කඳුකර ජලාශ සිඳී යෑම නිසා ලබන මාර්තුවේදී දැවැන්ත විදුලි කප්පාදුවක් කිරීමට සිදුවෙනවා – උදය ගම්මන්පිල

124

ලබන මාර්තු මාසයේ දී දැවැන්ත විදුලිය කප්පාදු කිරීමක් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (01 දා) පිවිතුරු හෙළ උරුමය මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ජනවාරි, පෙබරවාරි සහ මාර්තු කියන්නේ අපේ තෙත් කලාපයේ වියළි කාලය. ඒ නිසා අපේ කඳුකර ජලාශ සිඳී ගිහින් ජල විදුලි නිෂ්පාදනය කඩා වැටෙනවා.

පසුගිය ජනවාරි මාසයේ 10 දා විදුලි කප්පාදුව සිදු කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණා. එහිදී මා කිව්වා තෙත් කලාපයේ වියළි කාලය දැන් ඇවිත් තියෙනවා. ජලාශ සිඳී යමින් පවතිනවා. එතැන දී මා කිව්වා දැන් සිටම පැය 3ක් විදුලි කප්පාදුවක් කළොත් වියළි කාලය තුළ උපරිම විදුලි කප්පාදුව පැය 5ක තබා ගන්න පුළුවන්. අපි දැන් සිටම පැය 3ක විදුලි කප්පාදුවක් නොකළොත් මාර්තු අග වන විට පැය 12ක් ඉක්ම වූ විදුලි කප්පාදුවක් කිරීමට සිදු වී රට දැවැන්ත දේශපාලන ආර්ථික අර්බුදයකට යන බව.

නමුත් විදුලි බල මණ්ඩලය නියෝජනය කරපු අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු විතරයි මගේ මතයට පක්ෂ වුණේ. බහුතරය සුපුරුදු පරිදි නිහඬව සිටියා. ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් ඇමතිවරු එක විනාඩියක්වත් විදුලිය නොකැපිය යුතුයි කියන ස්ථාවරයේ සිට කතා කළා. අවසානයේදී ඒ මතය ක්‍රියාත්මක කරන්න තීරණය වුණා. මා මේ අවදානම කලින් දුටුව නිසා ජනවාරි 21 මාධ්‍ය හමුවක දී මේ ගැන රටට කිව්වා. දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවේ නැතිනම් මාර්තු අග වන විට අපි බරපතළ අර්බුදයකට මුහුණ දෙන බව එහිදී මා සඳහන් කළා.

අවාසනාවට මාර්තු අග වන විට මගේ අනාවැකිය සැබෑ වෙමින් පැය 14ක විදුලි කප්පාදුවක් ආවා. එය දරාගන්න බැරි ජනතාව පාරට බැස්සා. ජනාධිපති ඇතුළු ආණ්ඩුවට යන්න වුණා. එදා අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුව්වා නම් රට මේ තත්වයට වැටෙන්නේ නෑ. ඔන්න දැන් තවත් මාසයකින් නැවත තෙත් කලාපයේ වියළි කාලය පටන් ගන්නවා. අද තත්වය එදාටත් වඩා භයානකයි. අපේ විදුලි අවශ්‍යතාවයෙන් මෙගවොට් 810ක් නැතිනම් 35%ක් විතර සපයන්නේ නොරොච්චොලේ ගල් අඟුරු විදුලි බලාගාරය. එදා ජුලි මාසය වන තුරුම ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක් අපට තිබුණා. නමුත් දැන් මාස දෙකකට ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක්වත් නෑ කියා විදුලිබල මණ්ඩලය කියනවා. ඒ අතරේ මේ මාසයේ සිට යුරෝපයේ සීත සෘතුව පටන් ගන්නවා. සීත සෘතුවේ උණුසුම ලබාගැනීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිතා වන නිසා ඒකත් එක්ක තෙල් මිල යළි ඉහළ නගිනවා. ජලාශ හිඳිලා නිසා ජල විදුලිය නෑ. තෙල් මිල එක්ක තෙල් ගන්න ඩොලර් නෑ. ගල්අඟුරු ගෙනැවිත් නෑ. ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තියනවා.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment