කන්දකාඩු වධකාගාරයක්ද?

396

වැරදුණු අපට ඇයි මෙහෙම කරන්නේ – රැඳවියෝ පිරිසක්

පාතාල කල්ලි හදන්න කුඩු ජාවාරමනුත් රිංගලා!

පැන්න රැඳවියන් අල්ලන්න දිගටම මෙහෙයුම්

වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වුවත් මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පිරිසක් ඒ තුළට උපක්‍රමශීලීව පැමිණ පාතාල කල්ලි නිර්මාණය කර ගැටුම් ඇති කරන බව එම කඳවුරේ උසස් නිලධාරියෙක් හෙළිකර සිටී.

ඊයේ (25 වැනිදා) අලුයම් කාලයේ ගැටුම ද එවැන්නක් යැයිද පැවසූ එම නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පිරිස පොලිසිය හා අනෙකුත් නෛිත ක්‍රියාමාර්ග හරහා වසර පහළොව, විස්ස සිරගතවීම වළක්වාගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඒමට පටන්ගෙන ඇතැයි සැක මතුවී තිබෙන බවද හෙතෙම පැවැසීය.

ඊයේ (25 වැනිදා) අලුයම් කාලයේදී ද මෙම කල්ලි අතර ඇතිවූ ගැටුමකින් පසු ජීවිත බේරාගැනීම සඳහා රැඳවියන් සියයක් පමණ කඳවුරෙන් පැන පලාගිය බවත් මෙම වසරේ ජනවාරි මස සිදුවූ දෙවැනි සිද්ධිය මෙය බවත් හෙතෙම සඳහන් කළේය. ඒ අනුව පලාගිය රැඳවියන්ගෙන් පිරිසක් යළි ඊයේ (25 වැනිදා) පෙරවරුවේ භාරවී ඇත. දහහත්දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. තවත් විසි දෙදෙනකු පලාගොස් සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ඊයේ (25 වැනිදා) අලුයම වනවිට කඳවුරෙන් පලාගොස් සිටි විශාල පිරිසක් කඳවුරට යළි පැමිණි බවයි. තවත් දාහත්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවත් පලාගිය විසිපස්දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පන්සියයක් පමණ පුනරුත්ථාපනය වෙමින් සිටින බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් යොමු කරන්නේ අධිකරණ නියෝග මත බවද ඒ මහතා කීය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් තම මවගේ ගෙලබැඳි රන්මාල, වළලු ගලවා දමන තරමට දරුණු අය බවද කෙලෙස හෝ මුදල් සොයන එවැනි අය ගාල්ල, මාතර, ගම්පහ ආදී වශයෙන් කල්ලි ගසාගෙන පුනරුත්ථාපන කඳවුර තුළ පාතාල කල්ලි නිර්මාණය කරගන්නා තැනට පත්කරගෙන ඇති බවද කොමාසරිස් ජනරාල්වරයා කීය.

ඉකුත් 2023 වසරේදී ද පුනරුත්ථාපන කඳවුර තුළ මෙවැනි ගැටුම් අවස්ථා හතරක දී පමණ සිදුවූ බවද ඒ මහතා කීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර ඔවුන් සාමාජගත කිරීමේ නිසි ක්‍රමවේදයක් කඳවුරු තුළ සිදුවන බවද ඒ මහතා පැවැසීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කඳවුර තුළට ඇතුළුවී තිබෙන චෝදනාව සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි බවත් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ඇතැමුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ අය නොව, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බවට නිරීක්‍ෂණය වී ඇති බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ඒවා ගෙන්වන පිරිස සූක්‍ෂමව හා සැලසුම් සහගතව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට එන්නේද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බවද ඒ මහතා කීය. එනිසා මේ පිළිබඳව පොලිස් විමර්ශනවලදී වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවද ඒ මහතා කීය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය වෙනස් කිරීම මීට විසඳුමක් නොවන බවත් දැනටමත් කඳවුරේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ බි්‍රගේඩියර් වෙනුවට වෙනත් අයකු පත්කර ඇති බවත් ඒ මහතා පැවැසීය.

මේ අතර පුනරුත්ථාපන කඳවුරෙන් පලාගොස් පසුව භාරවූ රැඳවියන් කියා සිටියේ කඳවුරේ 05 සහ 06 පන්තිවල සිටින පැරණි රැඳවියන් තමන්ට පහරදෙන බවයි. එවන් මොහොතක ජීවිත බේරා ගැනීම සඳහා කඳවුරෙන් පැනයෑම හැර විකල්පයක් නැතැයිද ඔවුහු කියා සිටිති. මේ තත්ත්වයට වහා විසඳුම් දෙන ලෙස ද කඳවුරේ පහර කෑමට ලක්වූ රැඳවියෝ ඉල්ලා සිටිති.

මේක වධකාගාරයක් වෙලා. අපිව පුනරුත්ථාපනය කරනවා කියලා ගහලා මරලා දාන තැනට මෙතැන පත්වෙලා. අපිට ජීවිතය වැරදුණු තැනක් තියෙනවා. අපිව හරි මගට ගන්නවා මිසක් මෙහෙම කරන්නේ ඇයි? ඒ නිසා අපිට සිදුවී තිබෙන දේට විසඳුමක් දෙන්න. අපි හැම පැත්තෙන්ම තැලෙනවා, සාධාරණයක් ඉටුකරන්න යැයි ඔවුහු කියති.

ශිරාන් රණසිංහ, කරුණාරත්න ගමගේ, රොෂාන් තුෂාර, ඇළහැර නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment