කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා  තරගාවලියට එක්වූ පිරිසකට කොවිඩ්

115

කොලොම්බියාවේදී නිමාවට පත්වූ 20න් පහළ ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවකට කොවිඩ් ආසාදනය වී තිබේ. තරගාවලියෙන් අනතුරුව යළි මෙරටට පැමිණීමට පෙර කරන ලද පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී තිබේ.

 කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අදාළ ක්‍රීඩකයන් හට කොලොම්බියාවේ කාලී නුවර ඔවුන් නවාතැන් පහසුකම් ලබාගත් ස්ථානයේම තවත් දින 7ක කාලයක් නිරෝධායනය වීම අනිවාර්ය වී ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

 කෙසේ වෙතත් පීසීආර් පරීක්ෂණවලින් අනතුරුව කණ්ඩායමේ සෙසු පිරිස පුහුණුකාරිනි භද්‍රා ගුණවර්ධන මහත්මිය සමගින් ඊයේ (08 වැනිදා) ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිත බවත් නිරෝධායනය වන පිරිස සමග කණ්ඩායමේ කළමනාකරු සුසන්ත ප්‍රනාන්දු මහතා කාලී නුවර රැඳී සිටීමටත් නියමිත බවත් ‘දිවයින’ට වාර්තා විය.

 මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකු සහභාගි වූ අතර තරගාවලිය සඳහා මෙරටින් පිටත්ව යෑමට නියමිත දිනට ගුවන් ටිකට්පත් නොලැබීම හේතුවෙන් ඉසව් කිහිපයක් ක්‍රීඩකයන් කිහිප දෙනකු මග හැරිණි. තවත් පිරිසකට සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූයේ දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව විවේකයක් නොමැතිව තරග ඉසව් සඳහා සහභාගි වීමෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment