කබ්රාල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

285

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය දැරීමට නුසුදුස්සෙකු බවට නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර ලබාදීමෙන් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19 දා) ප්‍රතික්‍ෂේප කළේය.

එම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් එම පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට පෙත්සම්කරු අපේක්‍ෂා නොකරන බැවින් එය ඉල්ලා අස්කරගැනීමට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල පෙත්සම ප්‍රතික්‍ෂේප කළේය.

එම පෙත්සම ගොනුකර මාස දාසයකට ආසන්න කාලයක් ගතවී තිබුණත් පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීමට පෙත්සම්කරු උත්සාහ දරා නොතිබිණි. ඊට සමාන තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින්ද අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව 2021. සැප්තැම්බර් මස ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ අතර ඉන් වසරකට පමණ පසු එම පෙත්සමද ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කරු පියවර ගෙන තිබිණි.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින්ද අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබූ අතර එම පෙත්සමද විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය මගින් ප්‍රතික්‍ෂේප කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment