‘කනකාවා’ට ලක්‍ෂ පහක ශරීර ඇප

368

පුද්ගලයකුගේ කනක් වෙන් වෙන්නම සපාකන ලද සැකකරුවකු රුපියල් ලක්ෂ පහක ශරිර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල වැඩ බලන මහෙස්ත‍්‍රාත් ලලිත් පතිරණ මහතා 05 දා නියෝග කළේය. මෙසේ ඇපමත මුදා හරිනු ලැබුවේ හික්කඩුව, වවුලගොඩ පදිංචි කිංස්ලි රන්ජන් සුබසිංහ නමැති සැකකරුවෙකි. සැකකරු 04දා සවස හතරට පමණ හික්කඩුව මුහුදු වෙරළේදී පුද්ගලයකුට බිම පෙරළා ගෙන පහරදෙනු දුටු ජීවිතාරක්ෂක මුරපළේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියකු එම ස්ථානයට ගොස් සැකකරු අතින් ඇද ඉවත් කර ඇති අතර පහරකා බිම වැටි සිටි පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ දකුණු කන සම්පූර්ණයෙන්ම සපාකා දමා තිබීම නිසා වෙන්වු කනත් සමග වහාම ආරච්චිකන්ද රෝහලට යවා සැකකරු අත් අඩංගුවට ගෙන හික්කඩුව පොලිසියට භාරදී තිබිණි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ තුවාලකරු මේ වනවිට කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවය. සැකකරුගේ නීතිඥයා කියා සිටියේ මෙය මුදල් ආරවුලක් මත සිදුව ඇති බවය. තුවාලකරු සැකකරුගෙන් ලබාගත් ණය මුදලක් ඉල්ලූවිට දෙදෙනා අතර ආරවුලක් ඇතිවූ බවත් එම අවස්ථාවේ දෙදෙනාම බිම වැටුන බවත් බේරෙන්නට කණෙන් ඇල්ලූ විට කණ තුවාල වී ඇති බවත්ය.

හික්කඩුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරු වෙනුවෙන් නීතිඥ සංජන ගමගේ මහතා පෙනී සිටියේය.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment