කබ්රාල්ට එරෙහි පැමිණිල්ල විසිවෙයි

92

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබානොදුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම පැමිණිල්ල ඊයේ (6) නිශ්ප්‍රභ කළේය.

පැමිණිලිකරු විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති එම පැමිණිල්ල මගින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කිසිදු කරුණක් සනාථ කර නොමැති බවට නිගමනය කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

මෙම පැමිණිල්ලට පාදකවූ කරුණු සම්බන්ධයෙන්ම පැමිණිලිකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින්ම ගොනු කර තිබූ පෙත්සමක් සිතාසි නිකුත් කිරීමට අවසර ලබාදීමකින් තොරව අභියාචනාධිකරණය ප්‍රතික්‍ෂේප කර ඇති බවත් ඒ බව වසන් කර කීර්ති තෙන්නකෝන් මහතා මහෙස්ත්‍රාත් අධිකරණයට මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වා තිබිණි.

යමෙකුට එරෙහිව යම් පැමිණිල්ලක් කරන විට අධිකරණය හමුවට පැමිණීම පිරිසිදු දෑතින් කළ යුතුව ඇතත් අභියාචනාධිකරණය සිය පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කළ බවට සඟවා එම පැමිණිලිකරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් එය අධිකරණය නොමඟ යවා සිය පෞද්ගලික පරමාර්ථ ඉටුකර ගැනීමට දැරූ වෑයමක් බවත් පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා වාචිකව හා ලිඛිතව කළ කරුණු දැක්වීම් සළකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ගත් තීරණ මගින් රජයට පාඩුවක් සිදු කළේ යැයි සිය සේවාදායකයාට එරෙහිව චෝදනා නඟා ඇතත් ඒ සම්බන්ධයෙන් වූ මූලික චෝදනාවද අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.

ඒ. ජේ. ඒ අබේනායන

advertistmentadvertistment
advertistmentadvertistment