කන්දකාඩුව පුනුරුත්ථාපනයේ ඇත්තටම සිද්ධ වුණු දේ…

817

මේ වන විට පොළොන්නරුවේ කන්දකාඩුව ගැන මිනිසුන් අතර ඇත්තේ පුදුමය මුසු වූ අවධානයක්. දෙදහස් දහතුනේ අගෝස්තුවේ සිට මේ දක්වා කුඩුවලට ඇබ්බැහි වූ හයදහස් දෙසිය අසූතුනක පිරිසක් පුනරුත්ථාපනය කරමින් මහඟු සේවයක් ඒ ඒ පවුල්වල ජනතාව වෙතත් රටවැසියන් වෙතත් කර තිබිණි. ඒ වග ඉරිදා දිවයින අප වරින් වර කතා මාලාවක් ඔස්සේ සාක්ෂි සහිතව පෙන්වා දුන්නෙමු. එක රැයකින් ඒ සියල්ල යටපත් කොට කළ හොඳ වතුරේ ගසා යන තැනට මේ වන විට වැඩ සිදුව තිබේ.

ඒ තමන් සමග සිටි වයස අවුරුදු තිස් හයක සගයා හමුදාව විසින් මරාදැමුවේ යැයි රැඳවියන් හඬ ගා කීම හරහාය. රටේ මිනිසුන් අද සොයන මේ කතාවේ ඇරඹුම වූයේ ජූනි විසිඅට වැනිදාය. ජූනි විසිදෙවැනිදා දෙමෝදර උඩුවර ප්‍රදේශයේ සිට අයෙක් කන්දකාඩුවේ පුනරුත්ථාපනය වන්නට පැමිණ ඇත. ඔහු වයස අවුරුදු තිස්හයක් වූ රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික රාජපක්ෂය. උඩුවර අංක විසිදෙක නිවසේ පදිංචිව සිට ඇති ඔහු කලක් තිස්සේ, මතට ඇබ්බැහිව සිට ඇති අයෙකි.

● කොමසාරිස් ජෙනරාල් අපට කී දේ

පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි, මොහු සතුව දුම්කොළ තිබී ඇත. ඒ පිළිබඳව පරිපාලනයේ යෙදී සිටින හමුදා නිලධාරීන් ඔහුගෙන් විමසා ඇත්තේ විසිඅටවැනිදා සවසය. ඒ මොහොතේ ඔවුනොවුන් අතර දැඩි බහින් බස් වීමක් ද සිදුව ඇත. බහින් බස් වීම දුර දිගගොස් ඇති බවද දැනගන්නට තිබූ බව ඔහු කීවේය. පසුදින එනම් විසිනවවැනිදා අලුයම ශාරීරික ව්‍යායාම සඳහා ඔහු නොපැමිණි විට, සොයා බැලීමේදී ඔහු මිය ගොස් ඇති බව දැනගත් බව පරිපාලනය තමන්ට කී බව කොමසාරිස් ජෙනරාල්වරයා අපට කීවේය.

● රැඳවියන්ගේ ප්‍රකෝපය

රැඳවියන් කෑ ගසා කීවේ සගයා මරා දැමූ බවය. ශෝකයෙන් සහ දැඩි ආවේගයෙන් කෑ ගැසූ රැඳවියන් සිය සගයාගේ මෘත දේහය ඔවුන් සතු කොට ගෙන තිබිණි. ඔවුන් කියා සිටියේ, සිය තරුණ සගයා හමුදාව විසින් පහර දී මරා දැමූ බවය. ඔවුන්ගේ ආවේගය කොතෙක්ද යත් පොලිසියටවත් හමුදාවටවත් දේහය අසලට යෑමට පවා නොහැකිව තිබිණි.

රැඳවියන් කෑමොර ගසමින් ඉල්ලා සිටියේ තම සගයාගේ මරණයට සාධාරණය ඉටු කොට දෙන ලෙසය. එසේ නොවුණහොත් තවත් මොහොතක තවත් මරණයක් සිදු විය හැකි බව කියමින් ඔවුහු කෑ ගෑවෝය. නැවත මෙවැනි මිනීමැරුම් කිසිම කඳවුරක් තුළ හෝ සිරමැදිරියක් තුළ සිදු විය යුතු නැති බවද පුනරුත්ථාපනය වෙමින් සිටි මේ රැඳවියෝ පැවසූහ. එපමණක් ද නොව විසි නව වැනි දා සවස හතරයි තිහ වන විටත් රැඳවියෝ සිය සගයාගේ දේහය රැගෙන පාරක් පාරක් ගානේ ඇවිදිමින් කෑ මොර දුන්හ. අවසානයේ හමුදාවට සහ පොලිසියට සිදුවූයේ දෙපස සිට රැකවල් ලා රැඳවියන්ට ආරක්ෂාව ලබාදීමටය.

● හමුදාවේ එරෙහි වීම

රැඳවියන්ගේ චෝදනාව හමුදාව තරයේ ප්‍රතික්ෂේප කළහ. කන්දකාඩුවේ හමුදාව කියා සිටියේ රැඳවියන් අතර ගැටුමක් පැවති බවත් ඝෝෂාකාරී හඬක් ඇසෙන විට එහි ගොස් බලන විට ඔහු මියගොස් සිටි බවත්ය. දෙපිරිසක් අතර ඇති වූ ගැටුම නිරාකරණය කිරීමට ඔහු ගිය බවද හමුදාව කීය. රැඳවියන් හමුදාව වෙත කරන චෝදනා එකහෙළාම ප්‍රතික්ෂේප කරන බව හමුදාව දිගින් දිගටම කියා සිටියහ.

● පොලිසිය අපට කී කතාව

කන්දකාඩුව පුනුරුත්ථාපනයේ ඇත්තටම සිද්ධ වුණු දේ…

වැලිකන්ද පොලිසිය කියා සිටියේ 29 දා අලුයම රැඳවියන් සිටි නේවාසිකාගාර ප්‍රදේශයෙන් ඝෝෂාවක් ඇසුණු බවත් ඒ බව නිරීක්ෂණයට ගිය පසු හමුදාව සහ රැඳවියන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් බවත් තමන්ට වාර්තා වී ඇති බව ය.

එම අවස්ථාවේදී ප්‍රකෝප වූ රැඳවියන් පිරිස කඳවුරේ දේපළවලට අලාභානි කර ගල් මුල් ප්‍රහාර එල්ල කොට කඳවුරෙන් පලා ගොස් ඇති බවද වැලිකන්ද පොලිසිය කීවේය තත්ත්වය පාලනය කිරීමට යුද්ධ හමුදාව විසින් වැලිකන්ද, මනම්පිටිය,

මැදිරිගිරිය, සුංගාවිල යන පොලිස් ස්ථානවලින් විශේෂ පොලිස් කණ්ඩායම් ඒ මොහොතේ ගෙන්වා තිබිණි. එහෙත් එක් පොලිස් නිලධාරියෙකුටවත් මරා දැමූ බව කියන රැඳවියාගේ සිරුර තිබෙන ස්ථානයට යන්නට කිසිදු රැඳවියෙක් ඉඩ දුන්නේ නැත. ඔවුහු සිටියේ දැඩි ආවේගයකිනි.

● ආවේගයෙන් වූ විනාශය විකල් වූ පරිද්දෙන් හැසිරුණු

රැඳවියන් කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වූ දේපළ විනාශ කළහ. ඔවුන්ගේ ප්‍රහාරවලින් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට අයත් බස් රථ දෙකකට ද යතුරුපැදියකටද කඳවුරේ දේපළවලට ද දැඩිසේ හානි සිදුවී තිබිණි. මේ අතර කඳවුරෙන් පලා ගිය රැඳවියන් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සුංගාවිල බීට්ටු කාර්යාලයට පහර දී එහි දේපළවලට ද හානිකර ඇඳුම් සහ තවත් ලිපි ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බව පොලිසිය කියා සිටියහ. යුද හමුදාවට සහ පොලිසියට රැඳවියන්ගෙන් එල්ල වූ ගල් මුල් ප්‍රහාරවලින් හමුදා සෙබළෙකු ද තුවාල ලැබීය.

● පශ්චාත් මරණ පරීක්ෂණය සැකකටයුතු ලෙස මියගිය

රැඳවියාගේ මූලික පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු 29 දින සවස පොළොන්නරුව එම්. එම්. ෆාතිමා මහත්මිය විසින් සිදුකළ අතර එම ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව රැඳවියාගේ මළ සිරුර රෝහලට ගෙනයෑමට රථයකට දැමීමට යනවාත් සමගම කඳවුරේ රැඳී සිටි තවත් රැඳවියන් හාරසියයකට අධික පිරිසක් මළසිරුර ඔවුන් භාරයට ගත්හ. මළ සිරුර පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මැදිහත් වීමෙන් සිදු කරන සියලු පරීක්ෂණ සඳහා මළ සිරුර පොළොන්නරුව රෝහලට ගෙන යා යුතුව තිබූ නමුත් රාත්‍රී වනතුරුම රැඳවියන් ඒ සඳහා ඉඩක් ලබා දුන්නේ නැත.

● රැඳවියන් සොයා හඹා යෑම

පොළොන්නරුව සෝමාවතිය රක්ෂිතය තුළ සැඟව සිටියදී තවත් හතළිස් හත් දෙනකු පොලොන්නරුව පොලිසිය විසින් ද සොයාගෙන තිබිණි. ඒ අනුව කලහකාරී ලෙස හැසිරුන කඳවුරෙන් පලා ගොස් සිටි රැඳවියන් හයසියයකට ආසන්න පිරිසකගෙන් 248 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් කර ගැනීමට හැකිව තිබිණි.

තවත් රැඳවියන් 126 ක් පමණ අතුරුදන්ව ඇත. සම්බන්ධයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා ප්‍රකාශ කොට සිටියේ හිඟුරක්ගොඩ, පුලස්තිපුර, පොළොන්නරුව පොලිසි ඒකාබද්ධව හමුදාවේ ද සහාය ඇතුව තවදුරටත් මෙහෙයුම් පවත්වන බවත් ඒ සඳහා තඹාල, සුංගාවිල, සෝමාවතිය, ගල්කැටිදමන යන ප්‍රදේශවල රැඳවියන් සොයා විශේෂ වීමක්ද ක්‍රියාත්මක කර ඇති බවද ඔහු කීවේය.

● අපක්ෂපාතී පරීක්ෂණයක්..

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි තවදුරටත් මෙසේ කියා සිටියේය. නොසිතූ විරූ අන්දමින් ශෝචනීය සිද්ධියක් කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවී තිබෙනවා.

එදින රාත්‍රියේ ඔහු නිදාගන්න ගොස් ඇති අතර උදෑසන ශාරීරික අභ්‍යාසවලට රැඳවියන් යොමු කිරීමේදී මොහු නොපැමිණියේ ඇයිදැයි සොයා බලන විට ඔහු මිය ගොස් ඇති බව කන්දකාඩු පරිපාලනය මා සමග ප්‍රකාශ කොට සිටියා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් අසාමාන්‍ය තත්ත්වයන් තිබෙනවා. මේ පිළිබඳ අප දැඩි ලෙස අපක්ෂපාතී පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කොට තිබෙනවා.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙක් තමන්ගේ නිවසේ සිටිනවා නම් ඔහුගේ තත්ත්වය කුමක්ද යන්න ඕනෑම පුද්ගලයෙක් ඉතා හොඳින් දන්නවා. කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ වෙන විට පුනරුත්ථාපනය වෙමින් සිටි පිරිස 997ක්.

ඒ පිරිසෙන් උදෑසන සිදුවූ සිද්ධියත් සමග එලියට පැන ගිය පිරිසෙන් 258 දෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත් කොට අධිකරණය හමුවට යොමුකොට තිබෙනවා. ඔවුන් බන්ධනාගාරගත කරනු ලබනු ඇති.

තවත් දෙසිය පහළොස් දෙනෙක් මේ මොහොතේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ රැඳී සිටිනවා. ඉතිරි පිරිසෙන් කොටසක් පිළිබඳ මේ වන විට සොයා බලනවා සහ ඉතිරි පිරිස මේ මොහොතේ මියගිය පුද්ගලයාගේ මළ සිරුර කර තබාගෙන පාරක් පාරක් ගානේ කෑගසමින් ඇවිදිනවා. මෙල්ල කිරීම ලේසි පහසු නැහැ. ඒ හේතුවෙන් ම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය යුද හමුදා නිලධාරීනුත් යොදවා දැනට ඔවුන් ආරක්ෂිත ලෙස ගමන් කරනවා.

කන්දකාඩුවේ සිටින්නේ මත් ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූ පිරිස්. ඔවුන් මුල් මාස දෙක තුන කාලයේදී පාලනය කිරීම අතිශය අමාරුයි. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පිරිස් මත්ද්‍රව්‍ය නැතුව සික් එකෙන් ගත කරන්නේ. උන්ව මෙල්ල කරනවා කියන එක පහසු නැහැ. නමුත් මම තරයේ මගේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ කිසිම මොහොතක ඔවුන්ට පහරක් නොගසන ලෙසයි. මේ පිරිස් පුනරුත්ථාපනය කිරීම සඳහා අප සතුව විවිධ ක්‍රමවේද තිබෙනවා.

මෙම ස්ථානයේ මේතාක් මෙහි රැඳවියන් ඉතා ආරක්ෂාකාරී ලෙස සිටි බව මම වගකීමෙන් යුතුව කියනවා. අපටත් වුවමනා කරන්නේ මේ පිරිස් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමයි. එය පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා මමත් මගේ නිලධාරීන් සියල්ල ඉතා කැපවීමෙන් කටයුතු කරන බව මම නැවතත් මතක් කරන්න කැමතියි. යම් හෙයකින් ඊට පරිබාහිරව යමක් සිදුවී ඇත්නම් ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මම නොපැකිලී ඉදිරිපත් වන බව කියන්න කැමතියි…”

● කන්දකාඩුවේ අවනඩුව

කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරක් බවට පත්වූයේ වසර දෙදහස් අටේදීය. ඒ අතහැර දමා තිබූ ගොවිපළක් සකසා එල්ටීටීඊ සොල්දාදුවන් වෙනුවෙන් පුනරුත්ථාපන කඳවුරක් ඉදි කිරීමෙනි. අනතුරුව මෙය මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන කඳවුර බවට පත්විය.

රටපුරා සෑම ප්‍රදේශයකම පාහේ කුඩු, ගංජා, කොකේන්, අයිස් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන්, සමාජ විරෝධීන් ලෙස පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණ නියෝග මත පුනරුත්ථාපනයට යොදවා සිටින පිරිස්. දහස් ගණනක් කන්දකාඩුවටත් සේනපුරටත් යවා යහපත් මිනිසුන් ලෙස යළි සමාජයට මුදාහරින වික්‍රමයක් එහි සිදුවිය.

වසර ගණනාවක් පුරා රටේ පවුල් දසදහසක පිරිසකගේ හදේ ගින්දර නිවමින් ඉමහත් සේවයක් කළ ද කන්දකාඩුවට අද සිදුව ඇත්තේ කිරි කළයට ගොම බින්දුවක් එක්කළා හා සමාන විපත්තියකි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment