කන්ද උඩරට ගිවිසුම අත්සන් කළ හැටි…

1958

වාරියපොළ සටනට වසර 207යි

උඩරට රාජධානියේ ප‍්‍රධානීන් විසින් මේ රට බි‍්‍රතාන්‍යයන් හට පවරා දෙනු ලැබුවේ 1815 මාර්තු 02 වැනි දින අත්සන් කරන ලද උඩරට ගිවිසුමෙනි. එලෙස අපට අහිමි වූ මේ රට යළිත් අපට ලැබුණේ 1948 පෙබරවාරි මස 04 වැනිදාය. ඒ සඳහා වසර එකසිය තිස්තුනක කාලයක් විවිධ දේශපාලන අරගල කරන්ට ලක්වැසි අපට සිදුවිය. 1815 දී බි‍්‍රතාන්‍ය විජිතයක් බවට ලංකාව පත්වූයේ උඩරට රාජ්‍යයේ ජන ප‍්‍රධානීන් විසින් බි‍්‍රතාන්‍ය හා එක්ව අත්සන් කරනු ලැබූ පවරා දීමේ (ceded colony) ගිවිසුමකිනි. පවරා දීම යනු පාවාදීමක් හෝ යටත් වීමක් නොවන බව මෙහි දී අප විසින් අමතක නො කළ යුත්කකි. එහි ඇති නෛතික අරුත කෙරේ අපි මෙහි දී අවධානය කළ යුතු කරුණකි.

මේ රට පාලනය කිරීමේ දී බි‍්‍රතාන්‍ය බලධාරීන් විසින් පිළිපැදිය යුතු කොන්දේසි රැසක් ද එම ගිවිසුමට ඇතුළත් කරවා ගැනීමට උඩරට ජන ප‍්‍රධානීන්ට හැකිවීම එම ගිවිසුමේ දක්නට වූ විශේෂ ලක්ෂණයකි. ලංකාව බි‍්‍රතාන්‍යයන් විසින් ආක‍්‍රමණයකින් (Conquered Colony) යටත් කර ගත් විජිතයක් නොවීම එයට හේතුවයි. එය කුමන මුහුණුවරින් ආවත් උඩරට ගිවිසුම ලෙස මේ රට තුළ පණ ගැන්වුණේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී උපාය මාර්ගික කුමන්ත‍්‍රණයකි.

එහෙත් එවැනි කුමන්ත‍්‍රණයක් ඒ අයුරින් මේ රට තුළ කි‍්‍රයාත්මක කිරීමට බි‍්‍රතාන්‍යයන්ට හැකි වූයේ ඒ වනවිට රටේ රාජ්‍ය පාලනය වඩිග බලයට යටත්ව තිබීමත් රාජ්‍යයේ සිටි සිංහල ජන ප‍්‍රධානීන් අතර පැවති දැඩි අසමගියක් යන කරුණු ය.

කි‍්‍ර.ව. 1739 දී නරේන්ද්‍රසිංහ රජු මිය ගියේ ඔහුගෙන් පසුව සිංහල සිහසුනට උරුමකම් කීමට හැකි සොහොයුරකු හෝ පුතකු නො මැතිවය. ඔහු විවාහ වී සිටියේ මලබාර් වංශික ඉන්දියානු කුමරියක් සමග ය. ඒ අනුව රජු කළේ තම බිරිඳ ගේ සොහොයුරා තමාගෙන් පසු රජකම ලැබීමට සුදුස්සා ලෙස නම් කිරීමයි. මෙසේ විදේශිකයකු කන්ද උඩරට රාජ්‍යයේ රජු ලෙස නම් කිරීම පිළිබඳව රාජ්‍ය ප‍්‍රධානීන් ගෙන් පළ වූයේ දැඩි අප‍්‍රසාදයකි. ඒ හේතුව නිසා ඔවුන්ගෙන් ඇතැමෙක් යෝජනා කර සිටියේ රජුගේ අනියම් රදළ බිරිඳක කුස උපන් සිංහල පුත‍්‍රයකු රජ තනතුරට නම් කිරීමෙන් මතු වී තිබූ ගැටලූවට විසඳුම් සොයා ගතහැකි බව ය. එහෙත් ඒ අදහසට විරෝධය පෑ තවත් රදළ පිරිසක් විය. ඔවුන් කියා සිටියේ එසේ එක් රදළ පවුලකින් තෝරා පත් කර ගත් අයකු රජු බවට පත් වූ විට සියලූ රදළ පවුල් අතර පවතින සමානත්වයට එය අභියෝගාත්මක සාධකයක් වන බවය.

එවැනි මතභේද නිසා අවසානයේ ඒ ගැටලූව විසඳුනේ සිංහල රාජ්‍යයේ රජු ලෙස නායක්කර් වංශික දකුණු ඉන්දියානුවකු පත් කර ගැනීමෙනි. ශී‍්‍ර විජයරාජසිංහ නමින් රජු බවට පත් වූයේ ඔහු ය. ඉන්පසුව කන්ද උඩරට රාජ්‍යයේ රජු බවට පත්වූයේ කීර්ති ශී‍්‍ර රාජසිංහ යි. ඔහු ද ද්‍රවිඩයෙක් විය. මේ වනවිට දක්නට තිබූ සුවිශේෂ ලක්ෂණය වූයේ දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි රජ බිසෝවරුන් ගේ මලබාර් ඥාතීන් කන්ද උඩරට රාජ්‍යය තුළ නව රදළ පන්තියක් ලෙස වර්ධනය මේ තත්ත්වය නිසා බලවත් නො සතුටට පත්ව සිටි උඩරට සිංහල රදළවරු රජු සිහසුනෙන් පහකොට ඒ වෙනුවට සියම් කුමරකු මෙහි ගෙන්වා සිහසුනෙහි තැබීමට කටයුතු කළෝය. එම කුමන්ත‍්‍රණකාරී සැලැස්ම අසාර්ථක වූ අතර රජු කළේ ඊට සම්බන්ධ වූ සියලූදෙනා සොයා ඔවුන්ට දඬුවම් දීම ය.

ඔහු ගෙන් පසුව රජු බවට පත්වූයේ ඔහුගේ සොහොයුරකු වූ රාජාධිරාජසිංහ ය. දැඩි උණ රෝගයකට ගොදුරු වූ ඔහු 1798 දී මියගිය අතර ශී‍්‍ර වික‍්‍රමසිංහ නමින් රජ වූයේ කන්නසාමි නම් අය යි. සිංහල රාජ්‍යයේ බලය මේ ආකාරයට මලබාර්කරණය වීම උඩරට සිංහල ජන ප‍්‍රධානීන් දුටුවේ රටට එල්ල වී තිබූ අලූත් අභියෝගයක් ලෙසයි. මේ තත්ත්වය නිසා කන්ද උඩරට රාජ්‍යයේ පැවති දේශපාලන තත්ත්වය ඉතා ව්‍යාකූල එකක් විය. රජු පලවා හැරීම බොහෝ දෙනකු ගේ වුවමනාව විය. මලබාර් රජ පවුල සහ උඩරට ජන ප‍්‍රධානීන් අතර බල අරගලයක ලක්ෂණ දක්නට ලැබිණ.

මේ වනවිට ලංකාවේ මුහුදුබඩ පළාත්වල ආධිපත්‍යය පතුරුවා ගෙන සිටි ඉංගී‍්‍රසිහු උඩරට රාජ්‍යය තුළ වර්ධනය වෙමින් තිබුණු එම තත්ත්වය තමන්ගේ බල ආධිපත්‍යය මුළු රට පුරා ම ව්‍යාප්ත කිරීමට ඇති කදිම අවස්ථාවක් ලෙස සලකා උඩරට රාජ්‍ය ප‍්‍රධානීන් සමග විවිධ සබඳතා ඇති කරගෙන තිබිණ. රජුගේ කුරිරු හැසිරීම් රටාව ඉංගී‍්‍රසින්ට මෙරට අභ්‍යන්තර කටයුතුවලට අත දැමීමට මහඟු ඉඩක් සලසා දෙනු ලැබීය. ඇහැලේපොළ කුමාරිහාමි සහ ඇයගේ දරුවන් සියල්ල ඉතා අමානුෂික ලෙස මරා දැමීම
ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු කෙරේ භික්ෂුන් වහන්සේගෙන් සිංහල ජන ප‍්‍රධානීන්ගෙන් දැඩි කෝපයට හා පිළිකුලට ලක්වූ කරුණක් විය. රාජසිංහ රජු ගේ පාලන සමය තුළ රජු විසින් කරන ලද සාපරාධී කි‍්‍රයා සහ පළිගැනීම් පිළිබඳ විස්තර සමහරක් එම යුගයේ ලියැවී ඇති රාජාවලිය නමැති ග‍්‍රන්ථයේ 111 වන කොටසේ සඳහන්ව ඇත. රජුට විරුද්ධව කුමන්ත‍්‍රණ කළේ යැයි යන චෝදනා මත විශාල පිරිසකගේ ගෙල සිඳ මරණයට පත් කළ බව එහි කියැවේ.

ඇරැව්වල සෙනෙවිරත්න, දෙනගමුවේ රාල, ලෙව්කේරාල, මාම්පිටියේ බණ්ඩාර, පිළිමතලව්වේ අදිකාරම්, රක්වානේ නිලමේ, දවුලගල නිලමේ, බලවන්වල මුහන්දිරම් යන රදළවරුන් සියලූදෙනා එසේ මරණයට පත් කළ පිරිස් විය. තවද මල්වතු විහාරයේ සරණපොළ නාහිමියන් ද එලෙස අසත්‍ය චෝදනාවක් මත රජු නියමයෙන් මරණයට පත් කළ භික්ෂුවකි. ඇහැලේපොළ දරුවන් කෙටවීමේ බියජනක සිද්ධිය ද ඇහැලේපොළ කුමාරහාමි සහ පුස්සැල්ලේ කුමාරිහාමිවරුන් දෙදෙනා ගෙලේ ගල්බැඳ පණ පිටින් බෝගම්බර වැවට දමා දියේ ගිල්වා මැරූ බිහිසුණු කතාව ගැන ද රාජාවලියේ තෙවැනි කොටසින් කරුණු රැසක් දක්වා ඇත.

මුල දී රාජපාක්ෂිකව සිටි සියලූ රදළවරුන් රජු ගේ මෙම කුරිරු පාලන රටාව නිසා කල්යත්ම රජු කෙරෙහි කෝපයෙන් පසුවන්ට විය. 1815 දී ඉංගී‍්‍රසීන්ට උඩරට අල්ලා ගැනීමට මඟ සැලසුණේ එවැනි ඉතිහාස පසුබිමකිනි. ඒ අනුව 1815 පෙබරවාරි 18 වැනි දින ඉංගී‍්‍රසීන්ට සිංහලේ රජු පහසුවෙන්ම අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඉංගී‍්‍රසින් ගේ යටි අරමුණ ගැන හෝ ඔවුන්ගේ සියුම් දේශපාලන ක‍්‍රම මූලධර්ම ගැන කිසිදු පූර්ව අවබෝධයකින් තොරව කටයුතු කළ උඩරට සිංහල ජන ප‍්‍රධානීන් ගේ කල්පනාව වූයේ රජු සිහසුනෙන් පලවා හැරීමත් සමග රට තුළ යහපාලනයක් ඇති කිරීම අසීරු කරුණක් නොවනු ඇතැයි කියා ය. එසේ කල්පනා කළ ඔවුන් 1815 මාර්තු මස 2 දින මහනුවර මඟුල් මඩුවට රැස්ව ඉංගී‍්‍රසි ආණ්ඩුවේ බලධාරීන් සමග එක්ව උඩරට ගිවිසුම අත්සන් කරනු ලැබීය. එම ගිවිසුමෙන් කෙරුණේ කන්ද උඩරට සිංහලේ රාජ්‍යය එංගලන්තයේ 3 වැනි ජෝර්ජ් මහ රජු ගේ කිරීට පරමාධිපත්‍ය යටතේ පාලනය වන රටක් බවට පත් කිරීම ය. ඒ අනුව ලංකාව පවරාදුන් විජිතයක් බවට පත් විය. පවරාදුන් විජිතයක් යනු යටත් විජිතයක් නොවන බව ද මෙහි දී කිව යුතුය. උඩරට ගිවිසුමේ ඇතුළත් කොන්දේසි කියවනවිට අපට පැහැදිලිව පෙනී යන්නේ උඩරට ගිවිසුම සකස් කිරීමේ දී සිංහල ජන ප‍්‍රධානීන් ඉංගී‍්‍රසි බලධාරීන් ඉදිරියේ නිවට නියාලූ අයුරින් කටයුතු කර නැති බවකි. සිංහල ජන අයිතිවාසිකම් සහ බෞද්ධ උරුමයන් සුරැකෙන ආකාරයට ලියැවුණු වගන්ති කීපය එම ගිවිසුමට ඇතුළත් කොට තිබුණේ ඉංගී‍්‍රසි සුද්දා ද ඊට යටත් කරමිනි.

උඩරට රාජධානිය ඉංගී‍්‍රසීන්ට පවරාදීමට බෞද්ධ භික්ෂුන් වහන්සේ ගේ සහාය ද පළ වී තිබිණි. ඒ නිසා ගිවිසුමේ කොන්දේසි සකස් කිරීමේදී බෞද්ධ උරුමයන් ගැන සැලකිල්ලක් දක්වා කටයුතු කිරීමට සිංහල ඉංගී‍්‍රසි දෙපාර්ශ්වය ම වග බලා ගත්තේය. ගිවිසුමේ කොන්දේසි සකස් කිරීමේ මූලික කටයුත්ත පැවරී තිබුණේ සුදුහුම්පොළ පන්සලේ වැඩ විසූ දන්ත ධාතුන් වහන්සේ ගේ තේවාව කළ වාරියපොළ සුමංගල හිමියන්ට යි. එම ගිවිසුම අත්සන් කිරීමට නියමිත දිනය වූ මාර්තු 02 වැනිදා වනවිටත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගන්තිය ගැන ඉංගී‍්‍රසීන් තීරණයකට බැස නො තිබිණ. එවැනි තත්ත්වයක් යටතේ ඉංගී‍්‍රසි ධජය ඔසවා ඒ කටයුත්ත කරනු දැකීම සුමංගල හිමියන්ගේ කෝපය ඇති කිරීමට හේතුවක් විය. එම කොන්දේසිය ගැන ස්ථිර අවසන් තීරණයකට නො එළඹ එලෙස එම ගිවිසුම අත්සන් කිරීමේ අයිතියක් ඉංගී‍්‍රසීන්ට නැති බව ප‍්‍රකාශ කළ සුමංගල හිමි ඉදිරියට විත් ඉංගී‍්‍රසි කොඩිය පහතට ඇද පයින් පෑගුවේ තම ජීවිතය ආශාව ගැන ද නො තකමිනි. 1815 මාර්තු 02 වැනි දින අත්සන් කරන ලද උඩරට ගිවිසුමේ 05 වගන්තිය ගිවිසුමේ කොටසක් වූයේ සුමංගල හිමියන්ගේ එම උත්සාහය නිසා ය. එහි මෙසේ සඳහන් විය. ‘‘සිංහල රටවල මුලෑදැනින් සහ වැසියන් විසිනුත් අදහන්නා වූ බුද්ධ ශාසනය ද දේව ආගම් ද කඩ කළ නො හැකිව පවත්වන්න ඕනෑ ය’’ යනුවෙනි. එය අනුලංගනීය කොන්දේසියක් ලෙස එහි දැක්වේ.

පෝල්. ඊ. පීරිස් මහතා උඩරට ගිවිසුම ගැන සඳහන් කරමින් පවසා සිටියේ මෙයයි.

‘‘ගිවිසුමකට අපරානුමැතිය ලැබීමෙන් පසු එය සම්මුතියක් මෙන්ම කැපිය කෙටිය නො හැකි නීතියක් බවට පත් වේ. 1774 දී කැම්බල් ඒ. හෝල් නඩුවේදී මැන්ස්පිල්ඞ් සාමිවරයා පවසා ඇතතේ රටක් යටත් කර ගැනීමේ දී ඇති කර ගන්නා වූ නියමිතයන්න සහ රටක ස්ථාපිත කරනු පිණිස සිදු කරන පවරා දීමක දී ඇති කර ගන්නා වූ නියමිතයන් තුළින් දැක්වෙන සැබෑ අභිලාෂය සහ අරුත උන්තුංග සහ අනුලංඝනීය වෙයි.’’

පෝල් ඊ. පීරිස් මහතා ඉහත ප‍්‍රකාශය කළේ බි‍්‍රතාන්‍ය විසින් ප‍්‍රංශයට එරෙහිව යුද්ධ කොට අත්කර ගෙන සිටි ගෙනිඩා රාජ්‍ය ගැන සඳහන් කරමිනි. එම සම්මුතිය අපරානුමැතිය ලද විගස පිළිගත් නීතියක් බවට පත් වූවකි. සැබැවින් ම සියලූ අනිත් නීති කි‍්‍රයාත්මක විය යුත්තේ ව්‍යවස්ථාවක් බඳු ඊට යටත්ව බව පෝල්. ඊ. පීරිස් මහතා දැරූ මතය විය. කැම්බල් හෝල් (Camble vs Hall) නඩුවේ දී කියැවුණු ආකාරයට ලංකාව පවරාදුන් විජිතයකි. එබැවින් ලංකාවට නිදහස ප‍්‍රදානය කිරීමේ දී බි‍්‍රතාන්‍ය රජය කටයුතු කිරීමට බැඳී තිබුණේ උඩරට ගිවිසුමේ ඇති කොන්දේසි උල්ලංඝනය නොවන අයුරිනි.

සිසිල් අතුකෝරාල

advertistmentadvertistment
advertistmentadvertistment