කන්කරච්චලය

604

2022 ආර්ථික අර්බුදය උත්සන්න වූ සමයේ මෙරට කොහිල පරිභෝජනය 40% කින් ඉහළ නැග තිබූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ ආයතනය පළකළ වාර්තාවක දැක්වේ. 2012 සැප්තැම්බර් සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය 95% තෙක් ඉහළ ගියේය. එය මේ සංසාරයේදී ශ්‍රී ලංකාව විසින් භුක්තිවිඳින ලද දරුණුතම ආර්ථික අර්බුදය වේ. මේ කියන කාලයේදී මේ රටේ මිනිස්සු අතට අහුවෙන ඕනෑම එළවළුවක් කෑමට පුරුදු වූහ. එකල බෝංචි, කැරට්, වට්ටක්කා, වබ්බොටු යන එළවළු වර්ග පරිභෝජනයට ගැනීම 30% න් පමණ අඩුවිය. මේ කියන කාලයේදී රටේ තිබෙන ආර්ථික අර්බුදය නිසා ජනතාව සිටියේ මහත් වූ කෝපයකිනි. සමහරවිට කොහිල පරිභෝජනය නිසා එම කෝපය මර්දනය කරගැනීමට හැකිවුණා වත්ද? කොහිල යනු ෆයිබර් බහුල උදරයට ඉතාම ගුණදෙන සහ අර්ශස් අමාරුවට ඉතාම හොඳ එළවළුවකි. අද මේ රටේ ආහාර අර්බුදය යම්තාක් දුරට සංසිඳී තිබේ.

කොරෝනාව වෙනුවෙන් රට වසා තිබූ 2020 සහ 2021 යන අවුරුදු දෙක හීනයක් මෙන් අපේ මතකය තුළ රැඳී පවතී. මේ අතර තවත් කතාවක් කියමු. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදී කාන්තාවක වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව දැන් හෙළිවී තිබේ. දෙමළ හින්දු කාන්තාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් ඉස්ලාමය වැළඳගෙන පුපුරන ද්‍රව්‍යය ප්‍රවාහනය කළ බවත් සහරාන්ගේ මරාගෙන මැරෙන කල්ලියට එක්වූ බවත් දැනගන්නට තිබේ. අවසානයේදී පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සාරා ජස්මින් ඉන්දියාවට පැනගත් බවට කටකතාවක් ප්‍රචාරය වූ අතර අන්තිමට මෙය මළ කරච්චලයක් බවට පත්විය. යූ ටියුබ් චැනල්වල පෙනී සිටින වෘත්තීයවේදීන් හෝ අපරාධ විශේෂඥ පල්හොරුන්ගේ මතයට අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු සාරා ජස්මින් පණ පිටින් සිටින අයුරුත් ඇය ඉන්දියාවට බෝට්ටුවකින් යන අයුරුත් ඇසින් දුටු අය සිටිති. එසේ වුවද පොලිස් ආරංචි මාර්ගවලට අනුව සාරා ජස්මින් 2019 අප්‍රේල් 26 දා සයින්දමරුදු ප්‍රදේශයේ බෝම්බ පිපිරීමකින් මියගියා පමණක් නොව ඇගේ සිරුර වළ දමාද ඇත. යූ ටියුබ් විශේෂඥයන්ගේ ප්‍රකාශ හේතුවෙන් මේ මළ මිනිය හතර පස් වතාවක්ම ගොඩගන්නා ලද අතර එමගින් සාරා ජස්මින්ගේ දිව්‍යලෝක ගමනද ප්‍රමාද විය. අන්තිමේදී එසේ ගොඩට ගත් මළ මිනියේ ඩී.එන්.ඒ සහ සාරා ජස්මින්ගේ මවගේ ඩී.එන්.ඒ සංසන්දනය කරන ලද අතර මළ මිනියේ තිබූ DNA සාරා ජස්මින්ගේම බව අවසන් විග්‍රහයේදීම හෙළිවිය. දැන්වත් මේ කන්කරච්චලය අවසන් වීම භාග්‍යයකි. එහෙත් යූ ටියුබ් විශේෂඥයන් මේක අත්හරින්නේ නැත. ප්‍රභාකරන් ඉන්දියාවේ සැඟව සිටින බවට නැදුමාරන් සහ ප්‍රභාකරන්ගේ මස්සිනා වන සිවාජිලිංගම් කියන ගොන් කතාව මෙන් සාරා ජස්මින්ද චෙන්නායි නගරයේ කඩයකින් එළවළු ගන්නා බවත් ඒ අහල පහල ලොන්ඩරියකින් රෙදි මැදගත් බවත් දුටු බව කියන විහිළුකාරයන් නැවත නැවතත් යූ ටියුබ්වලින් මතුවීමට ඉඩ තිබේ. කෙනෙක් මළා යැයි කී විට ඔහු ජීවතුන් අතර ඉන්නවා යැයි කීම එක්තරා තියරියකි. මේ තියරිය විකිණිය හැකිය. එම තියරි විකුණමින් ජීවන මාර්ගය සකසාගන්නා කොටස් නිතරම මාධ්‍යවලින් ඉස්මතු වන අයුරු අපට දැකගත හැකිය.

තවත් වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සෑහෙන ප්‍රමාණයකින් අඩුවිය. ඉන්ධන මිල වැඩිවූ විට වෙනත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල සෑහෙන්නට නගී. එහෙත් ඉන්ධන මිල අඩුවූ විට එසේ වැඩිවූ බඩුවල මිල කිසිදු ආකාරයකින් අඩුවන්නේ නැත. පෙට්‍රල් ලීටරය රුපියල් 450 ට ගිය විට ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරෝ එතෙක් රුපියල් 60 ක්ව පැවති පළමුවන ධාවන කිලෝමීටරය රුපියල් 150 ක් බවට පත්කළහ. එතැන් සිට සෑම කිලෝමීටරයක්ම රුපියල් 100 ක් විය. පෙට්‍රල් මිල මීට පෙර අඩුවූ අවස්ථාවේදී ත්‍රිරෝද රථ ධාවන කිලෝමීටර් මිල කිසිසේත්ම අඩුවූයේ නැත. පෙට්‍රල් මිල පෙරේදා ලීටරයක් රුපියල් 60 න් අඩුවුවද ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ගාස්තු ක්‍රමය කිසිසේත්ම වෙනස්වූයේ නැත. එය ඒ ආකාරයෙන්ම පවතී. එසේම ඉන්ධන මිල නැග්ග ගමන් බේකරි කෑමවල මිල වැඩිවිය. ඉන්ධන මිල අඩුවී ඇති මේ අවස්ථාවේදී පාන් රාත්තලක් සත පනහකින්වත් මිල අඩුවී නැත. අපට හැඟෙන පරිදි මේ රටේ සන්නිවේදනයෙහි ලොකු අඩුපාඩුවක් තිබේ. ත්‍රිරෝද රථ රියැදුරන් සහ වෙළෙඳුන්ට දැනගන්නට ලැබෙන්නේ ඉන්ධන මිල වැඩිවීම ගැන පමණි. ඉන්ධන මිල අඩුවූ විට ඒ පිළිබඳ වැටහීමක් ඔවුන්ට නැත. සාමාන්‍යයෙන් එයට හේතු විය යුත්තේ එම ආරංචිය ඔවුන් වෙත සන්නිවේදනය නොවීමය. මෙවිට පාරිභෝගිකයෝ වෙළෙඳුන්ටත් ත්‍රිරෝද රථ රියැදුරෝ වැනි සේවා සපයන්නන්ටත් සාප කිරීමට පටන් ගනිති. මෙයද කන්කරච්ච්චලයකි. අප මේ කන්කරච්චලයෙන් බේරෙන්නේ කවදාද?

ශ්‍රී ලංකාවේ වෙළෙඳාම යනු කිසිදු විනයක් නැති සහ කිසිදු චර්යාවක් නැති ක්‍රියාවලියකි. අපේ වෙළෙඳාම පදනම් වී ඇත්තේ සේරිවානිජ්‍ය ජාතක කතාවේ එන සූරාකෑමේ වෙළෙඳ සංකල්පය මතය. වෙළෙන්දා විසින් ජනතාව සූරා කද්දී මිල පාලන කට්ටිය ඔහේ බලා සිටිති. ඒ ගැන ජනතාව නගන මැසිවිල්ල කෙතරම් ලොකු කන්කරච්චලයක් බවට පත්වුවද ඒ කිසිවක් ඔවුනට ඇසෙන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment