කන්දකාඩු සිද්ධිය ; – (ඒ රැඳවියෝ අපගේ දරුවෝ ය)

572

2019 දී චීනයේ හටගත් කොවිඩ්-19 2020 අවුරුද්දේ දී ශ්‍රී ලංකාවට ඇතුළුවන්නේ මුළු රටම සංත්‍රාසයට පත් කරමිනි. ඒ කියන කාලයේදී මේ රටේ ජනතාව කොවිඩ් ගැන සිතන ලද්දේ වසූරිය හෝ ඒඩ්ස් වැනි රෝගයක් ලෙස ය. ඒත් කාලයාගේ ඇවෑමෙන් කොවිඩ් වසංගතය කොරෝනා යන වචනයට සීමා වී කැස්ස, හෙම්බිරිස්සාව හෝ උණ වැනි සීමාසහිත රෝගයක් බවට පත්විය. කොවිඩ්-19 වසංගතය විසින් අප වෙත මතක කිහිපයක් ඉතිරිකර තිබේ. ඉන් පළමුවැන්න වන්නේ දීර්ඝකාලීන ඇඳිරිනීතියයි. දෙවනුව ලංකා ඉතිහාසයේ මුල් වතාවට මුළු රටම මාස්ක් පාවිච්චි කිරීමට පටන් ගන්නේ ද කොවිඩ් සමයේදී ය. ඒ අතර පසුකාලයේදී රට නන්නත්තාර වීමට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස ද කොවිඩ් 19 වසංගතය හඳුන්වා දෙනු ලැබේ. මීට අමතරව මේ රටේ ජනයාට කන්දකාඩු යන වචනය කටපාඩම් වන්නේ කොවිඩ් වසංගතය නිසා ය. කන්දකාඩුව යනු පොළොන්නරුව ආසන්නයේ පිහිටි ගම්මානයකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ පිරිස් පුනරුත්ථාපනය කරන සුවිශාල මධ්‍යස්ථානයක් මෙහි තිබේ. කොවිඩ් වසංගතය පටන්ගැනීමෙන් පසු එම රෝගය ආසාදිත වූ ජනයා නිරෝධායනය කිරීම සඳහා විශාල මධ්‍යස්ථානයක් රටට අවශ්‍ය වූ අතර එකෙනෙහිම කන්දකාඩුවේ මත්ලෝලීන් පුනරුත්ථාපනාගාරය කොවිඩ් නිරෝධායනාගාරයක් බවට පරිවර්තනය කරන ලදි. මෙතැන් පටන් මිනිස්සු කොවිඩ් හැදෙනවාට වඩා බියවූයේ කන්දකාඩුවට යෑමටය. ලැබුණු වාර්තාවලට අනුව කන්දකාඩු නිරෝධායනාගාරය අන්තිම සවුත්තු තැනකි. හැබැයි මේ නිරෝධායනාගාරය පටන්ගන්නා විට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අලුතින් සාදන ලද නවීන වැසිකිළි, උසස් පහසුකම් සහිත වාට්ටු කන්දකාකඩුවේ තිබෙන බව ටීවී වලින් පෙන්වන ලදි. ටික කලක් ගතවන විට ඒ වැසිකිළි ජරපත් වූ බවත්, රෝගීන්ගේ වාට්ටු වැසිකිළි බවට පරිවර්තනය වී තිබූ බවත් දැන ගන්නට ලැබිණි. කන්දකාඩු නිරෝධායනාගාර සිද්ධියේදී කන්දකාඩුව තරමටම එවකට යුද හමුදාපතිව සිටි ශවේන්‍ද්‍ර සිල්වා ද ප්‍රසිද්ධියට පත්විය. මේ වන විට පොඩි පොඩි සීන් සහ සමහර කේස් නිසා ශවේන්‍ද්‍ර සිල්වාගේ නම වැඩිපුර කියැවෙන්නේ නැත. කෙසේ වුවද කන්දකාඩුව පිළිබඳ අඳුරු මතකය තවමත් ඉතිරිව පවතී.

කොරෝනා වසංගතය නිමවීමෙන් පසු මත්ලෝලී පුනරුත්ථාපනාගාරයක් වශයෙන් කන්දකාඩුව යළි ප්‍රසිද්ධියට පත්වීමට පටන් ගත්තේය. ඒ අතර වසරකට අවස්ථා කිහිපයකදී ම කන්දකාඩුවෙන් කිසියම් කළබලයක් වාර්තා විය. මේ පිළිබඳ අලුත්ම කළබලය හටගන්නේ ඉරිදා රාත්‍රියේදී ය. කන්දකාඩුවේ සිටින මත්ලෝලී රැඳවියෝ 100 ක් පමණ හිටි හැටියේම ගුටිකෙළ ගන්නට පටන් ගත්හ. ඉන් පසු ඒ සියලුම දෙනා පුනරුත්ථාපනාගාරයෙන් පැන ගියහ. ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් අවි ගබඩාවක් කන්දකාඩු මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ තිබේ. රැඳවියන් පිරිසක් පැන එය අල්ලා ගන්නට තැත් කළහ. ඒත් යුද හමුදාව මැදිහත් වී ඔවුන් විසිරුවා හරින ලදී. ඒ අතර පැන යමින් සිටි පිරිසෙන් රැඳවියන් 25 දෙනෙක් ආපසු හමුදාවට භාර වූහ. මේ සිද්ධිය පිළිබඳ වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම කැඳවනු ලැබ ඇත. මෙය වඩාත් භයානක වන්නේ කන්දකාඩු මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ තිබෙන අවි ගබඩාව රැඳවුම්කරුවන් අතට පත්වූයේ නම් සිදුවිය හැකිව තිබූ ව්‍යසනයයි. පුනරුත්ථාපනයට ගෙනෙන ලද මත්ලෝලීන් ගතකරන්නේ බලවත් පීඩාවකින් යුතු ජීවිතයකි. මත්ද්‍රව්‍යවලට පුරුදු වූ පුද්ගලයකුට නිතැතින්ම මත්ද්‍රව්‍ය අවශ්‍ය ය. එහෙත් කන්දකාඩුවේදී මත්ද්‍රව්‍ය නොලැබේ. ඒ වෙනුවට මත්ද්‍රව්‍යවලින් ඈත්වීමට අවශ්‍ය ඖෂධ වර්ග පමණක් ඔවුනට ලැබේ. එහෙත් පුනරුත්ථාපනයට ගෙනෙන මත්ලෝලීන්ට මුල් අවදියේදී මේ තත්ත්වය දරාගැනීමට නොහැක. අරක්කු බීමට පුරුදු වූ බේබද්දා බීමට අරක්කු නැති විට සර්ජිකල් ස්ප්‍රීට් පවා පානය කරයි. මත්ද්‍රව්‍ය පිළිබඳ තත්ත්වය ද ඒ හා සමානය. කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනාගාරය වැනි සංවේදී තැනක ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් අවි ගබඩාවක් පවත්වාගෙන යන්නේ කවර කාරණයක් නිසාදැයි අපට නොතේරේ. සමහර විට එය යුද හමුදාවේ ලොක්කන්ට පමණක් තේරෙන, සාමාන්‍ය ජනතාවට නොතේරෙන රහසක් විය යුතුය. ස්ත්‍රී දූෂකයකුගේ භාරකාරත්වයට කුලඟන සමිතියක් පත්කළ විට විශාල අනර්ථයක් සිදුවේ. අපට දැනෙන පරිදි කන්දකාඩුවේ අවි ගබඩාව මතුයම් දිනකදී විශාල විනාශයක් ඇති කරනවා ඇත.

මේ අවුරුද්දේ ජූනි මස 29 වැනිදා ද මෙබඳුම සිද්ධියක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා විය. එදා රාත්‍රියේදී රැඳවියන් අතර දරුණු ගුටිකෙළියක් හටගත් අතර එක රැඳවියෙක් මිය ගියේය. ඒ අතර රැඳවියන් 600 ක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගියහ.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනය කරන තැන්වල මෙවැනි තත්ත්වයන් හටගැනීම ස්වභාවික දෙයකි. එහෙත් හයමාසයකට සැරයක් මෙවැනි දෙයක් හටගත්තොත් එයින් හැඟී යන්නේ එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ දිගින් දිගටම පවතින නරක තත්ත්වයක් තිබෙන බව ය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ සිටින ආරක්‍ෂකයන් හා නිලධාරීන් මත්ලෝලී රැඳවුම්කරුවන්ට ඉතා දරුණු ලෙස පහරදෙන අවස්ථා තිබේ. සමහර විට එම රැඳවුම්කරුවෝ පාලනය කර ගැනීමට නොහැකි තරමට දරුණු වෙති. එවැනි අවස්ථාවල අවම බලය පාවිච්චි කිරීම නීත්‍යනුකූලය. අවම බලය පාවිච්චි කිරීමේදී බැටන් පොලු යොදාගනු ලැබේ. එහෙත් අපේ රටේ පුරුද්දට අනුව අවම බලය යෙදීම සඳහා යොදාගනු ලබන්නේ මෝල්ගස් ය. මෝල්ගසකින් පළවැනි පහර කනවිටම පහර කන එකා මියයයි. කන්දකාඩුවේ සිටින්නේ පසුගිය ශතවර්ෂයේදී සමාජය විසින් නිර්මාණය කරන ලද වඩාත්ම නරක අර්බුදය වූ මත්ද්‍රව්‍යවලට බිලි වූ තරුණ පිරිස් ය. මේ තරුණයෝ මේ සමාජයේ දරුවෝ ය. ‘සිරකරුවෝද මනුෂ්‍යයෝ’ යැයි වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයේ ලොකුවට ලියා ඇත. එසේම කන්දකාඩුවේ මත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින තරුණ පිරිස ‘අපේ දරුවෝය’ යනුවෙන් සැලකීම අප සැමගේ වගකීමය.

advertistmentadvertistment
advertistmentadvertistment