම් පචයා’ යැයි කියා ගනිමින් දෝෂාරෝපණය කර ගත්හ.

පක්‍ෂ නායකයන් ඉල්ලීමක් කළහොත් ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ඊයේ පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී කථානායකවරයා ප්‍රකාශ කළැයි විපක්‍ෂ නායකවරයා කියා සිටියේය.

එහෙත් තමා එවැනි ප්‍රකාශයක් නොකළ බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 ක් සිටීනම් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙන බව ජනාධිපතිවරයා කියූ බවත් කථානායකවරයා පැවසීමත් නිසා විපක්‍ෂ නායකවරයා සහ කථානායකවරයා අතර මෙසේ බහින්බස් වීමක් ඇතිවිය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කියා සිටියේය.

පක්‍ෂ නායක රැස්වීමේදී කථානායකතුමා බොහොම වැදගත් ප්‍රකාශයක් කළා. මේ සභාවේ පක්‍ෂ නායකයන් හැමෝම විසින් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කියා කියනවා නම් එතුමා ලෑස්තියි කියන වචනය ඔබතුමා කිව්වා. අපි සූදානම් ඒ දේ කරන්න. කථානායකුමා අවස්ථාව ලාබදෙන්න. අපි සූදානම් ඒකමතිකව, විපක්‍ෂයේ මේ සියලුම දෙනා ඒ ප්‍රකාශය කරන්න.

(පැය කිහිපයකට පසුව)

කථානායක:- එක කාරණාවක් පැහැදිලි කළ යුතුයි. මේ වන විටත් සමහර මාධ්‍ය ජාලාවල යනවා. ජනාධිපතිතුමා කථානායකට ඉල්ලා අස්වෙන්න සූදානම් කියා ප්‍රකාශ කළා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක්. උදේ සාකච්ඡාවේදී මම එහෙම කිව්වේ නෑ. විපක්‍ෂ නායකතුමා වැරදි විදිහටයි විග්‍රහ කළේ. මම කිව්වේ 113 ක් අරගෙන එතෙන්ට ගියොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කරලා තිබෙනවා කියලයි. ඒක අදත් වලංගුයි. කතා කරලා 113 ක් හදාගෙන යන්න. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න පාර්ලිමේන්තුවේ 225 ට බලයක් නැති බව තමුන්නාන්සේලා තේරුම් ගන්න.

විපක්‍ෂ නායක – පක්‍ෂ නායක රැස්වීමේදී ඔබතුමා දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා සහ මා ඉදිරිපිට හිටියේ. එතැන ඔබතුමා එහෙම ප්‍රකාශ කරලා දැන් නැතැයි කියනවා නම් මට කියන්න සිද්ධවෙනවා ඔබතුමා කියන්නේ අසත්‍යයක් කියලා. ඔබතුමා කිව්වා අපිත් පුදුම වුණා.

කථානායක- ඔබතුමා වැරදි විග්‍රහයක් කරන්නේ.

විපක්‍ෂ නායක- නෑ… නෑ… මම මොකටද මෙතැනට ඇවිත් බොරු කියන්නේ?

කථානායක- මම කිව්වේ 113 ක් අරගෙන එන්න.

විපක්‍ෂ නායක- නෑ. ඔබතුමා එහෙනම් කියන්න ඔබතුමාගේ කතාවේදී ඔබතුමාට වැරදුණා කියලා. මම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කිව්වේ ඔබතුමා කියපු දේ.

කථානායක- සම්පූර්ණ වැරදියි.

විපක්‍ෂ නායක- නැහැ. ඔබතුමා කියන්නේ මම බොරු කියනවා කියලද? මේ වගේ ටොම්පච කතා කියන්න එපා කථානායකතුමනි.

කථානායක- තමුන්නාන්සේ ටොම්පච කියනවා.

විපක්‍ෂ නායක- ඔබ කථානායක නොවෙයි පචයෙක් එහෙනම්. පචයෙක්. බොරු කියන්න එන්න එපා.

කථානායක- බොරු කියන්න එන්න එපා මෙතැන.

(සභාවේ ඝෝෂා)

විපක්‍ෂ නායක- ඔබතුමා ඒක කියනකොට මේ දිනේෂ් ඇමැතිතුමා මම ඉදිරියේ හිටියා. මට කිසිම වුවමානවක් නෑ මේ පච කියන්න. ඔබතුමා කිව්වේ මේ සභාවේ පක්‍ෂ නායකවරු කියනවා නම් විපක්‍ෂයේ නායකවරු නියෝජනය කරන අය. නෑ නෑ 113 කතාවක් කිව්වේ නෑ. 113 අපි ඉස්සරහට පෙන්වන්නම්. ඒ ගැන භය වෙන්න එපා. පක්‍ෂ නායකවරු ඔක්කොම ගිහින් ඉල්ලීමක් කරනවානම් එතුමා ඉල්ලා අස්වෙන්න ලෑස්තියි කියලා ඔබතුමා කිව්වා. ඊට පස්සේ මම කිව්වා අපිට වෙලාවක් අරන් දෙන්න කියලා. මොනවද මේ පච කියන්නේ.

කථානායක- නෑ… නෑ… වැරදි විග්‍රහයක්.

විපක්‍ෂ නායක- ඔබතුමා නිග්‍රහ කරන්න එපා තනතුරට, ටොම්පචයෙක් බව.

කථානායක- තමුන්නාන්සේත් ටොම්පචයක් කියන්නේ.

විපක්‍ෂ නායක- දිනේෂ් ඇමැතිතුමා නැගිටලා කියන්න මම බොරුවක්ද කියන්නේ කියලා. අපි බොරු කියන්නේ නෑ. ඔබතුමා කියපු දේ විකෘති කරලා කියන්න මම මෝඩයෙක්ද?

කථානායක- හරි ඔතනින් නතර කරන්න ඕක.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා- අද උදේ පක්‍ෂ නායක රැස්වීම පටන්ගත්තු වෙලාවේ ඔබතුමා තමයි කිව්වේ පක්‍ෂ නායකයෝ ගිහිල්ලා කියනවානම් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා එතුමා සූදානම් ඉල්ලා අස්වෙන්න කියලා. ඒත් එතුමාට ප්‍රශ්නය වෙන්නේ එතුමා අස්වුණොත් මොකද වෙන්නේ කියන කිව්වේ ඔබතුමා කිව්වා.

කථානායක- එතුමා ආණ්ඩුව දෙන්න සූදානම් කියලයි කිව්වේ.

ලක්‍ෂ්මන් කිරිඇල්ල- ආණ්ඩුව එතුමා දෙන්න ඕනේ නෑ. අපට ගන්න පුළුවන්. අපට 113 තිබෙනවා.

කථානායක- එහෙනම් කරන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment