කඳුළු ගෑස් තොරතුරු 14 දාට පෙර නොදුන්නොත් පොලිසියට නඩු  

173

පසුගිය ජනවාරි 1 වැනිදායින් අවසන් වූ වසර 10ක කාලයේ දී පොලිස් දෙපාර්තමේන්තුවට කඳුළු ගෑස් මිලදී ගැනීමට අදාළ සියලු ලේඛන උද්ඝෝෂණවලට පැරණි කඳුළු ගෑස් එල්ල කිරීම ඇතුළු සියලු තොරතුරු සවිස්තරව ජනමාධ්‍යවේදීයකු වන තරිඳු ජයවර්ධන වෙත ලබන 14 වැනිදාට පෙර ලබාදෙන ලෙසට තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කළේය.

තම නියෝගය වහාම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් පනතේ 39 වැනි වගන්තිය යටතේ පොලිසියට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට ද තීරණය කළ බව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂන් සභාව පවසයි. එම ජනමාධ්‍යවේදීයා විසින් ඉල්ලා ඇති තොරතුරු රටේ ජනතාවගේ පෞද්ගලික නිදහසට අදාළ වන තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදන යටතට ගැනෙන තොරතුරු වුවත් පොලිසිය ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බවත් සමාජයේ වඩාත් සංවාදයට ලක්වූ මහජන වැදගත් කමක් සහිත එවැනි ඉල්ලීම් පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුතු බවත් පෙන්වා දෙමින් කොමිෂන් සභාව එම නියෝගය කළේය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සමාජයීය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදියකු වන තමා කළ ඉල්ලීම් ඉටුකිරීම පැහැර හැරීම අභියෝගයට ලක් කරමින් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ අභියාචනා පරීක්‍ෂණය පුරා මාස දෙකකට ආසන්න කාලයක් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, හිටපු අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ක්‍රිෂාලි පිංතු ජයවර්ධන, ජගත් ලියආරච්චි සහ මොහොමඩ් නහියා යන කොමසාරිස්වරුන් හමුවේදී පැවැත්විණි.

පොලිසිය මුලින් ප්‍රතිචාර දක්වනවිට විනාශ කළ බවට සඳහන් කළ ලේඛන පසුව ලබාදී ඇති බවත් කරුණු සොයා බැලීමකින් තොරව එවැනි ප්‍රතිචාර දැක්වීම් කිසි සේත්ම ප්‍රශංසනීය නොවන බවත් කොමිෂන් සභාව සිය තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.

2010 සිට 2022 දක්වා වූ කාලයේ පොලිසිය කඳුළු ගෑස් භාවිත කළ ප්‍රමාණය වාර්ෂිකව ඉල්ලා ඇතත් පොලිසිය එම තොරතුරු ලබාදීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බව කියමින් ප්‍රතික්‍ෂේප කර ඇතත් එකී තොරතුරුවල කිසිදු රහස්‍ය භාවයක් නොමැති බවද කොමිෂන් සභාව සිය තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment