කපුටු කාක් කාක්… හෝන් එකට චෝදනා ලැබූ නීතිඥයා නිදහස්

257

නීතිය හරියට හොයලා නඩු දාන්න
පොලිසියට උසාවියෙන් දැඩි අවවාද
හිටපු ජනපතිත්, වත්මන් ජනපතිත් මෙවැනි විරෝධතා කළා – විත්තියේ නීතිඥවරු
නීතිඥවරු 50කට අධික පිරිසක් සැකකරු වෙනුවෙන් පෙනී සිටිති


මෑතකදී රටපුරා ක්‍රියාත්මක වූ ජන අරගලයේදී ජීවිත පූජා කළ හා තුවාල ලැබූ අරගලකරුවන් සිහිපත් කිරීම සඳහා ගාලුමුවදොර පිටියේ පැවැති සැමරුමකදී තමන් සිටි කාර් රථයේ සවිකර තිබූ නළාව “කපුටු කාක් කාක්” යන රිද්මයෙන් හැඬවීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩු කටයුත්තෙන් සැකකාර නීතිඥයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. එම්. ප්‍රභාකරන් මහතා ඊයේ (14 දා) නියෝග කළේය.

යම් කිසිවකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන විට නිසි පරිදි නීතිය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නඩු පවරන ලෙසට කොටුව පොලිසියට දැඩිව අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා දුෂ්මන්ත වීරරත්න නමැති සැකකාර නීතිඥවරයා එලෙස නිදහස් කළේය. සැකකාර නීතිඥවරයා ගාලු මුවදොර පිටියේදී එලෙස රථයේ නළාව ශබ්ද කර ඇත්තේ අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් පොලිසිය ක්‍රියාත්මක කරන අයුක්ති සහගත ක්‍රියාදාමයට විරෝධය පෑම සඳහා බවත්, එලෙස රටේ ජනතාවට රජයකට එරෙහිව විරෝධය දැක්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර ඇති බවත් සඳහන් කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරුන් ප්‍රමුඛ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම පිළිගත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද විපක්ෂයේ සිටියදී පැවැති රජයන්ට එරෙහිව එලෙස විරෝධතා පා ඇති බව ද අධිකරණයට පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු පොලිසිය සැකකාර නීතිඥවරයාට එරෙහිව අනවශ්‍ය ලෙස නළා හඬවා බාධා කළේ යැයි චෝදනා කරමින් නඩු පැවරීම ජන ඝෝෂා නඩුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම පොලිසිය උල්ලංඝනය කර ඇතැයි ද අධිකරණයට පැවසූහ. නීතිඥ චිරන්ත පොල්ගස්වැව මහතා ඇතුළු නීතිඥවරු 50කට අධික පිරිසක් සැකකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment