කන්දකාඩු තවමත් කලහකාරීයි

480


යුදහමුදා 23 සේනාංකයට අයත් 233 බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර ඊයේ (06) ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය අද (07) දහවල් වන විටත් පැවති අතර යුද හමුදාව සහ පොලිසිය තත්ත්වය පාලනය කිරීමට පියවර ගනිමින් තිබිණි.

කොළඹ ප්‍රදේශයේ සහ ගාල්ල ප්‍රදේශයේ රැඳවියන් දෙපිරිසක් ඊයේ පස්වරුවේ දියනෑමට ගිය අවස්ථාවේ බාල්දියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්න් බස් වීමක් දුරදිග යෑමෙන් රාත්‍රී 8.30 ට පමණ මෙම ගැටුම හටගෙන ඇත.

සිද්ධියන් අද දහවල් වන විට යුද හමුදා සෙබ⁣ළෙත් සහ රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබිණි. ඒ අතරින් හමුදා සෙබළා සහ එක් රැඳවියකු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිස් එම කඳවුරු වූ භූමියේ තිබූ යුද හමුදා අවි ගබඩාව කඩා අවි ආයුධ ලබා ගැනීමට උත්සාහ දරා ඇතත් යුධ හමුදා සෙබළුන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කර ඇත.

පසුව කලහකාරී පිරිස කඳවුරු භූමියේ තිබූ භාණ්ඩ ගබඩාවේ දොරගුලු කඩා කැති පොරෝ ආදිය අතටගෙන ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් කඳවුරේ වූ දේපළවලට ද හානි සිදුකර තිබේ.

සිද්ධියේදී පහරකෑමට ලක්වූ රැඳවියන් 150 දෙනෙකු පමණ පලාගෝ ඇති අතර ඔවුන් ඒ ආසන්නයේ සෝමාවතිය කන්දකාඩු මාර්ගයේ තාවකාලිකව ස්ථාපිත කර ඇති යුධ හමුදා මාර්ග බාධක වෙත පැමිණ බාර වෙමින් සිටින බව යුද හමුදාව සඳහන් කරයි.

එහිදී ගල්මුල්වලින් පහර දෙමින් හමුදා භට නිවාසවලටද දැඩි අලාභහානි සිදුකර තිබේ.

යුද හමුදා පුහුණු පාසල මාදුරුඔයල පාබල පුහුනු පාසල මින්නේරියල 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවල 09 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවල 6 වැනි ගජබා රෙජිමේන්තුවල 12 වැනි ගැමුණු හේවා බළඇණිය යන හමුදා කණ්ඩායම්වල භට පිරිස් අද දහවල් වනවිට පොලිසිය සමග එක්ව කන්දකාඩු කදවුර වෙත පැමිණ මෙහෙයුමක් අරඹා තිබිණි.

මෙම පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 537 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා රඳවා සිටි අතර අද දහවල් වන විට එයින් රැදවියන් 350 දෙනකු පමණ හමුදාව භාරයේ කඳවුරේ එක් පසෙකට වී සිටි බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් පැවසීය.

තවත් රැදවියන් විශාල පිරිසක් කඳවුරේ අනෙක් පසට වී තවදුරටත් කලහකාරී ලෙස හැසිරෙමින් සිටින බව ද බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment