කබ්රාල්ට එරෙහි නඩුව ප්‍රතික්‍ෂේප කරන්න – ජනාධිපති නීතිඥයා උසාවියෙන් ඉල්ලයි

158

කබ්රාල් විත්ති කූඩුවට ගැනීමත් අධිකරණයෙන් වළක්වයි

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබානොදී ප්‍රතික්‍ෂේප කරන ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඊයේ (26දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩුවට පාදකවූ කරුණු සම්බන්ධයෙන්ම තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සිතාසි නිකුත් කිරීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය ප්‍රතික්‍ෂේප කර ඇති බවත් ඒ බව වසන් කර කීර්ති තෙන්නකෝන් මහතා මහෙස්ත්‍රාත් අධිකරණයට මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පැවසීය.

යමෙකුට එරෙහි යම් පැමිණිල්ලක් කරන විට අධිකරණය හමුවට පැමිණීම පිරිසිදු දෑතින් කළ යුතුව ඇතත් අභියාචනාධිකරණය සිය පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කළ බවට කරුණු සඟවා එම පැමිණිලිකරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් එය අධිකරණය නොමග යවා සිය පෞද්ගලික පරමාර්ථ ඉටුකර ගැනීමට දැරූ වෑයමක් බවත් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ගත් තීරණ මගින් රජයට පාඩුවක් සිදු කළේ යැයි සිය සේවාදායකයාට එරෙහිව එම පෞද්ගලික පැමිණිල්ල මගින් චෝදනා නගා ඇතත් ඒ සම්බන්ධයෙන් වු මූලික චෝදනාව පසුගිය වසරේ නොවැම්බර් මස අභියාචනාධිකරණය විභාගයක් පවත්වා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කර ඇතැයිද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කීවේය.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ විත්තකූඩුවට නැගීමට අජිත් නිවාඩ් කබ්රාල් මහතා උත්සාහ දරන විට විත්තිකූඩුවට නැගීමට අනවශ්‍ය බව අධිකරණය දැනුම්දීම නිසා කබ්රාල් මහතා තමන් පෙර වාඩිවී සිටි තැනටම ගොස් නඩු කටයුත්ත වෙනුවෙන් පෙනී සිටියේය. විත්තිකරුගේ නීතිඥවරයා කුමක් ප්‍රකාශ කළත් රට ආර්ථික ආගාධයකට ඇද දැමීමට සැකකරු ගත් තීන්දු තීරණ බෙහෙවින් බලපා ඇතැයි පැමිණිලිකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයට පැවසීය. පැමිණිල්ලේ නීතිඥවරයා නැගූ එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ බව සනාථ කිරීමට තම පාර්ශවයමට තවදුරටත් සාක්‍ෂි ඇති බවත් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කීවේය.

ඒ අනුව එම කරුණු ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටත් ඔහුට පනවා තිබූ විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගය සම්බන්ධයෙන් විත්තියෙන් ඉල්ලීමක් නොකළ බැවින් එම තහනම ලබන නොවැම්බර් 24 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටත් අධිකරණයට නියම කළේය. නීතිඥ නිශ්ශංක පීරිස්, චමීර ද සිල්වා හා සජීව ගනේගොඩ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විත්තිය නියෝජනය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment