කන්‍යාවක කියලා දැරිය ලක්ෂ 3 ගානේ විකිණීම; මිහින්තලේ උප සභාපති හා කෝටිපතියා අත්අඩංගුවට

477

ජාවාරම මෙහෙයවූ බව කියන පුද්ගලයා සහ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා (වසාගෙන රැගෙන යන) ඊයේ (01 දා) කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන ආ අයුරු. ඡායාරූපය – කමල් බෝගොඩ
 

කන්‍යාවක කියලා දැරිය ලක්ෂ 3 ගානේ විකිණීම; මිහින්තලේ උප සභාපති හා කෝටිපතියා අත්අඩංගුවට

හේමන්ත රන්දුණු

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර පහළොස් හැවිරිදි දැරියක අලෙවි කළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ළමා හා කාන්තා කාර්යාංශය ලිංගික අපයෝජනය සඳහා එම දැරිය මුදලට ලබාගත් මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ පොළොන්නරුවේ කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු පෙරේදා (30 වැනිදා* සවස අත්අඩංගුවට ගෙන ඇත.

කන්‍යාවියක ලෙස පවසමින් මෙම 15 හැවිරිදි දැරිය පොළොන්නරුවේ ව්‍යාපාරිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් තුන් ලක්ෂයක මුදලට බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

එම මුදලින් ලක්ෂ එකහමාරක මුදලක් දැරියට ලබාදී ඇති අතර ඉතිරි රුපියල් ලක්ෂ එකහමාර මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු විසින් ලබාගෙන ඇති බව ද පොලිසිය පවසයි.

පහළොස් හැවිරිදි දැරිය මුදලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට චීවරධාරියකු ඇතුළු පුද්ගලයන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන සිටි අතර තවත් පුද්ගලයන් තිස්දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මෙම දැරිය ලිංගික කටයුතු සඳහා මුදලට ලබාගෙන ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ පළවී තිබූ දැන්වීමක් හරහා බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුවෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා පොළොන්නරුව ප‍්‍රාදේශීය සභාවේ සහ රාජ්‍ය ආයතනවල කොන්ත‍්‍රාත් ලබා ගන්නා ධනවත් ව්‍යාපාරිකයෙකි.

කන්‍යාවියක සමග ලිංගිකව හැසිරීමට අවශ්‍ය බවට සැකකාර කොන්ත‍්‍රාත්කරු මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරුට පවසා ඇත. ඒ අනුව ප‍්‍රධාන සැකකරු මෙම 15 හැවිරිදි දැරිය කන්‍යාවියක් යැයි කියා රුපියල් තුන් ලක්ෂයක මුදලට අලෙවි කර ඇති බව ද හෙළි වී තිබේ. මේ අතර මෙම දැරිය ලිංගික සේවය සඳහා විවිධ ස්ථානවලට රැුගෙන ගිය පුද්ගලයෙක් ද පොලිසිය මගින් වැල්ලවත්තේදී අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ද ඔහු තවත් තරුණියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට රැුගෙන යමින් ඇති බව පොලිසිය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර 15 හැවිරිදි දැරියක් ලිංගික කි‍්‍රයාවන් සඳහා මුදලට අලෙවි කළ පුද්ගලයා මහල් නිවාසයක සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස පොලිසිය මගින්ය.

පසුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ළමා හා කාන්තා කාර්යාංශය වෙත භාරදී තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන කටයුතු පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment