කපන හැටි නොදන්නා කපන හේතුව හැංගුව පවර් කට්

239

කවුරුත් නොදන්නා ඉංජිනේරු ත‍්‍රස්තවාදය

ඇමැති කපන්නේ නෑ කියයි…. මණ්ඩලේ කපන්න හදයි….

විදුලි මාෆියාව ගැන හෙළිදරව් කර දශකයකටත් වඩා වැඩියි

නොරෝච්චෝලේ බලාගාර කි‍්‍රයාත්මක කරන්නත් මෙගාවොට් 60-70ක විදුලියක් ඕනෑ

හාල්, සීනි, කිරිපිටි, සිමෙන්ති, ඉන්ධන, පොහොර සහ ගෑස් ආදී ලෙසින් වත්මන් ආණ්ඩුව දෙවසරක් තිස්සේ රට ඉදිරියේ දිගහරිමින් සිටින මෙගා ටෙලියේ අලූත්ම කොටස බවට දැන් පත්ව ඇත්තේ විදුලිය යන්නය.

මේ විදුලිය කතාවේ ආරම්භය සිදු වූයේ ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා මුළු රටම එකතැන නවතමින් හිටි හැටියේ සිදු වූ විදුලිය බිඳ වැටීමත් සමඟිනි. එතැන් සිට ඇදී ආ ඒ කතාව දැන් තිබෙන්නේ විදුලිය කප්පාදුවක් දක්වාම දුරදිග ගොසිනි. විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ නම් කියනුයේ කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදු නොවන බවය. ඔහු එහිදී කියනුයේ වෙනත් රටක් පිළිබඳවදැයි අපි නොදනිමු. එහෙත් ඇමැතිවරයා එසේ කියද්දී අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය කියනුයේ විදුලි කප්පාදුවක් කිරීමට සිදුව ඇති බවය.

ගමේ පන්සලේ සල්පිලේ මල්වට්ටියට ලන්සු තැබීමේදී නම් මෙවැනි තරග අපි මීට පෙර දැක තිබුණෙමු. එහෙත් ආණ්ඩුවක ඇමැතිවරු සහ නිලධාරීන් මෙසේ තරග කරනු දුටුවේ පළමු වරටය. එක් අතකට බලන විට එයද රජය තැබූ තවත් සුපිරි වාර්තාවක් ලෙස අප මෙහිදී රටට පෙන්වා දෙනුයේ කාගෙ කාගේත් තරම දැනගනු පිණිසය.

මේ අන්දමට ඇමැතිවරයාත් නිලධාරීනුත් විදුලිය පිළිබඳ එක එක කතා කියද්දී අද තැනින් තැන හිටි හැටියේ විදුලිය බිඳ වැටෙන්නේ පෙර දැනුම්දීක් පවා නැතිවය. එහිදී ජනතාව මුහුණ දෙන දුෂ්කරතා බොහෝ වෙති. එකී දුෂ්කරතා හමුවේ විඳවමින් සිටින රටේ ජනතාව කරනුයේ කළුවරේම හිඳ ආණ්ඩුවට ප‍්‍රශස්ති ගායනා කිරීමය.

එහිදී අද ඔවුන් කියන කතා අපි මෙහි සඳහන් නොකරන්නෙමු. මන්ද ඒවා ඒ තරමටම බරපතළය. ගැටලූව වන්නේ ආණ්ඩුවේ ඇත්තන්ට ඒ බව තවමත් නොවැටහී තිබීමය.

ඉකුත් දා කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ඉතිරි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පැවති උත්සවයේදී සභාව ඇමතූ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කීවේ කොරෝනා වසංගතය හමුවේ කිසිවක් කළ නොහැකිව ගෙවී ගිය දෙවසරක කාලය දැන් භාර කළ යුත්තේ විපක්‍ෂයට යැයි කියාය.

එනිසා අතීතය අමතක කර අනාගතයට මුහුණ දෙමින් ඉදිරි තෙවසර තුළ වැඩ කළ යුතුව ඇතැයිද කී අගමැති මහින්ද රාජපක්‍ෂයන් එළැඹෙන තෙවසර තීරාණාත්මක යැයි කියන්නටද අමතක නොකළේය.

අගමැතිවරයා කී ඒ කතාව සත්‍යයකි. ගෝඨාභ්‍ය රාජපක්‍ෂ මහතා රට භාරගත් පළමු වසරේ සිටම ආරම්භ වූ කොරෝනා වසංගතය ආණ්ඩුවට එල්ල කළ අභියෝගය සුළු පටු නොවන්නකි. එහෙත් එම උත්සවයේදී අගමැතිවරයාම කී පරිදි අද ආණ්ඩුව කොළඹ වරායේ ගැඹුරටත් වැඩි අගාධයකට වැටී සිටින්නේ කොරෝනා නිසාමද? ඒ පිළිබඳ කල්පනා කිරීමේදී පැහැදිලිවම ගැටලූවක් මතු නොවන්නේද?

සියල්ලට කොරෝනා හේතු වූවේ යැයි කීම නිවැරදි නැත. රට තුළ හාල් හිඟයක් ඇතිවෙමින් අවසානයේ හාල් මාෆියාවට ජය හිමිවූයේ කොරෝනා නිසාද?

සීනි ප‍්‍රශ්නය රටේ ප‍්‍රශ්නයක් වූයේ කොරෝනා හමුවේද? රට පුරා ගෑස් පිපිරීම් සිදුවූයේ කොරෝනා නිසාද? එසේම පොහොර ටික අහිමි වූ ගොවියා ආණ්ඩුවට එරෙහිව වීදි බැස්සේ කොරෝනා හේතුවෙන්ද? සියල්ල මුදලාලිගේ අතට යමින් බඩු මිල අහස උසට නගිද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැතිව රටේ මිනිස්සු පෝලිම්වල විෙඳව්වේ කොරෝනා නිසාමද? එසේම දැන් රට තුළ මතුව තිබෙන විදුලි අර්බුදය හමුවේ ජනතාවට වෙලාවක් කලාවක් නැතිව කළුවරේ සිටින්නට සිදුව තිබෙන්නේත් ඇල්ෆා, ඩෙල්ටා, ඔමික්‍රොන් ආදී ලෙසින් රටපුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසාද? මේ සියල්ලට හේතුව කොරෝනාම වූයේ නැත. රටේ ජනතාව උදහසට ලක් වූ එකී බොහෝ සිදුවීම්වලට හේතු වූයේ දිගක් පළලක් සහ නිසි යාන්ත‍්‍රණයකින් තොරව හැටනව ලක්‍ෂයම සදාකාලික ගැත්තන් වනු ඇතැයි සිතුවාක් මෙන් ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණය. එසේම නිසි තැනදී ගතයුතු තීන්දුව ගැනීමට මැලිවන පතෝල වැඩපිළිවෙළය.

අද රට තුළ පවතින සියලූ ගැටලූ සේම දසවසරක කාබනික වගාවට එක රැයකින් ගමන් කරමින් පොහොර ප‍්‍රශ්නය වැනි දේට ආණ්ඩුව මැදිවූයේ කොරෝනා නිසා ඇතිවූ ඩොලර් හිඟය හමුවේ යැයි ඇතැම් අයකු මෙහිදී සඳහන් කළ හැකිය.

එහෙත් ඇත්ත එය නම් කළ යුතුව තිබුණේ ඒ සත්‍ය රටේ ජනතාවට ඍජුව පවසා කටයුතු කිරීමය. බලයට පත්වූ දා සිටම එකී ඍජු බව සහ රටට පැහැදිලිව කතා කිරීමේ හැකියාව ආණ්ඩුවට තිබුණේම නැත.

එයට හොඳම උදාහරණය වරාය උත්සවයේදී සභාව ඇමතූ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. ඔහු කීවේ කොරෝනා හමුවේ එන්නත් තුනක් විද රටට හුස්ම දෙන්නට ජනාධිපතිවරයා කටයුතු කළද එසේ හුස්ම දුන් මිනිසුන් අද ජනාධිපතිවරයාට බැණවදින බවය.

ඒ කතාව සම්පූර්ණ ඇත්තකි. ආණ්ඩුවේ තැන් තැන්වලට ආ ඔස්තාර්ලාගේ සංදර්ශන විනා එවැනි සත්‍ය දේ රටට කියන්නට ගෙවී ගිය දෙවසර තුළ කිසිවකුත්ම සිටියේ නැත. වගකීම පැවරී තිබුණෝ හිතේ හැටියට පිස්සුම කෙළියහ. එය දැනුදු සිදුවන්නකි.

ඒ නිසා කොරෝනා ඉදිරියේ ආණ්ඩුව තමන්ට හුස්ම දුන් වගක් මිනිස්සු දැන නොසිටියහ. රෝහිත අබේගුණවර්ධන මහතා වරාය උත්සවයේදී ජනාධිපතිවරයා ආමන්ත‍්‍රණය කරමින් ඒ කතාව කියනතුරු කිසිවකුත් එවැන්නක් විධිමත්ව අසා තිබුණේද නැත.

පොහොර නැතිව වගාව හානි වී ගොවියා නන්නත්තාර වන අතරේ රටේ බඩු මිල දරාගත නොහැකි පරිදි වැඩි වෙද්දී, සීනි, කිරිපිටි, හාල් සහ එදා වේල පිස ගන්නට ගෑස් ටික නැතිව පෝලිම්වල විඳවද්දී මෙන්ම ගෑස් නිසා ගෙදර කුස්සිය පිපිරෙද්දී ජනතාවට දැනුනේ හුස්ම දීම කෙසේ වෙතත් ආණ්ඩුව තමන්ගේ බෙල්ල මිරිකන බවය.

කොරෝනා වසංගතය හමුවේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කොතරම් දේ කළද කොරෝනා නිසා සියලූ ආදායම් මාර්ග අහිමිවී රටේ මිනිස්සු සිටියේ නන්නත්තාරවය. එවැනි තත්ත්වයකදී ආණ්ඩුවේ නොහැකියාව හා කේවට්ට උපදෙස් නිසා කොහේවත් යන මරාල හිස මත පතිත වෙද්දී ජනතාවට එසේ කල්පනා වීමේ අරුමයක්ද නැත.

මෙනිසා ඔවුහු කාගෙ කාගේත් හත්මුතු පරම්පරාවම සිහිකර බැණවදින්නට වූහ. දෙස් දෙවොල් තැබූහ. අපට වැටහෙන පරිදි නම් ඒ බැණ වැදීම සාධාරණය. මන්ද ඇලඩින්ගේ පුදුම පහණ ගෙයි සාලය මැද තිබෙන්නාක් මෙන් රටේ දේශපාලනඥයන්ට සියලූ සැප ඉබේ පහළ වූවාට ජනතාවට එවැනි වාසනාවක් උරුම වී නැත.

මේ වන විට රට තුළ විදුලි අර්බුදයක් මතුවෙමින් ජනතාව තව තවත් පීඩාවට පත්වන අයුරින් විදුලි කප්පාදුවක් ද සිදු වෙමින් තිබෙන්නේ එවැනි දිගුකාලීන ජනතා උදහසක් ආණ්ඩුවට එරෙහිව මතුවී තිබියදීය.

ඒ අනුව රටේ ජනතාව හෙට දිනයේ ආණ්ඩුවේ අයගේ හත්මුතු පරිම්පරාව නොව නූපන් පරම්පරාව ද සිහිකර බැණ වැදීම නියතවම සිදුවනු ඇත. මොකද හැටනව ලක්‍ෂයක් දෙනා එක පොදියට එක්ව මේ රජය බලයට පත්කරනු ලැබුවේ මෙලෙස කටයුතු සිදු නොවනු පිණිස වන නිසාය. විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන තැන දක්වා විහිදී යමින් මේ මොහොතේ රට තුළ විදුලිය අර්බුදයක් මතුවී තිබෙන්නේ කුමක් නිසාද?

විදුලිබල මණ්ඩලය යනු විදුලි ඉංජිනේරුවන් ලෙසින් හැඳින්වෙන එක්තරා ත‍්‍රස්තවාදීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් සියතට ගත් මේ රට තුළ පිහිටි වෙනම කොදෙව්වක් වැනි ආයතනයක් බවට පත්ව තිබෙන්නක් යැයි පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් රට කරවන සමයේ සිට අපි රටට සහ රට කරවූ අයටද පෙන්වා දුන්නෙමු. මේ සටහනේදී අප එය එක්තරා ලෙසින් සඳහන් කරනුයේ විදුලිබල මණ්ඩලයේ සිටින සියලූම විදුලි ඉංජිනේරුවන් එකී අපත කුලකයේ අය නොවන නිසාය.

එහිදී වරෙක එකී ත‍්‍රස්තවාදීහු එක්ව විදුලිබල මණ්ඩලයේම මුදලින් අපට එරෙහිව නඩුවක් පවරමින් රුපියල් මිලියන එක්දහස් පන්සියයක වන්දියක් ද ඉල්ලා සිටිනු ලැබූහ. එහෙත් අපි එයට නොබියව මුහුණ දුන්නෙමු.

අවසානයේ නඩු පැවරුවෝ විශාල ජනතා මුදලක් කාබාසිනියා කර අධිකරණයට ද නොපැමිණ පලා ගියහ. ගරු අධිකරණය එහිදී ‘දිවයින’ට ඒකපාර්ශ්වික ජයක් හිමිකර දුන්නේය. එහෙත් අප එකී හෙළිදරව්ව සිදු කර දශකයකටත් අධික කාලයක් ගතවීත් අදටත් විදුලිබල මණ්ඩලයේ රජ කරන්නේ ඒ ත‍්‍රස්තවාදයමය. විදුලිබල මණ්ඩලයේ වැසිකිළි සේදීම ඇතුළු සනීපාරක්‍ෂක කටයුතු සහ සුළු සේවාවන් හැර අදටත් අන් සෑම තැනකම පාලකයෝ ඔවුහුය. විටෙක මේ ත‍්‍රස්තවාදීහු ආණ්ඩු පෙරළන්නට කුමන්ත‍්‍රණ කරන්නාහ. එහිදී ප‍්‍රාණ ඇපයට ගන්නේ රටේ ජනතාවය. රුපියල් කෝටි ගණනින් වටිනා විදුලිබල මණ්ඩලයේ යන්ත‍්‍ර සූත‍්‍ර හිතාමතා වනසා දමන ඔවුහු පළමුව රට විදුලි අර්බුදයක් වෙත තල්ලූ කරන්නාහ.

එමඟින් පවතින රජයට එරෙහිව ජනතා විරෝධයක් ඇති කර ආණ්ඩුව දේශපාලන වශයෙන් අනාථ කිරීම ඔවුන් කරන කුමන්ත‍්‍රණයේ ප‍්‍රබලම උපක‍්‍රමය වී ඇත. අද දවසේ රට තුළ ඇතිවී තිබෙන විදුලි අර්බුදයේ සැබෑ කතාව ඇත්තේ එතැනය.

මෙහිදී විදුලිබල මණ්ඩලයට අරක්ගත් ත‍්‍රස්තවාදය විසින් වනසා දමනු ලබන්නේ රටේ ජනතාවට අයත් පොදු දේපල වුවද මේ දක්වා එකී ත‍්‍රස්තවාදයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්වන්නට කිසිදු පාලකයකුට නොහැකි විය.

එසේ කෙරුණේ නම් මේ වන විට මෙම ත‍්‍රස්තවාදීන් සිටිය යුත්තේ පොදු දේපල පනත යටතේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇපද අහිමි වන පරිදි බන්ධනාගාරගතවය. විදුලි අර්බුදයක් දක්වා රට ඇද දමමින් මෙවර එකී කුමන්ත‍්‍රණය ඇරඹුණේ ඉකුත් දෙසැම්බර් 03 වැනිදා මුළු රටම එකතැන නවතාලමින් සිදු කෙරුණු විදුලිය බිඳ වැටීමත් සමගින් යැයි අපි මෙහි මුලින්ද සඳහන් කළෙමු. එහිදී සිදුවූයේ කුමක්ද?

මෙරට විදුලි සැපයුම සිදුවන්නේ ජාලගත සමබර පද්ධතියක් ඔස්සේය. ඕනෑම මොහොතක එක් බලාගාරයක සිදුවන බිඳ වැටීමක් හේතුවෙන් එහි සමබරතාව බි`දී යෑම නිරායාසයෙන් සිදුවන්නේය.

එහිදී බිඳවැටුණු බලාගාරයේ ධාරිතාව එක් කිරීම වෙනුවෙන් අතිරේක බලාගාරයක් කි‍්‍රයාත්මක වීම සිදුවන අතර එතෙක් පද්ධතියේ සමබරතාව රැක ගැනීම සඳහා කිසියම් තැනක විදුලි බිඳවැටීමක් ඇතිවීම ස්වයංකී‍්‍රයවම සිදුවන්නකි. එහෙත් දෙසැම්බර් 03 වැනිදා එකී ක‍්‍රමය කි‍්‍රයාත්මක නොවීය. එසේ වන්නට නම් හිතාමතාම කිසිවකු විසින් හෝ එය කඩාකප්පල් කළ යුතුය. විදුලිබල මණ්ඩලයේ ඇතැම් සේවකයන් සඳහන් කරන පරිදි එකී කඩාකප්පල් කිරීම දෙසැම්බර් 03 වැනිදා සිදුවී ඇත්තේ කොත්මලේ බලාගාරයෙනි. කොත්මලේ බලාගාරයෙන් උත්පාදනය කෙරෙන විදුලිය පද්ධතියට එක්කිරීමේදී එය පාලනය කිරීමට ‘රිලේ’ නමින් හැඳින්වෙන තාක්‍ෂණික උපකරණ ඇත. ලංකා විදුලිබල මණ්ඩලයට නවීණ තාක්‍ෂණය එක්කරමින් ඒ සියලූ උපකරණ හඳුන්වා දෙනු ලැබුවේ ඉකුත් 2017 වසරේ රුපියල් බිලියන හතරක වියදමින් සිදු කළ ව්‍යාපෘතියකට අනුවය. එසේ වියදම් කෙරුණේ රටේ ජනතාවගේ මුදල්ය.

ඇත්ත එසේ වෙද්දී දෙසැම්බර් 03 වැනිදා කොත්මලේ බලාගාරයෙන් පද්ධතියට එක්වන විදුලි ධාරිතාව පාලනය කරනු ලබන ඉහත කී රිලේ දෙකක් කවුරුන් විසින් හෝ විදුලි ධාරිතාව සැපයෙමින් තිබියදීම වෙනසකට ලක්කර ඇති බවද විදුලිබල මණ්ඩලයේ සේවකයෝ සඳහන් කරන්නාහ. එකී වෙනස් කිරීමත් සමඟ පද්ධතියට එක් කෙරෙන ධාරිතාවේ ඉහළ යෑමක් සිදු වුවද සාමාන්‍ය පරිදි එම තත්ත්වය කළමනාකරණ කර ගැනීම සඳහා වන ස්වයංකී‍්‍රය කි‍්‍රයත්මක වීම එහිදී සිදු නොවීය. එයට හේතු වූයේ සියලූ රහස් දන්නා අයකු එය අකී‍්‍රය කර තිබීම හේතුවෙන් බවද අද විදුලිබල මණ්ඩලය තුළින්ම කියැවෙන්නේය.

එකී ස්වයංකී‍්‍රය තත්ත්වය අකී‍්‍රය වන්නේ කිසිවකු විසින් හෝ එවැන්නක් සිතාමතා කළහොත් පමණක්ම බවද විදුලිබල මණ්ඩලයේ සේවකයො සඳහන් කරන්නාහ.

එසේ ස්වයංකී‍්‍රය පාලනය ඇනහිටීමත් සමග එකවර මුළු රටේම විදුලිය බිඳ වැටුණු අතර ඒ සමඟ නොරොච්චෝල බලාගාරයේ උත්පාදන යන්ත‍්‍ර දෙකකට ද හානි සිදුවිය. නොරොච්චෝල බලාගාරයේ උත්පාදන යන්ත‍්‍ර සිසිලනය කිරීම සඳහා කි‍්‍රයාත්මක පද්ධතියේ යන්ත‍්‍රද මෙම විදුලිය බිඳ වැටීමත් සමඟ අකී‍්‍රය වීම එයට හේතු විය.

මෙගාවොට් 900 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙන නොරොච්චෝල බලාගාරය කි‍්‍රයාත්මක කිරීම සඳහා මෙගවොට් 60-70 විදුලියක් අවශ්‍යව ඇත. ඒ විදුලිය අවශ්‍යතාව ඇතිවන්නේ බලාගාරයේ උත්පාදන යන්ත‍්‍රවල ආරක්‍ෂාව වෙනුවෙන් කි‍්‍රයාත්මක උපකරණ සකී‍්‍රයව පවත්වාගෙන යෑමටය. කාලයක සිටම ඒ සඳහා විදුලි උත්පාදන යන්ත‍්‍රයක් ලබාගත යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇතත් මෙතෙක් එය කි‍්‍රයත්මකව නැත. එවැනි විදුලි උත්පාදන යන්ත‍්‍රයක් එහි තිබුණේ නම් දෙසැම්බර් 03 වැනිදා සිදු වූ විදුලිය බිඳවැටීමේදී නොරොච්චෝල බලාගාරයේ උත්පාදන යන්ත‍්‍රවලට කිසිදු හානියක් සිදු නොවන බවද එහි සේවකයෝ පවසන්නාහ.

කොත්මලේ බලාගාරයේ එසේ වෙනසකට ලක් කළ රිලේ යන්ත‍්‍ර දෙක මේ මොහොතේත් කුමන්ත‍්‍රණකාරීන්ට ගලවාගත නොහැකිව එම ස්ථානයේ පවතින බවද මණ්ඩල සේවකයෝ අනාවරණය කරන්නාහ.

රට පුරා සිදුවූ මෙම විදුලිය බිඳ වැටීමත් සමඟ තවත් ස්ථාන දෙක තුනක පැවති උත්පාදන යන්ත‍්‍ර කිහිපයක ද විවිධ ගැටලූ ඇතිවිය. රටම විදුලි අර්බුදයක් දක්වා ඇද වැටීම ඇරඹුනේ එසේය. ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයකට අනුව වගකිවයුතු විදුලි ඉංජිනේරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබුණද විදුලිබල මණ්ඩලයේම උසස් අයකුගේ මැදිහත්වීමෙන් එය වැළකී ගිය බවද සේවකයෝ පවසති.

හැමාදාමත් සිදු වූයේ මේ ටිකය. ත‍්‍රස්තවාදීහු මණ්ඩලය වනසමින් යකා නැටූහ. ආණ්ඩු ඒ නැටුම් ඉදිරියේ වෙව්ලමින් බලා සිටියේය. අවසානයේ කෝටි ප‍්‍රකෝටි ගණනින් මහජන මුද්ල වැනසෙද්දී ත‍්‍රස්තවාදය ඉදිරියේ පරාජය වූ ආණ්ඩු හැකිලී ගියේය. අප වත්මන් ආණ්ඩුවත් පතෝල යැයි කීවේ මේ මොහොතේත් එයම සිදුවෙමින් තිබෙන නිසාය. මෙසේ රට විදුලි අර්බුදයකට ඇදගෙන යෑමේදී තවත් පැත්තකින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළක් ද ඇත. එය වන්නේ කැලණිතිස්ස බලාගාරයේ උත්පාදන යන්ත‍්‍රවලට හානි සිදුකරමින් ඒවා අකී‍්‍රය කිරීමය.

ඒ අනුව මුලින්ම හානි කෙරුණේ කැලණිතිස්ස බලාගාරයේ එක් ප‍්‍රධාන උත්පාදන යන්ත‍්‍රයකටය. දැනුමැති අය කියන පරිදි එම යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කර තිබියදී එය නවතන්නේ නම් එක්වරම විසන්ධි කිරීමක් සිදුකෙරෙන්නේ නැත. යන්ත‍්‍රය නතර කිරීමේදී එය විනාඩියකට වට භාගයක් ලෙසින් ස්වයංකී‍්‍රයවම ධාවනය වීමක් සිදුවන අතර එසේ වන්නේ ඇතුළත කොටස් ක‍්‍රමයෙන් සිසිලනය වන තුරුය. යන්ත‍්‍රය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුව ඇත්තේ එසේ සිසිලනය වීමෙන් පසුවය. එහෙත් රට පුරා සිදු වූ විදුලි බිඳවැටීමෙන් පසු කැලණිතිස්ස බලාගාරයේ අදාළ උත්පාදක යන්ත‍්‍රයට හානි සිදුව ඇත්තේ එක්වරම එය නතර කර දැමීම නිසායි. එසේ කිරීම හේතුවෙන් එහි අභ්‍යන්තර කොටස්වලට හානි සිදුවීම එය අකී‍්‍රය වීමට හේතු වී ඇත.

එසේම ඉකුත් සඳුදා දිනයේදීද කැලණිතිස්ස බලාගාරයේ තවත් යන්ත‍්‍රයකට මේ අන්දමින් හානි වී ඇති අතර එහිදී සිදුව තිබෙන්නේ අදාළ ඉංජිනේරුවන් බකංනිලා සිටියදී එය ලිහිසි තෙල් නොමැතිව ධාවනය කරවීමය.

එහි වගකීම සම්පූර්ණයෙන්ම ඉංජිනේරුවන් භාරගත යුතු වුවද අවසානයේ කැකිල්ලේ තීන්දුවකට අනුව එම යන්ත‍්‍රය අකී‍්‍රය වීමේ සිද්ධියට දැන් චෝදනා එල්ල වී ඇත්තේ ඒ අවස්ථාවේ එහි පාලන කොටසේ සිටි සේවකයාටය. එලෙස චෝදනාවට ලක්ව සිටින්නේ අඛණ්ඩව දින දෙකක් සේවයේ යෙදුණු අයකු බවද කැලණිතිස්ස බලාගාරයේ සේවකයෝ පවසන්නාහ. එසේම මේ වන විට කැලණිතිස්ස බලාගාරයේ පමණක් නොව බොහෝ බලාගාරයන්හි උත්පාදන යන්ත‍්‍රවල කටයුතු භාරවී ඇත්තේ විදුලි ඉංජිනේරුවන්ට බවද ඔවුහු පවසන්නාහ. ඒ ලෝක සම්ප‍්‍රදායයන් උඩු යටිකුරු කරමිනි. ඉතින් තවත් කුමන් කතාද? මෙසේ රට තුළ නිර්මාණය වූ විදුලි අර්බුදය අනිවාර්ය විදුලි කප්පාදුවක් දක්වා ඇදී ගියේ ඉකුත් බ‍්‍රහස්පතින්දා ඉන්ධන නොමැතිවීමෙන් කැලණිතිස්ස බලාගාරය මුළුමනින්ම අකී‍්‍රය වීම හේතුවෙනි.

එහිදීත් සිදුව තිබුණේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එක්වූ ඉංජිනේරුවන් කැලණිතිස්ස

බලාගාරය කි‍්‍රයාත්මක කිරීමට ඉන්ධන තිබෙන බව සඳහන් කරමින් අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීමක් බව එයට සහභාගි වූ ඇතැම්හු පවසන්නාහ. මේ රටේ විදුලි සැපයුමේ දී අතිශය කාර්යබහුල වේලාවේදී සැපයෙන විදුලිය ප‍්‍රමාණය මෙගවොට් දෙදහස් පන්සියයකි. අද දවස වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන විදුලි ඉංජිනේරුවන් ගණන දහසකි. ඒ අනුව සෑම මෙගවොට් දෙකයි දශම පහකටම එක් විදුලි ඉංජිනේරුවකු විදුලිබල මණ්ඩලය තුළ සිටී. අප මෙහිදී එකී පෙන්වාදීම සිදු කරනුයේ පවතින සැබෑ තත්ත්වයේ බරපතළකම ආණ්ඩුවට වටහා ගනු පිණිසය. මේ මොහොත වන විට ත‍්‍රස්තවාදය නිර්මාණය වී තිබෙන්නේ එකී ප‍්‍රබල ඒකරාශි වීම තුළින්ය. අද සිදුවන කුමන්ත‍්‍රණයට අනුව මේ ඇතැමුන් විපක්‍ෂයේ දේශපාලනඥයන් සමඟ එක්වී සිටින බවද සඳහන් වන්නේය. මෙහි ගොදුරක් ලෙස දේශපාලන වශයෙන් තවදුරටත් අනාථ වී ගෙදර යන්නට දැන් ආණ්ඩුව සූදානම්ද? අප ඒ විමසීම මෙහිදී කරනුයේ වත්මන් ආණ්ඩුව එසේ කරනවාද නැද්ද යන තීරණය ගත යුතු අවසන් මොහොතට මේ වන විට ළඟා වී සිටින නිසාය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment