කඳුළ නිවන්නට හිත දෙනවා නම්…

108

පොලොන්නරුව, අරලගංවිල, මහදමන මහවැලි ගම්මානයේ වෙසෙන 48 හැවිරිදි කේ. ඒ. බන්දුල සමන් කුමාර සහ ඔහුගේ බිරිය වන කේ. එම්. ජී. ප්‍රියන්ති උදේනිකා (41) දරුවන් තිදෙනකුගේ මාපියන් වෙති. ඔවුනගේ වැඩිමහල් දියණිය වයස අවුරුදු හතක් පමණ වෙද්දී 2006 දී නොකල්හි මෙලොව හැරගිය බව මේ මාපියන් පැවසූහ. ඒ සුවකර ගැනීමට නොහැකිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවද කීහ. දැනට ජීවත්ව සිටිනුයේ දියණිවරුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාද මෙලොව එළිය දැක මාස කිහිපයකින් රෝගී තත්ත්වයට පත්ව සදාකාලික රෝගීන් බවට පත්ව සිටින බව මේ මාපියන් පවසන්නේ හැඬූ කඳුළින් යුතුවය.

එපමණක් නොව පවුලේ ජීවන බර උසුලන්නට උරදුන් එකම සවිය වූ පියා දැනට මාස කිහිපයක සිට අංශභාග රෝගයට ගොදුරුව වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව දැන් යම් තරමක සුවයක් ලබා සිටී.

තාත්තා ද හදිසියේම ලෙඩ ඇඳට තල්ලුවීම හේතුවෙන් රෝගී දරුවන් දෙදෙනාට ප්‍රතිකාර කර ගැනීම තබා පවුලේ එදිනෙදා වේල සරිකර ගැනීමට අවශ්‍ය මිල මුදල් සපයා ගැනීමද දැන් අසීරු වී තිබෙන බව ඔවුහු පැවසූහ.

කඳුළ නිවන්නට හිත දෙනවා නම්…

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ලබාදී තිබෙන අක්කර භාගයක ගොඩ ඉඩමේ තනාගෙන තිබෙන ඔවුන්ගේ නිවස තවමත් වැඩ අවසන් නැත. අක්කරයක පමණ කුඹුරු ඉඩමක්ද මහවැලිය මගින් ලබාදී ඇති නමුත් එයට ජල පහසුකම් පවා නොමැති නිසා මාස් කන්නයේ පමණක් වර්ෂා ජලයෙන් වගාකරන බව බන්දුල සමන් කුමාර කීය. එමෙන්ම එමගින් සරු අස්වැන්නක්ද නොලැබෙන බව ඔහු පවසයි. එමනිසා අනුන්ගේ කුඹුරක් අඳ ක්‍රමයට වගා කිරීම සහ කුලී වැඩක නිරත වීම මෙතෙක් කාලයක් ආදායම් උපයාගත් මාර්ග බව හෙතෙම කීය. එසේ වුවද මෑතක සිට තමන්ට ඇතිවී තිබෙන රෝගී තත්ත්වය නිසා එම කාර්යයන් ඉදිරියට කරගෙන යෑමට නෙහැකිබව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. බන්දුල සමන් කුමාර මහතාගේ බිරිඳ ප්‍රියන්ති උදේනිකා මහත්මිය සිය පවුලේ කඳුලු කතාව අප හමුවේ තැබුවේ මෙසේය.

අපේ පවුලේ දරුවෝ තුන්දෙනයි. තුන්දෙනාම ගැහැණු දරුවෝ. වැඩිමහල් දුව දැනට ජීවතුන් අතර නෑ. එයා මැරුණේ ඉපදිලා අවුරුදු නවයකින්. දොස්තර මහත්වරු කිව්වේ මොළේ වතුර කියලා. දැන් මේ ඉන්න දරුවො දෙන්නගෙන් ලොකු දුවට වයස අවු. 18 යි. එයා ඉපදිලා මාස තුනකින් අපස්මාරය රෝගය වැළඳුණා. ඊට පස්සේ ඉඳලා තමයි ඇවිදින්න බැරිවුණේ. පොළොන්නරුව ඉස්පිරිතාලෙන් දුවගේ කකුල් දෙකට ඔපරේෂන් එකකුත් කළා. නමුත් ඇවිදින්න පුළුවන්කම ලැබුණේ නෑ. දෙවැනි දරුවට වයස අවුරුදු එකහමාරයි. එයාටත් ඇවිදින්න බෑ.

මගේ මත්තයාටත් දැනට මාස තුනකට විතර කලින් අංශභාග රෝගය හැදුණා. එයාටත් දැන් වැඩක් පලක් කරගන්න බෑ. මටත් කුලී වැඩකටවත් යන්න විදියක් නෑ මේ ආබාධිත දරුවෝ දෙන්නා දාලා. මේ වෙනකොට අපට රජයෙන් කිසිම ආධාරයක් ලැබෙන්නේ නෑ. අඩුම තරමින් සමෘද්ධි සහනාධාරයවත් අපිට නෑ. ගමේ අය තමයි අපට උදව් උපකාර කරන්නේ අපේ අසරණකම දැකලා. ඒ නිසා පරිත්‍යාගශීලී අයගෙන් මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මගේ දරුවෝ දෙන්නයි මහත්තයයි සනීප කරගන්න පුළුවන් උදව් උපකාරයක් කරන්න කියලා. මට ලොකු විශ්වාසයක් තිබෙනවා නිසි වෛද්‍ය ප්‍රතිකාරයක් කළොත් මේ තුන්දෙනාම සනීප කරගන්න පුළුවන් වෙයි කියලා.

මේ අසරණ දරු පවුලට යම්කිසි උදව් උපකාරයක් කිරීමට කැමති පරිත්‍යාගශීලින් වෙතොත් ප්‍රියන්ති උදේනිකා මහත්මියගේ නමින් මහජන බැංකුව අරලගංවිල ශාඛාවේ පවත්වාගෙන යන ගිණුම් අංකය මෙසේ සටහන් කරමු. 253-2-002-8-0047804 ඔවුන්ගේ ජංගම දුරකථන අංකය 0770767865
කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment