කන්දෙ විහාරයේ විහාරාධිපති ලෙස රගපා මාරුව අවලංගු කර ගැනීමට ගිය සීඅයිට වැඩ වරදී

936

තමන් අළුත්ගම කන්දේ විහාරයේ විහාරාධිපති හිමියන් යැයි කියමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට දුරකථනයෙන් කතා කර තම ස්ථාන මාරුවීම අවලංගු කර ගැනීමට උත්සාහ කළ කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිසියක රාජකාරි කරන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.

කළුතර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගෙන් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

පොලිස් ආරංචිමාර්ග පවසන අන්දමට මෙම සිද්ධිය වී ඇත්තේ පසුගිය 14 වැනිදාය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකථනයට කතා කර තමන් කන්දෙවිහාරයේ විහරාධිපති හිමියන් බව කියමින් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුගේ මාරුවීමක් සම්බන්ධයෙන් මෙම ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කරුණු විමසා ඇත.

මෙම ඇමතුම ලැබීමට පැයකට පෙර කන්දෙවිහාරයේ විහාරාධිපති හිමියන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග වෙනත් අවශ්‍යතාවක් සඳහා කතා කර තිබිණි.

මෙම ඇමතුම දුන් පුද්ගලයා පිළිබඳව සැක පහළ කළ දේශබන්ධු තෙන්නකෝන් මහතා ඔබ සැබවින්ම විහාරාධිපති හිමියන් දැයි කියමින් කරුණු විමසා ඇත.

ඒ අවස්ථාවේ කලබලයට පත්වී ඇති මෙම පුද්ගලයා දුරකථනය විසන්ධි කර තිබේ.

පසුව දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම ඇමතුමට අදාළ තොරතුරු ජංගම දුරකථන සමාගමෙන් ලබාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු බවයි.

මෙම ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා තමන් රාජකාරි කරන පොලිස් ස්ථානයෙන් කොළඹට මාරුකර යවා තිබෙන බවද හෙළිවී ඇත.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment