කන් නෑසෙන බාස් ගෝලයා මග දමා ගිහින් !

497

සිරිල් බාස් උන්නැහේ වේයන්ගොඩ නගරයට ආසන්න ගමක ජීවත්වන අයෙකි. ඒ ගම වූ කලී වඩු, මේසන්, විදුලි කාර්මික, ජල නළ කාර්මිකයන්ගෙන් පිරි ගමකි. පරම්පරාවෙන් පරම්පරාවට ඒ ඒ අයගේ ශාස්ත‍්‍රය ගලාගිය නිසා මේ අයට වැඩවලින් කිසිදාක අඩුපාඩුවක් නොවීය.

 මහල් දෙකක නිවසක කොන්ත‍්‍රාත්තුව සිරිල් බාස්ට ලැබුණේ ඔය අතරය. නිට්ටඹුව ප‍්‍රදේශයේ ඒ නිවස ඉදිකිරීම් කටයුතු ඇරඹිණි. සිරිල් බාස්ගේ ගෝලබාලයන් කඩිමෙන් වැඩය.

 මේ බාස් උන්නැහේ මොන තරම් දක්ෂ වුවත් පොඩි අඩුවකට තිබුණේ කන් ඇසීම ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වීමයි. මොන තරම් අඩු වූයේ ද යත් යමක් කිව යුත්තේ යටිගිරියෙනි.

 ඉකුත් දිනක සවස අදාළ ඉදිකිරීම් කටයුතු නිම කළ පසු ගෝල බාලයන් ඔවුන්ගේ යතුරුපැදිවල නැගී නිවෙස් බලා ගියේ දවසේ පඩි ද ලබා ගැනීමෙන් පසුවය.

 ‘‘උඹ ඉඳපන් මාත් එක්ක යන්න.’’ එක් ගෝලයකු සිරිල් බාස්ගේ යතුරුපැදියේ යන්නට නතර වූයේ ඒ ඉල්ලීමටය.

 යතුරුපැදිය පණ ගැන්විණ. බිම සිටි ගෝලයා මේසන් හැඳී හා අඩුම කුඩම සහිත ගෝනි මල්ල බයිසිකලේ පිටුපස තැබුවා පමණි.

 යතුරුපැදිය ඉගිල්ලී ඉදිරියට ගියේ ගෝලයා බිම සිටියදීය.

 ‘‘බාස් උන්නැහේ බාස් උන්නැහේ කියා’’ ගෝලයා යටිගිරියෙන් කෑ ගැසුවත් යතුරුපැදිය නතර වුණේ නැත.

 කන් ඇසීම අඩු බාස් උන්නැහේ කිලෝමීටර් තිහක් විතර දුරගෙවා ගෙදරට ළංවූ පසු පිටුපස බැලීය.

 ගෝලයා නැත.

 ‘‘මම හිතුවේ නැග්ගා කියලා…’ බාස් උන්නැහේ ආපසු පැමිණ කීවේ වෙච්ච දෙයක් කියමිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment