කප්පාදුවක් නැතුව විදුලිය දෙන්න නම් මේ බර දරාගන්න වෙනවා

375

උසුලාගත නොහැකි ජීවන බරට, වැඩිවූ විදුලි ගාස්තුවත් එක් වූ විට ජනතාව මුහුණ දෙන තත්ත්වය කෙබඳු වනු ඇද්ද…? එම අර්ථයෙන් ගත්විට විදුලිබිල වැඩිවීම ජනතාවට ප්‍රියමනාපභාවයක් ගෙන දෙන්නේ නැත. එසේ වන අතරේ රටේ සියලු ස්ථාන සඳහා විදුලිය යනු අත්‍යවශ්‍ය සාධකයකි. වත්මන් ජීවන රටාව අනුව විදුලිය නිෂ්ක්‍රීය වූ මොහොත යනු ජීවිතයම නිෂ්ක්‍රීය වන තත්ත්වයකි. විදුලි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මතුපිටින් බැලූවිට ලක්වන විරෝධාකල්පය දෙස බලනවා වෙනුවට මේ සමබන්ධයෙන් විදුලිබල මණ්ඩලයට ද කරුණු, තර්ක තිබෙනවා ඇත. එය අප කන්දිය යුතු කතාවකි. ලාභ, පාඩු කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය යනු ජනතාවගේ උරුමයකි. කුමන තත්ත්වයක් යටතේ වුවද විදුලිබල මණ්ඩලය සේවය කරනුයේ, වගවනුයේ මේ රටේ ජනතාවටය.

එම වගවීම වෙනුවෙන් මේ සංවාදයට එක්වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය හා නියාමන කටයුතු) ඉංජිනේරු පී. කේ. එන්. අයි. වීරරත්න මහතාය.

ගාස්තු වැඩි කිරීම අපේ යෝජනාවක් පමණයිග
අවසාන තීරණය ගන්නේ මහජන උපයෝගිතා කොමිසම
නොවෙනස් ජාතික විදුලි ප්‍රතිපත්තියකට යා යුතුයි
විදුලිය සඳහා සරල මිල සූත්‍රයක් අවශ්‍යයි

ප්‍රශ්නය – ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් හය අතරට ශ්‍රී ලංකාව පත්වෙලා තිබෙනවා. ආහාර උද්ධමනය වැඩිම හතර වෙනි රට අපි. එසේ තිබියදීත් දරන්න බැරි තරමේ විදුලි බිලකුත් දැන් ඔබ ආයතනය අපේ කර මත පටවලා. පළමුවෙනි සහ අත්‍යවශ්‍යම සාධකය වන්නේ ජනතාවගේ ජීවිත්වීමයි. අනෙක් සියල්ල තිබෙන්නේ ඊට පසුපසින්. විදුලි බල මණ්ඩලය මේ යෝධ මිල වැඩි කිරීම සිදු කරන්නේ, ලෙඩා මළත් බඩ සුද්දයි න්‍යාය අනුව, ජනතාවට මොනවා වුණත්, මණ්ඩලයේ පාඩුව පියවන්න ඕනේ’ කියන තර්කනය අනුව බව පැහැදිලියි. අපේ පළමු ප්‍රශ්නය වන්නේ මේ විදුලි ගාස්තු ඉහළ දැමීම ජනතාවාදී ද යන්නයි.

පිළිතුර – විදුලි ගාස්තු අයක්‍රමය ඉහළ දමනු ලැබුවේ මීට වසර 9 කට පෙර වසර 2013 දී. විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා විදුලි ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම අනිවාර්ය වෙනවා. මේ අතරින් විදුලිය ජනනය කිරීම සඳහා වන පිරිවැය අධික හා නිතර වෙනස් වෙන සුළුයි. 2014 වර්ෂයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන පියවරේ වැඩ අවසන් වීමෙන් පසු මෙගාවොට් 300 ධාරිතාවෙන් යුතු තුන්වන ජනන යන්ත්‍රය පණගන්වා ජාතික විදුලි පද්ධතියට විදුලිය සැපයීම ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ප්‍රතිලාභයන් විදුලි පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා පැවති විදුලි ගාස්තු ක්‍රමය 25%ක සමාන්‍ය අගයකින් අඩු කළා. එදා සිට මේ දක්වා කාල පරාසය තුළ විදුලිය ජනනය, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම් කටයුතු සඳහා වන පිරිවැය ඉහළ ගියා. අඩු වර්ෂාපතනයක් පැවති වර්ෂවලදී ජල විදුලි නිෂ්පාදනය අවම වුණ අතර, විදුලි ඉල්ලුම සැපයීම සඳහා වැඩි වශයෙන් තාප විදුලි බලාගාර ආශ්‍රයෙන් විදුලිය ජනනය කිරීමට සිදු වුණා. ඒ අනුව විදුලිය ජනනය සඳහා වන පිරිවැය ඉහළ ගියා. ඒ අනුව පළමුවරට 2016 වර්ෂයේදී විදුලි අය ක්‍රමය 5% කින් වැඩිකර දෙන ලෙස මහජන උපයෝගිතා කොම්ෂන් සභාව වෙත ඉල්ලීමක් කළා. එහෙත් ඒ පිළිබඳව කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. ශ්‍රී ලංකා විදුලි පනතට අනුව සහ කොමිෂම විසින් හඳුන්වා දුන් විදුලි අයක්‍රමය සකස් කිරීමේ ක්‍රමවේදයට අනුව සුදුසු ගාස්තු සංශෝධනයක් නියමිත අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමේ බලතල සහ වගකීම පැවරී තිබුණේ කොමිෂන් සභාවට පමණයි. 2014, 2016, 2017, 2018, 2019, 2020 සහ 2021 වසර සඳහා රුපියල් බිලියන 17, 14, 46, 32, 97, 63 සහ 22 ලෙස අඛණ්ඩවම පාඩු ලැබුවා.

රෝහල්, හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන වැනි නොයෙකුත් රජයේ ආයතනවලින් මේ වන විට සැලකිය යුතු මුදලක් අයවීමට තිබෙනවා. එය අයකර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවෙනවා. මෙවන් තත්ත්වයක් හමුවේ සේවාව නිසි පරිදි පවත්වා ගෙන යෑම ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයකට පැමිණ තිබෙනවා. ජනක යන්ත්‍ර, විදුලි මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය කරන අමතර කොටස් පවා මිලදී ගැනීමට ශක්තියක් නැහැ. අලුතින් විදුලි සේවා සැපයුමක් ලබා දීමට අවශ්‍ය සේවා වයර්, විදුලි මීටර් සහ ට්‍රාන්ස්ෆෝමර් වැනි දෑ මිලදී ගෙන ගබඩා කර තබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම ඉතා අමාරු කාර්යක් වී තිබෙනවා. එපමණක් නොව ඉන්ධන, ගල් අඟුරු වැනි දෑ මිලදී ගැනීමත් ලොකු ප්‍රශ්නයක් වෙලා. මේ වන විටත් පෞද්ගලික තාප විදුලි බලාගාරවලිනුත් පුද්ගලික අංශයේ කුඩා ජල විදුලි බලාගාර, සූර්ය බලාගාර, සුළං බලාගාර සහ වහලය මත සවිකරන සූර්ය පැනලවලින් ද විදුලිය මිලදී ගෙන පාරිභෝගිකයන්ට විදුලිය සැපයීම කරනු ලබනවා. එම සැපයුම්කරුවන්ට ද මණ්ඩලය විසින් විදුලිය සැපයීම සඳහා නිරවුල් කළ යුතු බිල්පත් වටිනාකම ඉතා ඉහළ අගයක් ගන්නවා. ඒවා නිරවුල් කිරීමද බැරෑරුම් ප්‍රශ්නයක්. එවන් පසුබිමක විදුලි ගාස්තු ඉහළ දමන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීම හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ අනුව විදුලි ගාස්තු පිරිවැය ආවරණය කළ හැකි සාධාරණ විදුලි ගාස්තු සංශෝධනයක් ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත විවිධ අවස්ථාවලදී ඉල්ලීම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි 2022 අගෝස්තු 10 සිට බලාත්මක වන පරිදි වර්තමාන නව අයක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ.

කප්පාදුවක් නැතුව විදුලිය දෙන්න නම් මේ බර දරාගන්න වෙනවා
ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය හා නියාමන කටයුතු) ඉංජිනේරු පී කේ එන් අයි වීරරත්න

ප්‍රශ්නය – විදුලිබල මණ්ඩලය ඉල්ලුවේ මේ වැඩිවෙලා තියෙන ප්‍රතිශතයට වඩා, වැඩි ප්‍රතිශතයකින් විදුලි බිල වැඩිවීමක් නේද?

පිළිතුර – පැවති අයක්‍රමය අනුව ලංකා විදුලිබල මණ්ඩලයට ලැබුන වාර්ෂික අදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 264 ක අගයක්. නමුත් 2022 මාර්තු මාසය වන විට ඉන්ධන මිල අවස්ථා දෙකකදී ඉහළ ගියා. රජය විසින් රුපියල ද පාකර හැරියා. ඒ අනුව ජනන වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියා. සම්පූර්ණ පිරිවැය ආවරණය කර ගැනීම සඳහා පැවති අයක්‍රමය 82% කින් පමණ වැඩි කරන ලෙස අප ඉල්ලා සිටියා. එහිදී අප බලාපොරොත්තු වුණේ වාර්ෂිකව රුපියල් බිලියන 505 ක පමණ ආදායමක් ලබා ගැනීමටයි. නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අය ක්‍රමය වෙනස් කොට ඇත්තේ 75% ක ගාස්තු වැඩි කිරීමක් ලෙසයි. ඒ අනුව ලැබෙන වාර්ෂික අදායම රුපියල් බිලියන 462 කට ආසන්න අගයක්. 75% ක ප්‍රතිශතය හෝ අප විසින් ඉල්ලා ඇති පරිදි 82% ක ප්‍රතිශතයකින් එකවර ගාස්තු වැඩිවීමක් පාරිභෝගික ජනතාවට දරාගන්න අපහසු වෙන්න පුළුවන්. එහෙත් පැවති විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම හමුවේ 2016 වසරේදී 5% කිනුත් 2021 වසරේදී 23.3% ක මිල වැඩි කිරීමකුත් කළා නම් එය විදුලි පාරිභෝගික ජනතාවටත් දරාගත හැකි තත්ත්වයක් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අර්බුදය මේ තරම් උග්‍ර නොවී විදුලි සේවා සැපයුම අඛණ්ඩව මෙන්ම ගුණාත්මකව පවත්වා ගෙන යෑමේ හැකියාවක් තිබුණා.

ප්‍රශ්නය – ඒ කියන්නේ මේ වැඩිවීමෙනුත්, මණ්ඩලයේ වියදම් සම්පූර්ණයෙන් පියවා ගන්න බැහැ කියන එකනේ…?

පිළිතුර – ඇත්තටම බැහැ. 2022 අගෝස්තු මාසයේ 10 වෙනිදා ඉඳලා තමයි අලුත් අය ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අය ක්‍රමය අනුව වුණත් ඉදිරි මාස හය සඳහා අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 205 පමණ වෙනවා. අපේක්ෂිත මෙහෙයුම් වියදම රුපියල් බිලියන 384 ක් වෙනවා. ආසන්න වශයෙන් ඉදිරි මාස හය තුළදීත් රුපියල් බිලියන 180 ක මෙහෙයුම් අලාභයක් වෙන්න පුළුවන්.

ප්‍රශ්නය – මේ අලාභය අඩුකරගන්න හෝ නැතිකර ගන්න ගාස්තු වැඩි නොකර වෙන ක්‍රමවේදයක් විදුලි බල මණ්ඩලයට නැද්ද…?

පිළිතුර – කෙටිකාලීනව නම් වැඩි පිරිවැයක් දරමින් කරන විදුලිය නිපදවීම තවදුරටත් සීමා කළොත් මේ අලාභය අඩු කර ගන්න පුළුවන්. දීර්ඝකාලීනව නම් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකසනු ලබන අඩු වියදම් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම අප්‍රමාදව අනුමත කිරීමෙන් පසු එහි සඳහන් විදුලි ජනන යෝජනා ක්‍රම ඉදිකර ඒ ආකරයටම යෝජිත කාල වකවානුවක් තුළදී ඉදිකර අවසන් කර පද්ධතියට විදුලිය සැපයිය හොත් ජනන පිරිවැය අඩුකර ගැනීමෙන් මෙම අලාභය අවම කර ගත හැකි වෙනවා.

ප්‍රශ්නය – මේ විදිහට පාඩු ලබලා කොහෙන් නවතියිද දන්නේ නැහැ

පිළිතුර – 2021 පසු අය ක්‍රමය සැකසීමේ වගකීම මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා තිබෙනවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය නොපමාවම අවශ්‍ය කරන පිරිවැය ආවරණය කර ගැනීම සඳහා සුදුසු යෝජනා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. පාඩුව නවතින්නේ පාඩුවට ගැළපෙන අය ක්‍රමයක් අනුමත කිරීමෙන් පසුව පමණයි.

ප්‍රශ්නය – මහජන උපයෝගිතා කොමිසම බාධකයක් කරගෙන, ඊට පාඩුව මුවාකරනවාට වඩා විධිමත් යෝජනාවක් මේ සඳහා මණ්ඩලයට නැද්ද…?

පිළිතුර – මා මීට පෙර ප්‍රකාශ කළ පරිදි අඩු වියදම් දිගුකාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමත් අය ක්‍රමය සංශෝධනය කිරීම සඳහා සාධරණ මිල තීරණය කිරීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් (මිල සූත්‍රය) සකස් කොට ක්‍රියාත්මක කිරීමෙන් සියල්ල විසඳාගත හැකියි.

ප්‍රශ්නය – මහජන උපයෝගිතා කොමිසම, කෝප් කමිටුවෙදිත් පසුගිය දවසක සඳහන් කර තිබුණා. අඩුවට ඉන්ධන මිලට ගන්න පුළුවන් කියන කාරණය. බැරිද එලෙස ඉන්ධන අඩුවට ගෙන විදුලිය අඩුවට දෙන්න.

පිළිතුර – දැනට ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සපයන මිලට වඩා අඩු මිලකට ඉන්ධන සැපයිය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ වුණත් තවමත් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලැබෙන්නේ වැඩි වූ පැරණි මිලට තමයි. අඩු මිලට ඉන්ධන ලබා දීම කතාවට සීමා වෙලා.

ප්‍රශ්නය – මෙච්චර ප්‍රතිශතයකින් විදුලිබිල වැඩිවෙලා තියෙන්නේ, මණ්ඩලයෙ අනවශ්‍ය වියදම් නිසා යැයි, ජනතාව අතර මතයක් තිබෙනවා. විශේෂයෙන් එතැනදී එල්ලවන චෝදනාවක් තමයි, හදිසි මිලදී ගැනීම් සම්බන්ධව. ඒ වගේම විදුලිබල මණ්ඩල සේවකයන්ගේ ඉහළ වැටුප්, අතිශයින් ඉහළ අතිකාල දීමනා සහ බෝනස් ආදිය ගැනත් මෙතැනදී චෝදනා එල්ල වෙනවා. ඒ සියල්ල මෙම ගාස්තු වැඩිවීම හරහා ජනතාවගේ උරමතට පටවලා තියෙනවා නේද…?

පිළිතුර – හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට යොමුවීමට සිදු වී ඇත්තේ අඩු වියදම් දිගුකාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කොට නිසි කලට අඩු වියදම් පිරිවැය සහිත විදුලි බලාගාර පද්ධතියට එකතු කිරීමට නොහැකි වී ඇති පසුබිමකයි. එවන් පසුබිමක වැඩිවන ඉල්ලුම සපුරාලීමට ඉතා කෙටි කලකින් හදිසි විදුලිය මිලදී ගැනීම සිදු කිරීමට සිදු වෙනවා. ඒත් ඒවා සිදු කරන්නේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්වයි. අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමේ ලිපි නිකුත් කිරීමට ප්‍රථම කැබිනට් මණ්ඩලයේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. එසේ නොමැතිව ලංකා විදුලිබල මණ්ඩලයට රිසිසේ හදිසි විදුලිය මිලදී ගැනීම් කරන්න බැහැ. එවන් පසුබිමක වුවද යම් අයකු විසින් විෂමාචාරයක් සිදුකර ඇත්නම් ඒ සඳහා සොයා බලා වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදීමට අධිකරණයේ පිහිට පැතිය හැකිය. හදිසි මිලදී ගැනීම් සිදු කිරීමේදී හැම විටම ඩීසල් ආශ්‍රයෙන් විදුලිය ජනනය කරන බැවින් එය ඉතා ඉහළ පිරිවැයක් ගැනීම සත්‍ය කාරණයක්.

සේවක වැටුප් අතිකාල දීමනා සහ බෝනස් මේ සියල්ල මෙහෙයුම් වියදම් වන අතර, එම පුද්ගල වියදම් (Personal Expenses) සම්පූර්ණ මෙහෙයුම්වල ප්‍රතිශතයක් ලෙස 2022 වර්ෂය සඳහා 7% කි. ඒ අනුව වැටුප් නොගෙවා හැරියද ගාස්තු වැඩි කිරීමේදී සැලකිය යුතු වෙනසක් කළ නොහැකි බව පේනවා නේද? ඔය චෝදනාවම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අය ක්‍රමය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා ජුලි 8 වැනිදා පැවති රැස්වීමේදී සමහර නියෝජිතයන් විසින් සභාවට ඉදිරිපත් කළා. එයට ප්‍රතිචාර ලෙස අය ක්‍රමය අනුමත කර ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉදිරිපත් කරන අවස්ථාවේදී සේවක වැටුප්, සේවක සංඛ්‍යා පිළිගත හැකි සාධාරණ මට්ටමක පවතින බව කොමිෂම පවා ප්‍රකාශ කළා. අය ක්‍රමය දැනුම් දීමේ තීරණයකද ඒ බව ලිඛ්තව සඳහන් කර තිබෙනවා.

ප්‍රශ්නය – 26000 ක් සේවකයෝ සිටින, විදුලිබල මණ්ඩලයේ ඇතැම් කටයුතු සඳහා, ඒ කියන්නෙ සේවා සැපයුම් දීම, විදුලිය විසන්ධි කිරීම ආදී දේවල් ඇයි කොන්ත්‍රාත්කරුවන් සඳහා ලබා දෙන්නේ. මෙසේ බාහිර සමාගම් සඳහා මණ්ඩලයේ ක්‍රියාකාරකම් ලබාදීමට විශාල මුදලක් වියදම් වෙනවා. එවැනි වියදම් අවම කර ගැනීමට හෝ කටයුතු කළ යුතුයි නේද…?

පිළිතුර – මංවර ඉවත් කිරීම, සේවා සැපයීම ලබා දීම හා විදුලිය විසන්ධි කිරීම වැනි කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණින් එම සේවාවන් සඳහා කොන්ත්‍රාත්කරුවන්ගේ සහය ලබාගෙන තිබෙනවා. එවැනි කර්ත්‍යයන් සඳහා ස්ථිර සේවකයන් බඳවාගෙන එම කටයුතු සිදු කිරීම සඳහා වැඩි පිරිවැයක් දරන්න වෙනවා. එබැවින් එවැනි කටයුතු සඳහා ස්ථිර සේවකයන් බඳවා නොගෙන එම සේවා පිටස්තර කොන්ත්‍රාත්කරුවන් හරහා ලබා ගැනීම ලංකා විදුලිබල මණ්ඩලයට ලාභදායි ක්‍රියාවක්.

ඒ වගේම තමයි බිල්පත් අයකර ගැනීම සඳහා බොහෝ තැන්වලදී එම කටයුතු බැංකු හා සුපිරි වෙළෙඳසල් හරහාද ඉටුකර ගන්නවා. ඊට අමතරව ඉතා සීමිත ස්ථාන කිහිපයක ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවකයන් යොදවා ද බිල්පත් අය කර ගැනීමේ කටයුතු සිදු කරනවා. එවැනි ක්‍රියා ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා සිදුකරන ක්‍රියාවන් වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ යොදවා ඇති සේවක සංඛ්‍යාව සාධාරණ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවා පිළිගෙන තිබෙනවා.

ප්‍රශ්නය – විදුලිය ගාස්තු වැඩිවීමේදී ප්‍රමාණය සම්බන්ධයෙන් ගැටලුවක් වගේම, එය කාණ්ඩ වශයෙන් වැඩි කිරීමේත් ආසාධාරණයක් අපි දැක්කා. වැඩිම ගාස්තුවක් වැඩි වෙන්නේ, ඒකක 30 ට වඩා අඩු පාවිච්චි කරන පිරිසට. ඔවුන්ගේ විදුලිබිල 264% කින් වැඩිවෙනවා. ඊළඟට වැඩිම වැඩිවීම තියෙන්නේ, ඒකක 31-60ත් අතර පරිභෝජනය කරන පිරිසට. ඔවුන්ගේ ගාස්තුව 200% කින් වැඩිවෙනවා. ඒකක 61 – 90 ත් 125% කින්, ඒකක 91 – 120ත් 89% කින් සහ ඒකක 121 – 180 ත් 79% කින් තමයි වැඩිවෙලා තියන්නේ. එක අතකින් පරිභෝජනය වැඩි අය සඳහා සහනදායි වැඩි කිරීමක්. අනෙක් අතින් නැති බැරි මිනිහා පිට වැඩි බර පටවලා… කොයි අතින් බැලුවත් මෙම ක්‍රමය අසාධාරණයි…

පිළිතුර – මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමයි ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන. හේතුව මේ අය ක්‍රමය ඔවුන්ගේ නිශ්පාදනයක්. උදාහරණයක් ලෙස ගත්තොත් 2013 වසරේ සිට මේ දක්වා පැවති අය ක්‍රමයේ දී හෝටල් ක්ෂේත්‍රය 0 – 160kWh කාණ්ඩයට පැවති මිල ගණන්වලට වඩා මෙවර මිල ගණන් අඩු කර තිබෙනවා. අනෙක් හැම ක්ෂේත්‍රයකම පසෙක දමා හෝටල් ක්ෂේත්‍රයට මෙසේ විශේෂ වූ අනුග්‍රහයක් දැක්වීම ඉතා ප්‍රබල ප්‍රශ්නයක්. එපමණක් නොවෙයි හෝටල් ක්ෂේත්‍රයේ අය ක්‍රමයේ අඩු කිරීමක් සිදු කර තිබෙන පරිසරයක පවා එය එකවර අයකර ගැනීම සඳහා ඉඩක් ලබා දී නැහැ. මාස 03කින් තමයි සම්පූර්ණ අය ක්‍රමය ක්‍රියාත්මක කළ හැක්කේ. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි අර්බුදවලින් ඇති වූ බලපෑම සියලුම ක්ෂේත්‍ර සඳහා පොදුයි. එහෙත් හෝටල් ක්ෂේත්‍රයට මෙසේ විශේෂිත වූ සැලකිල්ලක් දැක්වීම ගැටලු සහිතයි. ඒ පිළිබඳ ගැටලුව සහ අනුමත කර ඇති අය ක්‍රම පිළිබඳ පවතින තවත් ගැටලු ඔබ විසින් නිරාකරණය කළ යුත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින්.

ප්‍රශ්නය – මණ්ඩලය ඉල්ලා සිටි ගාස්තු වැඩිකිරීමේ, ප්‍රතිශතය, මහජන උපයෝගිතා කොමිසම අනුමත කළ ප්‍රතිශතයට වඩා වැඩියි. ඒ ප්‍රතිශතයෙන් විදුලි බිල වැඩිවුණොත්, විදුලි පාරිභෝගිකයා තවත් පීඩාවට පත්වෙනවා. එතකොට මේ තියෙන විරෝධයන් තවත් වැඩිවෙන්න පුළුවන්. කොහොමද එවැනි තත්ත්වයක් කළමනාකරණය කරගන්නේ…

පිළිතුර – 2020 අවසානය වෙනකොට 23.3% ප්‍රතිශතයකින් තමයි විදුලි බිල වැඩි කරන්න තිබුණේ. ඉන්පසු ඉතා දිගු කාලයකින් පසු 2021 වසරේ දෙසැම්බර්වල ඉන්ධන මිල ඉහළ ගියා. 2022 වසරේ පළමුවෙනි කාර්තුවේ සහ දෙවන කාර්තුවේ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ යෑම රුපියල පා කිරීම සහ විදේශ විනිමය අනුපාත වෙනස් වීම මත ඉන්ධන මිල අධික ලෙස ඉහල ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි ඒකකයක් නිපදවීමේ පිරිවැය අධික ලෙස වැඩිවුණා. එම වැඩිවීම අපිට පාලනය කරන්න බැහැ. එහෙත් අවම වශයෙන්වත් දැනට ඉදිකිරීම් සඳහා කටයුතු කරගෙන එන ද්‍රවිකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාර සැලසුම් කර ඇති පරිදි 2023 සහ 2024 වර්ෂ අවසානයේ ඉදිකිරීමෙනුත් සැලසුම් කර ඇති පරිදි පුනර්ජනනීය බලශක්ති ආශ්‍රයෙන් විදුලිය නිපදවීමෙනුත් ඉදිරියේදී මෙම පිරිවැය අඩුකර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෝක තත්ත්වයත් හිතකර ලෙස වෙනස් වීම තුළින් ඉන්ධන මිල පහළ යෑමක් සිදුවුව හොත් අනිවාර්යයෙන් තවදුරටත් ගල් අඟුරු, ඩීසල් වැනි ඉන්ධනවල මිල පහළ යනවා. එවන් පසුබිමක් යටතේ එහි ප්‍රතිලාභ ඉක්මනින්ම පාරිභෝගික ජනතාවට ලබා දීමට අය ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතුයි. මීට පෙර අවස්ථාවලදී ඉන්ධන ගැළපුම් ගාස්තුව වැනි ගාස්තු ක්‍රමයක් පැවතුණා. තාප බලාගාර අක්‍රීය කරන අවස්ථාවන්වල දී එම ගැළපුම් ගාස්තු ඉවත් කර පාරිභෝගික ජනතාවට අවශ්‍ය සුදුසු ප්‍රතිලාභය ලබා දුන්නා. එහි වගකීම පැවරෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවටයි.

ප්‍රශ්නය – අඩු වියදම් බලාගාර කියන තැනේදී, පුනර්ජනනීය බල ශක්තිය අමතක කරන්න බැහැ. අපේ රට පුනර්ජනනීය බල ශක්තීන් බහුල රටක්. හිරුඑළිය, සුළඟ වගේ දේවල් අපිට දායාද ලෙස ස්වභාවධර්මය ලබාදී තිබෙනවා. ඇයි එහෙම නම් ඒවායින් විදුලිය නිපදවීම කෙරෙහි අවධානය යොමු නොකරන්නේ…?

පිළිතුර – පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට එකතු කිරීමෙන් සිදු කරනු ලබන්නේ අපේ හරහාය.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුළං බලාගාරයක් මෙගාවොට් 100 කින් ඉදිකලත් මෙගාවොට් 100 උපරිම ධාරිතාවයෙන් හැමවෙලාවෙම ජනනය කරන්න බෑ. නමුත් මෙගාවොට් 300ක ධාරිතාවකින් යුක්ත, ගල් අඟුරු බලාගාරයක් ගත්තොත් එය පැය 24 පුරාම උපරිම ජවයෙන් ක්‍රියාත්මක කිරීමට පුළුවන්. එම නිසා ස්ථිර බලශක්ති ප්‍රභව සමඟ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ සංකලනයක් තුළින් විදුලි පද්ධතිය ශක්තිමක් කිරීම සඳහා කටයුතු කර තිබෙනවා.

ප්‍රශ්නය – ඒ කියන්නෙ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තිබුණු, 2030 වසර වෙද්දි 70%ක්, පුනර්ජනනීය බල ශක්තියෙන් විදුලි අවශ්‍යතා සපුරා ගැනීමේ ඉලක්කය පහසු එකක් නෙමෙයි කියන එකද…?

පිළිතුර – වර්තමාන රජය තේරුම් අරන් තියෙනවා, වසර 2030 වෙද්දි 70% පුනර්ජනනීය ඉලක්කය සපුරාලීමට ප්‍රායෝගිකව අපහසු බව. ජනන සැලසුම් අංශයත් ඒ ගැන හිතල අවශ්‍ය සංශෝධන කරනු ඇත. පුනර්ජනනීය බලශක්ති ආශ්‍රයෙන් විදුලිය ජනනය තවදුරටත් දිරිගැන්වීමට ලංකා විදුලිබල මණ්ඩලය 2016 වසරේදී ඒ සඳහා වෙනම ශාඛාවක් ස්ථාපනය කළා.

2016 වසරේ සිට වහල මත ඉදිකරන සූර්ය පැනල ව්‍යාපෘති දිරි ගැන්වීම සඳහා සූර්යබල සංග්‍රාමය වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක කොට තිබෙන අතර, 2022 ජුනි මස අවසන් වන විට එම ව්‍යාපෘති සංඛාව 31,148 ක් වෙනවා. අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ආශ්‍රයෙන් විදුලිය ජනනය කිරීම සඳහා පද්ධතියට මෙගාවොට් 827ක ප්‍රමාණයක ධාරිතාවයකින් විදුලි බලාගාර එකතු කිරීමට හැකි වී තිබෙනවා. මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව 2022 වර්ෂය සඳහා 2022 ජුනි මාසය වන විටත් මේ සියලු පුනර්ජනනීය බලශක්ති ආශ්‍රයෙන් නිපදවා ඇති විදුලි ප්‍රමාණය 1498kWh වෙනවා. ඒ අනුව රජය විසින් දෙන ලද ඉලක්ක සපුරා ලීම ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුණ වෙනවා.

ප්‍රශ්නය – පාඩු ලබන රාජ්‍ය ආයතන, ප්‍රතිව්‍යුහගත පිළිබඳව රාජ්‍ය මට්ටමෙන් කථිකාවතක් මේ දිනවල දියත් වෙනවා. ඒ වෙනුවෙන් වෙනම ආයතනයක් පිහිටුවන බව, ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අයවැය වාර්තාවේ, සඳහන් වෙනවා. මේ අතරට මුලින්ම කියවෙන්නේ, දිගින් දිගටම පාඩු ලබන විදුලිබල මණ්ඩලය… ජනතාවට සහනදායි ලෙස විදුලිය ලබාදීම යන කාරණය ගැන සලකා බැලුවහොත්, ඒ සඳහා මණ්ඩලය පුද්ගලීකරණය වැදගත් නේද…?

පිළිතුර – පවතින තත්ත්වය හමුවේ පුද්ගලීකරණය කළ විටද පාරිභෝගික ජනතාවට අඩු විදයමින් විදුලි ඒකකයක ලබා දෙනවා කියන එක ගැටලුවක්. පුද්ගලීකරණය කළත් මෙම පිරිවැය එම ආයතනයට අඩු කර ගන්න බැරි නම් මහජනතාවට මෙම පිරිවැය දරා ගන්න වෙනවා. පුද්ගලික අංශය කිසි විටකත් වැඩි වියදමක් දරා විදුලිය ජනනය කර අඩු අය ක්‍රමයක් යටතේ විදුලිය විකුණන්න කිසිසේත්ම සූදානම් වෙන්නේ නැහැ. ඔවුන් අනිවර්යයෙන්ම ලාභ අපේක්ෂා කරනවා පුද්ගලික අංශයේ වුවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නීතිවලට යටත් වෙනවා අය ක්‍රමය වෙනස් නොකරන්නේ නම්. පාඩු ලබමින් කරන විදුලි ජනනය ඔවුන් වහාම සීමා කරයි. හේතුව පුද්ගලික අංශය විසින් සිදු කරනු ලබන්නේ ව්‍යාපාරයක්. ඔවුන් පුද්ගලිකව පාඩු ලබන්න කැමැත්තක් නැහැ. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය රටට සිදු කරන්නේ සේවාවක්. අපි ලාභ අපේක්ෂාවක් නැහැ. පිරිවැය පමණක් අපේක්ෂා කරමින් සේවය ලබා දීමයි අපේ අපේක්ෂාව. ප්‍රතිඵලය පුද්ගලීකරණය කරලම බලන්න වෙනවා.

ප්‍රශ්නය – මණ්ඩලයේ ජනතා වගකීම තිබියදීත්, දැන් කාලයක ඉඳලා, රටේ විදුලි කප්පාදුවක් වෙනවා. ඇතැම් අය පෙන්වා දෙන්නෙ, එදා සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකළා නම්, අද මෙවැනි තත්ත්වයට මුහුණ දෙන්නෙ වෙන්නෙ නෑ කියලා. මොකක්ද මෙහි සත්‍යතාවය…?

පිළිතුර – සාම්පූර් විදුලි බලාගාරය කියන්නෙ ගල් අඟුරු විදුලි බලාගාරයක්. ජල විදුලිය හැරුණම තියෙන ලාබ විදුලි ප්‍රභවයන්ගෙන් එකක් තමයි ගල් අඟුරු. එදා සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය හදාගන්න බැරිවීම, වර්තමාන විදුලි අර්බුදයට ලොකු බලපෑමක් වුණා. එම බලාගාරය නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 300ක් එකතුවීමට නියමිතව තිබුණා. නොරොච්චෝලේ එක් බලාගාරයක් යම් බිඳ වැටීමක් වුණොත් මේ වනකොට එම නැතිවුණ ධාරිතාවය සපයන්න වෙනත් විදුලි බලාගාරයක් නැහැ. ඒ හේතුවෙන් පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමත් ප්‍රශ්නයක් අඩු වියදමින් විදුලිය ජනනය කිරීමට තිබූ මහඟු අවස්ථාවක් මඟහැරුණා. ඒ විතරක් නොවෙයි නොරොච්චෝලේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙගාවොට් 300 ක හතරවන බලාගාරයත් අවසානයේ අවලංගු කළා.

ප්‍රශ්නය – අර්බුදයේ දිග පළල දැන් පැහැදිලියි. ප්‍රශ්නය එක එක ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒත් ජනතාවට අවශ්‍ය සහනදායි මිලට, අඛණ්ඩ විදුලිය සහ කාර්යක්ෂම සේවය කියන කාරණා තුන. මණ්ඩලයේ වගකීම එයයි. එසේම මණ්ඩලය ද රැකගත යුතු වෙනවා. මේ සුවිශාල පාඩුව අවම කරගෙන මණ්ඩලයත් රැකගෙන, ජනතා අවශ්‍යතා ඉටු කළ හැකි ක්‍රමයක් නැද්ද…?

පිළිතුර – අනිවාර්යයෙන්ම විසඳුමක් තියෙනවා. විදුලි බලාගාර ඉදිකිරීම පිළිබඳව පැහැදිලි ස්ථිර ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමත් නිසි වේලාවට එම ව්‍යාපෘති ඉදිකිරීමත් සාධාරණ ලෙස නිසි අය ක්‍රමයක් කලට වේලාවට ලබාදීම තුළිනුත් මෙම සියලු විසඳාගත හැකි වන අතර, මේ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අඛණ්ඩ මැදිහත්වීම සහ ඒ සඳහා නොමඳ සහයෝගය ලබා දීම ඊට වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේද යුතුකමක්.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment