කපුරු බණ්ඩා හේරත් හෙවත් කේ. බී. හේරත්ගේ කතා වස්තුව

445

කේ.බී. හේරත් හෙවත් සිංහල වේදිකා නාට්‍යයේ ස්වතන්ත්‍ර නාට්‍ය රචනයෙහි මහා වෘක්ෂය බිම ඇද වැටුණු පුවත මට අසන්නට ලැබුණේ පසුගිය 29 වැනි ඉරිදා හවස් වරුවේ ය. පුවත මාහට සැල කළේ කේ.බී. හේරතුන්ගේ එක් බෑණා කෙනෙකු විසිනි.

‘අංකල් තාත්තා නැතිවුණා දැන් ටිකකට කලින්‘ ඔහුට මගේ ක්ෂණික පිළිතුර වූයේ ‘විහිළු කතා කියන්න එපා, මට පෙරේදා උදෙත් කතා කළේ..‘ සැණින් කේ.බී.ගේ දියණිය පුවත සනාථ කළා ය.‘ඔව් අංකල්, තාත්ත නැතිවුණා දැන් ටිකකට කලින්’. මොහොතකට එක්වර ම මට මගේ සතිය පිළිබඳ සැකයක් ඇතිවිණ. කුමන සැක සාංකාවක් ද දියණිය ම පුවත සනාථ කිරීමෙන් පසුව? කේ.බී.ගේ සන් මිත්‍ර නිමල් ඒකනායක ඇතුළු පරිවාර මිත්‍ර ජනයාට දුරකතන ඇමතුම් කීපයක් දීමෙන් අනතුරුව මම මගේ Face Book බිත්තියෙහි පස්වරු 3.26 ට මෙලෙස ලීවෙමි.කේ.බී.හේරත් මිතුරා දිවි සැරිය නිමා කරයි’.

සිංහල වේදිකා නාට්‍යයෙහි ස්වතන්ත්‍ර ලකුණ කේ.බී. යන්න සනාථ කිරීමට පහත නිදසුන් දෙකක් දක්වමි.

පළමුවැන්න සිංහල නාට්‍යයෙහි මහා පහන් ටැඹ වූ මහැදුරු සරච්ච්න්ද්‍රගේ ය. 1985 පෙබරවාරි 17 ඉරිදා දිවයින කලා සංග්‍රහයට එතුමන් ලියූ සටහනක මෙසේ ලියා තිබිණ. ‘ඊයේ රාත්‍රියෙහි මා ලුම්බිණි රඟහලට ගොස් ආපසු ගෙදර ආවේ වෙන බොහෝ දවස්වල මෙන් මා විසින් දල්වන ලද පොල්තෙල් පහනින් නාට්‍ය ලෝකයේ අඳුර දුරු වූ බව නොපෙනී සිත තුළ ජනිත වූ කනස්සල්ලෙන් නොව උදම් වූ සිතකින් ය.

කලකට පසු නාට්‍ය සන්දර්භය පිළිබඳව අවබෝධයකින් පැහැදිලි තේමාවක් ප්‍රේක්ෂකයන් තුළට කාවැද්දීමට සමත් රචකයකු බිහි වී ඇති බව මට පෙනුණි. මායාදේවී වූ කලී මුළු මහත් මනුෂ්‍ය සංහතිය ම කෙරෙහි එල්ල කරන ලද කර්කශ ප්‍රහාරයක් යැයි සිතේ. එහි මතුපිට සියුම් හාස්‍ය රසයක් තිබෙන නමුත් යටින් දිවෙන්නේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි කලකිරීමකි. දෙවැන්න නවීන සිංහල වේදිකා නාට්‍යයෙහි පහන් තාරකාවක් සේ දිස්වන අසෝක හඳගම නාට්‍යවේදියා කේ.බී.ගේ වියෝවින් කම්පිත සිතැතිව 30 වැනි දා තම Face Book ගිණුමෙහි ලියා තිබුණු සටහනයි.‘කේ.බී. හේරත්ගේ සුදු කරල් නාට්‍යය එක්දහස් නවසිය හැත්තෑනවයේ,මා විශ්මයට පත් කළ නාට්‍යයක්. මගේ පළමුවන නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළේ කලාපීය තරගයෙන් කේ.බී.ගේ සුදු කරල්ට පැරදුණා. හිතේ අමාරුවට සුදු කරල් බලලා නුවර ඉඳන් කෑගල්ලට පයින් ආවා. කේ.බී. හම්බවුණ, මධුවිත සමග ගෙවුණු හැන්දෑවල අපි මේ සිද්ධිය මතක් කරනවා. සුදු කරල් එවර නාට්‍ය උලෙළේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍යය හැටියට ජනාධිපති සම්මානය දිනාගත්තා. ස්වතන්ත්‍ර නාට්‍ය සාහිත්‍යය පෝෂණය කරන්න කේ.බී. ගේ දායකත්වය සුළුපටු නොවෙයි.

සුබ ගමන් සහෝදරයා – කේ. බී. හේරත්ගේ ස්වතන්ත්‍ර නාට්‍ය පෙළ රචනය පිළිබඳ අලුතින් කීමට සරච්චන්ද්‍රත් හඳගමත් කිසිවක් මහට ඉතිරි කොට නොමැත. 1979 දී සුදුකරල්වලින් ඇරැඹි කේ.බී.ගේ ස්වතන්ත්‍ර නාට්‍යාවලිය 2008 ජගන් මා තෙක් දිව යයි. දශක හතරකට වඩා වැඩි කාලයක් තුළ කේ.බී. විරචිත හා වේදිකාවට ගෙන ආ ස්වතන්ත්‍ර නාට්‍යාවලී මුතුහර මතකයට එයි. සුදු කරල්, මායා දේවී, නාගගුරුළා, දෝන කතිරිනා, දෙවනි මහින්ද, වාසුදේව, හා කළු කුමාරි ඒ අතර වේ. කේ.බී ගේ නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කොළඹ විශාඛා විද්‍යාලය වෙනුවෙන් විශාඛා ගීත නාටකයේ නව නිෂ්පාදන ද්වය ද වේ.

කපුරු බණ්ඩා හේරත් හෙවත් කේ. බී. හේරත්ගේ කතා වස්තුව

වාරියපොළට ආසන්න නවගත්ත ග්‍රාමයෙහි රන්බණ්ඩා හා කිරිමැණිකේ දෙපොළගේ පුතණු වූ කපුරු බණ්ඩා හේරත් මාස්පොත මහා විද්‍යාලයෙන් හා දීප්තිමත් සිසු පරපුරක් බිහි කළ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය නිමාකොට 1962 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිස ශාස්ත්‍රවේ දී උපාධිය දිනාගැනීමෙන් අනතුරුව ගුරුවරයකු ලෙස තම වෘත්තීය ජීවිතය අරඹා පසු කාලයේ පූර්ණ කාලීනව තම දිවි සැරියට ආයුබෝවන් කියනා තෙක් ම වේදිකා නාට්‍යය රචනය හා නිෂ්පාදනයෙහි, රූපවාහිනී නාට්‍ය තිර රචනයෙහි, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු ලෙස නව පරපුරට තම දැනුම බෙදා දීමෙහි, නාට්‍ය උලෙළ විනිශ්චයෙහි ක්‍රියාකාරීව නිරතව හුන්නේ ය. දශක පහකට වඩා වැඩි දිගු කාල පරාසයක දිවෙන කේ.බී. හේරතුන්ගේ වේදිකා නාට්‍ය හා රූපවාහිනී නාට්‍ය තිර රචනා ක්ෂේත්‍රයන්හි ඔහු ලද සම්මාන අප්‍රමාණය. වේදිකා නාට්‍යය ක්ෂේත්‍රයේ දී ස්වතන්ත්‍ර නාට්‍ය රචනය වෙනුවෙන් මෙන්ම හොඳම නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් ද දිනූ රාජ්‍ය සම්මාන බොහෝය. ඔහුගේ සුදුකරල් ස්වතන්ත්‍ර නාට්‍ය රචනය වෙනුවෙන් 1980 දී රාජ්‍ය නාට්‍ය උලෙළ අග්‍රාමාත්‍ය සම්මානය දිනූ කේ.බී. පසුකාලීනව නාග ගුරුළා, දෝන කතිරිනා, දෙවනි මහින්ද, වාසුදේව හා ජගන් මා යන නාට්‍ය පෙළ වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළ සම්මාන දිනාගැනීම ඔහුට අනන්‍ය වූ ස්වතන්ත්‍ර නාට්‍ය රචනාවෙහි ප්‍රතිභාව ට සාක්ෂි වේ.

කපුරු බණ්ඩා හේරත් හෙවත් කේ. බී. හේරත්ගේ කතා වස්තුව

ඉතිහාසය, බුදු සමය, පුරාණෝක්ති, ජන ඇදහිලි හා විශ්වාස පිළිබඳ මෙන්ම බටහිර නාට්‍ය කලාව හා සාහිත්‍යය පිළිබඳව ද පුළුල් දැනුමක් සතු වූ කේ.බී.හේරත් ගේ සමස්ත නාට්‍ය රචනා කලාව ඔහු සතු වූ ඔහුට ම ආවේණික වූ ශෛලිය හා දෘෂ්ටිය පිළිබඳ කැඩපත් වැන්න. මුදල් පසුපස හඹා යන වර්තමාන ශ්‍රී ලාංකික ජන සමාජයෙහි චරිත කිහිපයක් හැසිරෙන ස්වභාවය හා ඛේදවාචකයකින් අවසන්වන ජීවන පුවතක් කේ.බී. විසින් මායා දේවී නාට්‍යයේ දී වේදිකාව මත ප්‍රතිනිර්මාණය කළ‘යුරු ප්‍රශස්ත ය. දේශීය ජීවන අත්දැකීමක් නොවූ නාග ගුරුළා නාට්‍ය රචනය කේ.බී.ගේ පරිකල්පන කෞශල්‍යයට අපූරු නිදසුනකි. ඔහුගේ සමාජයීය හා දේශපාලන දෘෂ්ටිය බොහෝ තන්හි ජනතාවාදී ය. සමාජවාදී ය. මායා දේවී, නාග ගුරුළා දෝන කතිරිනා,දෙවනි මහින්ද, වාසුදේව වැනි නිර්මාණ හේරතුන්ගේ නිවැරදි දෘෂ්ටිය පිළිබඳ මනා නිදසුන් ය. බිම්බා හෙවත් යසෝදරා, දෝන කතිරිනා වැනි කේ.බි.ගේ වේදිකා නාට්‍යනිර්මාණ තුළින් ඔහු ඉතිහාසය හා බුද්ධ චරිතය පිළිබඳ කළ ගැඹුරු හැදෑරීම් හා පර්යේෂණාත්මක කියවීම් ද තමා තෝරා ගන්නා විෂය පිළිබඳ මනා අධ්‍යනය ද නිර්මාණය කෙරෙහි වන කැපවීම ද ප්‍රතීයමාන වන බව අවිවාදාත්මකය. ස්වතන්ත්‍ර නාට්‍ය රචනයෙහි දී මතුපිටින් ඇසෙන සංවාද යටින් දිවෙන උපහාසය හා උත්ප්‍රාසය මතුකිරීමට සමත් රචනාවෙහි කේ.බී.ශූරයෙකි. ඔහුගේ සංවාද රචනය යටි පෙළ ධ්වනිත කරන ජීවනාර්ථ බුද්ධිමත් ප්‍රේක්ෂකයනට සැණෙකින් හසු වේ.ව ැටහේ. මායා දේවී පෙළෙහි එන මෙම සංවාදය බලන්න. මිනී පෙට්ටි වෙළෙඳ සැලෙහි හිමිකරු හා බිරිඳ (ජයලත් මනෝරත්න හා චන්ද්‍රා කළු ආරච්චි යන නළු නිළි යුවළ සිහියට නැඟේ) බිරිඳ ඒක නෙවෙයි කවුද දන්නෙ ඔය මහන වෙලා හිටියට වෙන කෙල්ලෙක් එක්කවත් යාළුවෙලා ද කියල. මට නිකං ඒ වගේ සැකයක් දැනෙනව.

මුදලාලි : මම හිතන්නෙ නෑ හාමිනේ

බිරිඳ : හිතන්ඩ ඉතිං ඔළුවක් තියෙන්න එපා යැ. අද හෙට සුගත්ලගෙ අම්ම එයි ගේ බේරගන්ඩ සල්ලි ඉල්ලගෙන. කෙල්ල කසාද බඳිනවනං තමයි සල්ලි දෙන්නෙ කියන්න.

මුදලාලි : නංගි කැමැති වෙයිද හාමිනේ ඔහොම කිව්වට

බිරිඳ : ඔහේ ඉස්සර කිව්වෙ සිවුරු අරින එකකුත් නෑ කියලනේ. දැන් ඔය ඇරල තියෙන්නෙ අගේට. දැන් ඉතිං උන්දැලා උගුලෙ අහුවෙලා ඉවරයි. මොකෝ ආයෙ මහණ වෙන්න යැ.

මුදලාලි : අපි ඉස්සරවෙලා කිව්වෙ කොල්ලා සිවුරු අරවල ගෙනාවොත් සල්ලි දෙනව කියලනේ.

මායා දේවී මතු නොව කේ.බී.ගේ බොහෝ නාට්‍ය පෙළ තුළ මෙම ප්‍රබල සංවාද රචනා ගුණය පළ වන බව ඉඳුරා ම පැවසිය හැකිය. කේ.බී. නාට්‍ය පෙළ රචනයෙහි දී සාහිත්‍යකරුවාගේ භූමිකාවෙන් පෝෂණය ලබන බව හැඟේ. රාජ්‍ය සාහිත්‍ය උලෙළ කිහිපයක දී ම කේ.බී. හොඳම ස්වතත්න්‍ර නාට්‍ය රචකයා ලෙස සම්මානිත වී ඇත්තේ එබැවිනි.

ස්වතන්ත්‍ර වේදිකා නාට්‍ය පෙළ රචනයෙහි මෙන්ම ටෙලිනාට්‍ය තිර රචනයෙහි ද සමකාලීන ටෙලිනාට්‍ය තිර රචකයන් වූ සෝමවීර සේනායක ආදීන් ගේ පරපුරට ම අයත් ප්‍රවීණයකුගේ භූමිකාවට කේ.බී ද හිමිකම් කියන්නේය. 1991 වසරේ සිට මෑතක් වන තෙක් කේ.බී. විරචිත ටෙලිනාට්‍ය තිර රචනා සංඛ්‍යාව අති විශාල ය. ඔහු අප අතර සිටි ජ්‍යෙෂ්ඨතම ටෙලිනාට්‍ය තිර රචකයා ය. අර්ථසම්පන්න ටෙලිනාට්‍ය රචනා සම්ප්‍රදාය තුළ කේ.බී.ගේ අනන්‍ය මුද්‍රාව සටහන් වූ නිර්මාණ රැසකි.

ඉඳුරු දොර, ඉසිවර අසපුව, ගජමන් නෝනා, සඳගිරි පව්ව, ඉඳුරු දොර, නාමල් ගොල්ල, පාරමීදම් හා තවත් නාට්‍ය රචනා රැසක් වෙසෙසි කොට දැක්විය හැකිය. ඔහුගේ ටෙලිනාට්‍ය තිරර චනා බහුතරයක් තුළින් වාණිජ බලවේග හා නව ආර්ථික ප්‍රවණතා මගින් විනාශයට පත්වන ගම, ගැමි සංස්කෘතිය,ජන විශ්වාස හා ඇදැහිලි හා ජන ජීවිතය පිළිබඳ යථාර්ථ රූපමය විවරණයක් ප්‍රේක්ෂකයන් වෙත ළංකිරීමට කේ.බී.ගේ රචනා සමත් වී තිබේ. ඉසිවර අසපුව හා ඉංගම්මාරුව රචනා කේ.බී. හේරත් නම් රූපවාහිනී තිර රචකයාගේ ප්‍රතිභාන්විත නිපුණත්වය ප්‍රකට කෙරෙන රූපවාහිනී රචනා බව විචාරක මතයයි. සිංහල වේදිකා නාට්‍ය දායකත්වය අරබයා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය විසින් නාට්‍ය කීර්ති සම්මානය කේ.බී.හේරත්ට පිරිනැමුණු ආසන්න කාලයක දී ම සෞන්දර්ය විශ්වවිද්‍යාලය විසින් සම්මානිත ආචාර්ය උපාධිය ද පිරිනමනු ලැබීය. ටෙලිනාට්‍ය තිර රචනා සඳහා කේ.බී හිමිකරගත් සම්මාන රැසකි. සුමති ටෙලි සම්මාන, OCIC සම්මාන ඒ අතර ප්‍රධාන වේ. 2020-21 රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ දී ඔහුට විශේෂ ප්‍රණාම සම්මානයකින් පුදනු ලැබූයේ ද ඔහුගේ ටෙලිනාට්‍ය කලාව සඳහා වූ අමිල සම්ප්‍රදානය වෙනුවෙනි.

සිංහල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙහි නාට්‍ය රචනය නිෂ්පාදනයට අමතරව ඔහුගේ සම්ප්‍රදානය නාට්‍ය විනිශ්චය, වැඩ මුළු මෙහෙයවීම, බාහිර කථිකාචාර්ය භූමිකාව සුවිශේෂී වේ. ජාතික තරුණ සේවා සභාව, සෞන්දර්ය විශ්වවිදාලය රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය ඔහුගේ පරිණත දැනුමින් විපුල ඵල නෙළාගත් ආයතන වේ.

ඔහුගෙන් සිප් ලද සුවහසක් ශිෂ්‍ය මාණවක මාණවිකාවෝ කේ.බී හේරත් වැනි ගුරුතුමකුගේ වියොවින් කම්පාවට පත්ව සිටිති. කලාව හා ජනතා මෙහෙවර පිළිබඳ තියුණු නිරීක්ෂණ ඇසක් සතු වූ කේ.බී. නිවැරදි අවස්ථාවන්හි තම දේශපාලන ආස්ථානය මනාව ප්‍රකට කළේය. 1994 දී දහහත් වසරක ශාපය නිම කිරීමේ කාර්යයයේ දී නිදහස් කලා සංධානය හා සක්‍රීයව එක් වී ජනතා සිතුම් පැතුම් නිවැරදි මාවතට යොමු කිරීමේ අගනා මෙහෙවරට එක්වූයේය. කේ.බී හේරත් යනු මහ පොළොවේ දෙපා තබාගෙන, මහපොළොවේ ජීවත්වූ දහසකුත් එකක් ජීවන ප්‍රශ්නවලින් බැට කෑ ජනතාවවෙත තම නිර්මාණ මගින් දයාර්ද බැල්මක් පෑ ආදරයකින් පිරි හදැති අවංක නිර්මාණකරුවෙකි.
වර්තමාන අර්බුදකාරී ජනපීඩක අර්ථක්‍රමයක් තුළ ජීවත්වන ජනතාවගේ හදවත් අමතන ඔවුන්ගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීමට සමත් කලාකරුවන් විරල මෙවන් මොහොතක කේ.බී. හේරත් නම් අපූරු නිර්මාණකරුවාගේ වියොවින් බිහි වූ රික්තය සපුරා ලිය නො හැක්කකි.

● බුද්ධදාස ගලප්පත්ති

කපුරු බණ්ඩා හේරත් හෙවත් කේ. බී. හේරත්ගේ කතා වස්තුව
advertistmentadvertistment
advertistmentadvertistment