කඳු හෙල් මැදින් කේබල් දිගේ ගිය Ella Adventure Park ක්‍රියාදාම සංචාරය

263

ඇල්ල ඔඩිසි සංචාරේ මගින් අපි මෙවර ඔබව කැන්දාගෙන යන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන අතිශය රමණීය පරිසරයක වෙනස් ආකාරයේ අද්කැකීමට සමීප කරවීමටය. ඒ සඳහා කොළඹ සිට පැය පහකට ආසන්න දීර්ඝ ගමනකින් පසු අපි ළඟා වූයේ සංචාරකයන් අතර විරාජමාන නගරයක් වන බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල නගරයටය. මුහුදු මට්ටමේ සිට අඩි 4000 පමණ උසකින් පිහිටි “ඇල්ල” ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ප්‍රකට වීමට දීර්ඝ ඉතිහාසයක් නම් නැත. දකුණු ආසියාවේ හොඳම ඔක්සිජන් ප්‍රතිශතය ලබාගත හැකි පරිසරය ලෙස ඇල්ල ප්‍රදේශය විදේශිකයන් අතර පවා ප්‍රචලිතය. විදේශිකයකුගේ කෘතියක් මගින් ඇල්ලේ පාරිසරික දේශගුණික තත්ත්වය උත්කර්ෂයට නැඟීම මෑත කාලයේදී ඇල්ල ශීඝ්‍රයෙන් ලෝව පුරා සංචාරකයන් අතර ජනප්‍රියවීමට මග පෑදූ හේතුව බව කියනු ලැබේ. නමුත් ඇල්ල ප්‍රදේශය හා බැඳි ඉතිහාසය විජයාවතරණයට වඩා පැරණිය. තවමත් පුරාවිද්‍යා සාක්ෂි අනුව තහවුරු කර නොගත් මේ පොලවේ සුරම්‍ය රාජ්‍යක් පැවති බවට ජනප්‍රවාදවල සඳහන් මහා රාවණ රජු යුගයේ බොහෝ සිදුවීම් ඇල්ල ප්‍රදේශය හා බැඳී ඇත.

කඳු හෙල් මැදින් කේබල් දිගේ ගිය Ella Adventure Park ක්‍රියාදාම සංචාරය

රාවණ ඇල්ල, රාවණ ගුහාව, නිල් දිය පොකුණ වැනි ස්ථාන ඒ අතර ජනප්‍රියතම ගමනාන්තයන්ය. ඒවා දේශීය සංචාරකයන් අතර ප්‍රචලිත ස්ථාන වන නිසාම අපේ ඉලක්කය වූයේ ඇල්ලේ තවමත් අප්‍රකටව පවතින සංචාරක ගමනාන්තයන්ට පියවර තැබීමය. එම අරමුණ කරා ළඟා වීමට අපට උපකාර වූයේ “ඇල්ල ඇඩ්වෙන්චර් පාක් – Ella Adventure Park” පරිශ්‍රයේ කළමනාකාරීත්වය සහ එහි පිහිටීම ඇසුරෙන් සංචාරකයන්ට ලබා දෙන ක්‍රියාදාම අද්දැකීම්ය. විශේෂයෙන් විදේශීය සංචාරකයන් සඳහා පමණක් ඉලක්ක කර පසුගිය සමයේදී මෙහෙයම් සිදුවූ එහි ක්‍රියාදාම සංචාරක අද්දැකීම් දේශීය සංචාරකයන් සඳහා විවෘත වීමත් සමග ලොව පුරා සංචාරකයන් අතර ජනප්‍රියතම අංගයක් වන “ක්‍රියාදාම සංචාර’‘ අද්දැකීම් විඳගැනීමේ විරල අවස්ථාව දැන් දේශීය සංචාරකයන් හමුවේද මෙහි විවෘතව ඇත.

කඳු හෙල් මැදින් කේබල් දිගේ ගිය Ella Adventure Park ක්‍රියාදාම සංචාරය

අප ඒ අද්දැකීමට මුලපිරුම ඇරඹුවේ ඇල්ල – වැල්ලවාය පාරේ පිහිටා ඇති “කැෆේ ඔන් ද බෙන්ට්” අවන්හල අසලිනි. ඇල්ල ඇඩ්වෙන්චර් පාක් නොහොත් ඇල්ල ජන්ගල් රිසෝට් වෙත ළඟාවීමට එතැන් සිට කිලෝ මීටර් තුනක් පමණ මහා හෙළක් සහිත මගක ගමන් කළ යුතුය. පාගමනින් නොයන්නේනම් එමග ගෙවා දැමීමට ෆෝවීල් රථයක් වඩාත් සුදුසුය. රූක්ෂ වෘක්ෂයන්ගෙන් සෙවන වන වනගත ඒ මග සිරි සිරි හඬින් ගලා බසින කිරිඳිඔය අසලින් නවතින්නේය. දැන් අප සිටින්නේ පහළින් ගලා බසින හඬ ඇසෙන කිරිඳි ඔයට අංශක හැටක අවනත බෑවුමක් ඇති පිහිටුමකය. එතැනින් කිරිඳි ඔය තරණය කිරීමට දේශීය තාක්ෂණයෙන් නිර්මාණය කළ කේබල් කාර් මොඩලයේ ප්‍රවාහන පහසුකම ජීවිතයේ කිසිදාක නොවිඳි අද්දැකීමක් අපට ළඟා කළෝය. ලොරි රථයක එන්ජිමේ ආධාරයෙන් සකසා ඇති එම යන්ත්‍රය ක්‍රියාකරවීම මගින් කිරිඳි ඔයට ඉහළින් කේබලයක් මත දෙපැත්තට දිවෙන මගී ප්‍රවාහන පෙට්ටි දෙක කේබලය මත එකවිට දෙපසට ගමන් කිරීම සිදුවන්නේය. ගලින් ගලට වැටී හැපි හැපී කිරි පාට පෙණ මවමින් පහළට ගලා බසින කිරිඳි ඔයට අඩි පනහක් පමණ උසකින් මෙහි ගමන් මඟ පිහිටා තිබේ. අපි නවාතැනට ළඟා වූයේ එම සොඳුරු අද්දැකීමේ රස විඳගෙනය.

කඳු හෙල් මැදින් කේබල් දිගේ ගිය Ella Adventure Park ක්‍රියාදාම සංචාරය

මේ නවාතැන සංචාරක හෝටලයක් වුවද එහි බොහෝ දේ සිදුවන්නේ සොබාදහම සහ හාදවය. කඳු වළල්ලකින් වටවූ නිම්නයක් වූ එම භූමිය දෙනෙතට රසඳුනක් ගෙනෙන සොබාදහමේ අග්‍රෙසර නිර්මාණයක්ය. එහි ගතකළ රාත්‍රී කාලය වඩාත් ආනන්දනීය හැඟුමක් ගෙන ආවේ අන්ධකාරය පළවා හරිමින් නැගෙනහිර කන්දට ඉහළින් පෑයූ පුන් සඳය. වළාකුළුවලින් තොර වූ ඒ රැය කුඩා කුඩා මන්දාකිණි තරු පොකුරු පවා ඉහළින් දිස්වීම අසිරිමත් දැකුමක් විය. කඳු වළල්ලකින් වට වූ නිම්න භූමියේ සිටින අපට එය දැණුනේ විශාල බේසමක සිටින කුඩා ජීවීන් පිරිසක් ඉමක් නොපෙනෙන විශ්වයේ සෞන්දර්යය විඳින්නා සේය. එහෙත් මැදියම් රැය වෙනතුරු ඒ චමත්කාරයේ ගිලී සිටීමට අපට අවර නැත. මේ ගමනේ වැදගත්ම අද්දැකීම ළඟා කරගැනීමට පසුදා හිමිදිරියේම අවදි විය යුතුය.

කඳු හෙල් මැදින් කේබල් දිගේ ගිය Ella Adventure Park ක්‍රියාදාම සංචාරය

ක්‍රියාදාම අද්දැකීම් සියල්ල සංවිධානය වී තිබුණේ පසුදාය. තුරු පත් අතර රැඳුණු පිනි බිඳු නැවුම් හිරු කිරණින් වියැකී යන මොහොත වනවිට කේබලයක් මත එල්ලී ගමන් කිරීමේ (zip line) ත්‍රාසජනක චාරිකාවට අපි සූදානම් වීමු. කිරිඳි ඔය හරහා පහළට යන සේ මීටර් 75 දුරක ගමනක් වන එය ශ්‍රී ලංකාවේ මුලින්ම නිර්මාණය වූ කේබලයක් ආධාරයෙන් ඇදීයෑමේ ක්‍රියාදාම නිර්මාණයයි. කිරිඳි ඔය ඉහත්තෑවේ සිට ආරම්භ වන එම ගමනේ කේබල් ක්‍රියාකරුවන් ලෙස සිසිර කුමාර සමග ඔහුගේ සගයා කටයුතු කළේය. ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් වන ඔවුන්ට ක්‍රියාදාම ක්‍රීඩා සහ ගලවා ගැනීමේ රාජකාරි සම්බන්ධව දීර්ඝකාලීන අද්දැකීම් ඇත. සංචාරකයන් මේ ගමනට යොමුකරන්නේ ඔවුන් ලබාදෙන උපදෙස්වලින් පසුවය. ජීවිතාරක්ෂාව සියයට සියයක් තහවුරු කරන නිසා දැන් සැමගේ බිය පහව ගොස්ය. ආරක්ෂිත කබාය සහ ආරක්ෂිත හිස් වැස්ම නිසියාකාරව ඇඟලා ආරක්ෂිත කබාය හා බැඳී ඇති කොක්ක කේබලයේ එල්ලූ පසු මුදාහැරීම සිදුවන්නේය. එසැනින් ලබන අද්දැකීම සමාන කළ හැකි වන්නේ නිදහසේ පියාඹා යන විහඟෙකුටය. සීතල වාතලය කපාගෙන තුරුපත් උඩින් පියාපත් ලද විහඟෙකු සේ පියඹාවිත් මමද එහි අනෙක් කෙළවරට ළඟා වූයේමි. ජීවිතයට එක් වූ මින් පෙර නොවිඳි අද්දැකීමක් වන එය පුද්ගලයකුට ත්‍රාසය සහ විනෝදය ගෙන දෙන ක්‍රීඩාවක් පමණක්ම නොවේ. මේ ක්‍රියාදාම ක්‍රීඩාව ජීවිතයට එක් කරන්නේ විනෝදය ත්‍රාසය සමග ආත්ම විශ්වාසයයි. එහි සිටි වයස අවුරදු දහයේ සිට හැටපස් වියැති වැඩිහිටියා දක්වා මේ අපූරු අද්දැකීම විඳගන්නා අයුරු අපි බලා සිටියෙමු.

කඳු හෙල් මැදින් කේබල් දිගේ ගිය Ella Adventure Park ක්‍රියාදාම සංචාරය

පසුව එළඹියේ දිය ඇලි සොයා කඳු තරණය කිරීමය. දිය ඇල්ල පිහිටි ස්ථානයට ළඟා වීමට කිලෝ මීටර් එකහමාරක දුරක් කඳු මුදුණේ ඉහළට නැඟිය යුතුය. එම ඉලක්කයට ළඟා වීමට වැල් පාලම් මතින් දෙවතාවකදී කිරිඳි ඔය හරහා ගමන් කළ අපි ජල දහරක් ගලා යන ඉවුර දිගේ ඉහළට ගමන් කළෙමු. එම ගමනේ ඇතැම් තැන් කඹයක ආධාරයෙන් නැග යෑම ත්‍රාසජනක සිනමා පටයක දසුනක් වැනිය. ස්වාභාවික ජල තටාකයක් මවමින් ලලනාවකගේ වරලස සේ කඩා හැලෙන දිය ඇල්ලට ළඟා වූයේ මේ සියලු අභියෝග ජය ගැනීමෙන් පසුය. ඉනික්බිතිව තිබුණේ ස්වාභාවික ජල තටාකයකට බැස සීතල ජලයේ කිමිදී විඩාව නිවා ගැනීම පමණක් නොවේ. පලපුරුදු මඟපෙන්වන්නන් සමග කඹයක ආධාරයෙන් කුඩා දිය ඇල්ලක ඉහළ සිට පහළට බැස යෑම, දිය කරණම් වැනි ක්‍රියාකරකම්වල නිරත වීම පෙර නොවූවිරු අද්දැකීමක් විය.

කඳු හෙල් මැදින් කේබල් දිගේ ගිය Ella Adventure Park ක්‍රියාදාම සංචාරය

රක්ෂිතය සහිතව අක්කර දෙසීය පනහක් අයත්වන ඇල්ල ජන්ගල් රිසෝට් භූ වපසරිය ඓතිහාසික අතින්ද වැදගත්කමක් රක්ෂා කරගෙන සිටින්නේය. කඳු වළල්ලකින් වට වූ නිම්න සිහිත භූමිය අතීත රජ දවසේදී සේනා සංවිධානය සඳහාත් අංගම්පොර සටන් කලාව රහසේ පුහුණු කිරීම සඳහාත් භාවිතා කළ බව ගම්මුන් අතර ප්‍රවාදයක් පවතී. එම ජනප්‍රවාද හා ඓතිහාසික තොරතුරු පිළිබඳ දැනුවත් කමක් ඇති ගමේ කවුරුත් පිළිගන්නා මද්දුම බණ්ඩාර මහතා අපට කීවේ විහාර තැන්න නම් නොයිඳුල් ඓතිහාසික භූමිය බොහෝ හාස්කම්වලින් පිරුණු තැනක් බවයි. පැරණි ඉදිකිරීමක සලකුණු පෙන්වන නෂ්ටාවශේෂව ගිය ගල් කණු කිහිපයක් ඇති එම භූමියේ පැරණි බෝ රුක්ෂයක් වැඩ හිඳවා තිබේ. එය කතරගමට වැඩම කරවීමට යන අතරතුරදී එම ස්ථානයේ තබා පසුදා බලන විට පොළවට මුල් ඇද රෝපණයව පැවති බවට ජනප්‍රවාදයක් තිබේ. කතරගම පෙරහැර සමයේ එහි බෝපත් චවි වර්ණ හැරෙන බව අදටත් විශ්වාස කරන ගම්මු ඊට ගෞරවයෙන් පුද සත්කාර කරති.

කඳු හෙල් මැදින් කේබල් දිගේ ගිය Ella Adventure Park ක්‍රියාදාම සංචාරය

ක්‍රියාදාම ක්‍රීඩාවල නිරතවීමෙන් අනතුරව අපි විහාර තැන්න නරඹා මේ පරිසරයේ වැදගත්කම පිළිබඳ හොටල් කළමනාකාරවරයා කළ දැනුවත් කිරීමට සවන් දුන්නෙමු. බුරුත, ගම්මාළු, කළුවර, කෝන්, මොර, වෙනන්, මිල්ල වැනි වටිනා ශාක ගහනයක් මෙන්ම මුවන්, මීමින්නන්, හාවන්, ඌරන් සහ නේක කුරුළු ගහනයක් සහිත මේ පරිසරය ආරක්ෂා කිරීමට ඔවුහු කැප වී සිටිති. මේ පරිසරය විඳීමට එන ඕනෑම සංචාරකයෙක් ඒවාට අනුගත විය යුතු සේම ඔවුන්ට ලබාදෙන ආහාර සැකසෙන්නේද මස් මාංශවලින් තොරව මේ භූමියේම කාබනික වගාවලින් ලබාගන්නා පාරම්පරික සහල් සහ එළවළු වර්ගවලිනි. ජීවිතයේ වෙනස්ම වූ දින දෙකක මේ අද්දැකීම විඳගැනීමට අපට හැකි වූයේ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතාගේ සම්බන්ධීකරණයත් ලයනල් චන්ද්‍රදාස මහතාගේ නොමසුරු සහයත් ඇල්ල ජන්ගල් රිසෝට් කළමනාකාරීත්වයේ අනුග්‍රහයත් නිසාය. වෙනස්ම පරිසරයක ගෙවූ කාලය නිමාකරමින් කේබල් කාරයේ නැඟී කිරිඳි ඔයේ මෙහා ඉවුරට අපි ආපසු පැමිණියේ ඔවුන්ට තුති මල් මිටක් පුදමිණි.

සැරිසර – තිස්ස ගුණතිලක
සංස්කරණය- ජගත් කණහැරආරච්චි
ජායාරූප – Heritage Lanka Photogrophy

කඳු හෙල් මැදින් කේබල් දිගේ ගිය Ella Adventure Park ක්‍රියාදාම සංචාරය
advertistmentadvertistment
advertistmentadvertistment