කන්තලේ සීනි කම්හල අසල පතලකින් ගිනි අවි ගබඩාවක් මතුවෙයි

87

ටී 56 මැගසින් හතරක් ජීව උණ්ඩ 152 ක් ඇතුළු බඩු තොගයක් අත්අඩංගුවට

කන්තලේ සීනි කම්හල 10 ඇල රජවැව ප්‍රදේශයේ අතහැර දමන ලද පතල් වළක සුරක්ෂිතව සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් හා ස්වයංක්‍රීය ගිනි අවි කිහිපයක් ඉකුත් 2 වෙනිදා සොයා ගත් බව අග්බෝපුර පොලිසිය කියයි.

මෙසේ සොයා ගත් අවි ආයුධ අතර ටී 56 මැගසින් හතරක්, එම ජීව උණ්ඩ 152 ක්, රිවෝල්වර උණ්ඩ 4 ක්, 84 එස් අවි උණ්ඩ 1 ක්, එස්. එල්. ආර්. උණ්ඩ 2 ක් මිලි මීටර් 9 උණ්ඩ 20 ක්, ටී 56 ගෑස් බටයක් හඬ පාලනය කරන සයිලන්සර් එකක්ද වේ.

මෙම වළ අසල සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් පිරිසක් මෙම බටය දැක වැඩිහිටියෙකුට පැවසීමෙන් පසු ඔහු 119 හදිසි දුරකථන අංශයට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය පැමිණ සියලු ආයුධ තමන් භාරයට ගෙන ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ඉතා සුරක්ෂිතව පොලිතීන් වල ඔතා විශාල ප්‍රමාණයේ එස්ලෝන් බටයක බහා මෙම පතලේ රඳවා තිබී ඇත. පොලිසිය සැකකරුණු ලබන්නේ මෙම අවි ආයුධ තමා සන්තකයේ තබාගෙන සිටි කිසිවෙකු විසින් පොලිස් අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් මෙලෙස සඟවා ගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක මහින්ද වීරක්කොඩි මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි 1 රෝහණ වනිගසේකර මහතාගේ අධීක්ෂණයෙන් අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හපුආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කන්තලේ ඩබ්.එම්.වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment