කබොක් ගලින් නිර්මාණය කළ එකම චෛත්‍ය තිබෙන කුරුන්දි පුදබිමේ කෝවිලක් හැදීමට යෑම බරපතළ වරදක්

548
  • මහාචාර්ය මැදගොඩ අභයතිස්ස

සමහර රජයේ නිලධාරීන් සහ මැති ඇමැතිවරුන් පටු දේශපාලනයේ යෙදෙමින් වරදාන වරප්‍රසාදවලට යට වී භය, මෝහය යන අගතිගාමීත්වයෙන් මේ රටේ ජාතික උරුමයන්ට ආරක්‍ෂාව සැලසීම මඟහරින බවක් පෙනෙන්නට තිබෙන බව පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඉකුත් 27 දින එම විහාරස්ථානයේ පැවති මාධය හමුවේදී පැවසූහ.

කුරුන්දි විහාරය ඇතුළු උතුරු නැගෙනහිර බොදු අයිතීන් මෙන්ම ක්‍රියාකාරකම්වලට එල්ලවන බාධා සහ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය හා ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ සංවිධාන එකමුතුව මෙය සංවිධානය කරන ලදී. එහිදී අභයතිස්ස හිමියෝ මෙසේද සඳහන් කළහ.

කුරුන්දි විහාරය කියන්නේ ක්‍රි. පූ. 100 – 103 අතර කාලයේ කල්ලාට නාග රජතුමා කරවන ලද සිද්ධස්ථානයක්. ඒ බව මහා වංශයේ අටුවා ග්‍රන්ථවල, පැරණි පාලි සාහිත්‍යයේ මෙන්ම වර්තමානයේත් තහවුරු වී තිබෙනවා. බුදුන් වහන්සේත් වැඩම කර ඇති බව සඳහන් මෙම සිද්ධස්ථානයේ විශේෂත්වය නම් කබොක් ගලින් නිර්මාණය වූ ලංකාවේ එකම චෛත්‍ය පිහිටා තිබීමයි.

නමුත් වර්තමානයේදී මෙම අන්තවාදීන් හා දේශපාලනඥයන් පැරණි කෝවිලක් යැයි හඳුන්වන්න උත්සාහ ගන්වා. ඒ වගේම හාස්‍යයට කරුණක් තමයි මෙහි තිබෙන කොරවක් ගලට ශිව ලිංගය යැයි වන්දනාමාන කිරීම. කොරවක් ගලක් ශිව ලිංගය වන්නේ කොහොමද? මුල් කාලයේ ද්‍රවිඩ මිනුම්කරුවන් තමයි මෙහි වැඩ කර තිබෙන්නේ. ඒ අය මෙය කෝවිලක් යැයි සටහන් කර තිබෙන නිසා ජනතාව එය පිළිගත්තා. අප මේ විහාරස්ථානයේ ධාතූන්වහන්සේ තැන්පත් කරන්න ගියාම පිරිසක් ඊට විරුද්ධ වුණා. මෙහිදී වගකිවයුතු අය නිහඬයි. අපට අහන්න ලැබුණා මේ විහාරස්ථානය තුළ කෝවිලක් ඉදිකරන්න යනවා කියා. මෙය බරපතළ වරදක්. මේ දේ කරන්න ඉඩ දෙන්න එපා.

ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment