කන්කසන්තුරේ – ඉන්දියා බෝට්ටු සේවාව අප්‍රේල් 29 සිට

174

යාපනයේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අප්‍රේල් මස 29 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 26 දා තහවුරු කොට ඇත.

මේ සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ කටයුතු මේ දිනවල ආරම්භ කොට ඇති බව කී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල් ප්‍රදේශයේ ආගමන හා විගමන කාර්යාල දෙකක් රටවල් දෙක විසින් පිහිටුවන බවද පැවසීය.

මුල් වරට මෙම බෝට්ටු සේවාව සඳහා රටවල් දෙකේම රාජ්‍ය මට්ටමේ යාත්‍රා යෙදවීමට බලාපොරොත්තු නොවන බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් කැඳවන ලද ටෙන්ඩර් පටිපාටියකට අනුව ඉන්ටර් ශ්‍රී (ෂභඔීඍෂ) නමැති සමාගම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහනය ආරම්භ කරන බවත් ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කියා සිටියේය. වරකට මගීන් 150කට ගමන් පහසුකම් සැලසෙන අතර එක් මගියකුට කිලෝ 100 ක් දක්වා බරක් රැගෙන යා හැක. බෝට්ටුවේ ටිකට් පතක් සඳහා ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 50 ක් වශයෙන් හඳුන්වා දී තිබේ.

මෙම ටිකට් පත් සඳහා රජයේ යම් සහනාධාරයක් ක්‍රියාත්මක වන්නේද යන්න මෙතෙක් තීරණය වී නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment