කමටහනක් බඳු කවිය… “දෑස පියා විඳිනු මැනේ”

272

මනස නිවෙන තැන පහළ වන කවිය නිවුණ මනසිකින් මිසෙක දැවෙන මනසිකින් විඳිය නො හැක. එබඳු රස වින්දනයකට සහෘදයාව යොමු කිරීමට කවියා ද ස්ව නිර්මාණ තුළින් උත්සහා දැරිය යුතු ය. ඒ සඳහා මතවාද නම් මරු විස මුසු නො කර සත්‍ය කුමක්දැ‘යි සොයා යන මුනිවරයෙකු ගේ හෝ දාර්ශනිකයෙකුගේ මනෝ භාවයන්ගෙන් නිර්මාණ සුපෝෂිත කිරීම අත්‍යවශ්‍ය වූවකි. එය මැනවින් අවබෝධ කරගත් ”ජනිතා ලක්මාලි ද සිල්වා” කිවිඳි පරපුර සශෝභනයට සුපෑයූ නවමු කිවිඳිය යි. ඇය තම කුළුඳුල් පද්‍ය සංග‍්‍රහයට ” දෑස පියා විඳිනු මැනේ ” නම යෙදීම තුළින්ම එම කරුණ සනාථ වේ.

ප‍්‍රතිභා ශක්තියෙන් අනූන වූව ද නො වූව ද කිසියම් නිර්මාණකරුවෙකුට මුල් අවධියේ දී සමකාලීන නිර්මාණකරුවන්ගේ ආභාෂයෙන් ශේෂයක් හෝ තිළිණ වෙයි. දිගු කාලීන අධ්‍යයනයක නිරත වූවෙකු පමණක් එයින් මිදෙතත් ඔහු ද පැවතුණු දෙයක් නැවුම් ලෙස ඉදිරිපත් කරන්නෙක්ම ය. එයට නිදසුන් ලෙස නූතන කාව්‍ය නිර්මාණයන්හි බහුලව දක්නට ලැබෙන ”මහරගම අපේක්ෂා රෝහල, නුගේගොඩ බෝධිය, මනමේ නාටකය , සීගිරි ළඳුන්, අවසාන මධු සාදය, හොඳම මිතුරා” ආදී එකම ස්ථාන, අවස්ථා, චරිත වටා ගෙතුණ ආකල්පමය වශයෙන් ද යම් සමතාවයක් ප‍්‍රකට කරවන නිර්මාණයන් දැක්විය හැකි ය. ජනිතාට ද ඉන් ගැලවීමට නො හැකි වූව ද යම් කිසි ස්වීයත්වයක් නිර්මාණ තුළ ගොඩ නැඟීමට ඇය වෙර දැරූ අයුරක් ” තනිකඩ ලොක්කි, නුරා භාරී, නග්න දෙපා, ටුක් ටුක් මහතුන් ” වැනි කාව්‍ය මාතෘකාවන්ගෙන් ප‍්‍රකට කරවයි.

‘‘නූතන මාර්කටින් බණ” මැයෙන් වර්ණිත නිර්මාණයේ දී ඇය විසින් ආගමික සංස්ථාව පිළිබඳව ප‍්‍රශ්න කරනු ලබයි. එබඳු ප‍්‍රශ්න කිරීම් තුළ ආගම් විරෝධියෙකු පහළ නොවේ. ආගම් විරෝධීන් ඔසවා තබන නිරාගමික යන නූතන යෙදුම ද දැඩිව එල්බ ගත යුතු හෝ උරණ විය යුතු විප්ලවවාදී යෙදුමක් නම් නොවේ. මන්ද යත් යම් මතවාදයකට පුද්ගලයාව මෙහෙයවනු ලබන නිරාගමික යනු ද වෙනත් ආගමක් හැර අන් කිසිවක් නොවන නිසාවෙනි.

බුදුන් දෙසු බණ අසනු රිසියෙන්

බණ මඩුව වෙත ගොඩ වුණා

කෝටි ගණනක් වටින රථයෙන්

දිලෙන සිවුරක් දිස්වුනා

ශබ්දෙ මිහිරට ඇසෙන අටියෙන්

ශබ්දවාහිනි සවි කළා

රාග එළවන විහිළු රසපිරි

කතා ගොන්නක් කියවුනා

බුදුන් දෙසු එක දහම් පදයක්

කන වැකෙයි දෝ හිඳ බලා

පලක් නැති හිස් වචන විතරයි

අනේ එතනින් නික්මුණා

උපහාසය බහුල මෙම නිර්මාණය සහෘදයාට ද සමීප සුලභ අනුභූතියක් ඇසුරෙන් නිපන් හෙයින් ඔහුගේ මනසෙහි රූප දර්ශන පහළ වීම අරුමයක් නොවේ ය. සරල බස් වහරකින් තියුණු කවීත්වයක් ප‍්‍රකට කරවන එහි සුවිශේෂත්වය නම් කථකයාගේ අවසන් ප‍්‍රතික‍්‍රියාව යි. ධර්මය ඇවැසි කෙනෙකුට තිබෙන එකම විසඳුම කිවිඳිය මෙහිදි ලබා දෙයි. එනම් සද්ධර්මය නිසි ලෙස රැඳුණ දෙසකට යෑමයි. එසේ නොමැතිව එම සිදු වීම හා ගැටී තම මනස ද ද්වේෂයෙන් කිලිටි කර සිටීමෙන් පලක් නොවන වග පෙන්වා දෙන අතරම ආගමික සංස්ථාවට ද වෙනස් කර ගත යුතු මානයක් පෙන්වා දෙයි.

කිවිඳිය පේ‍්‍රමය පිළිබඳව දරනු ලබන ආකල්පය පේ‍්‍රමණීය හදවත් තුළ උපදින පොදු හැඟිමකි. එනම් ස්ථිර පේ‍්‍රමයක් නැතහොත් කායිකව මෙන්ම මානසිකව ද හැර නොයන පේ‍්‍රමයක් පිළිබඳව ඇය අපේක්ෂාවන් තබා ගනියි. නමුදු එහි පැවත්මට හේතූවන බාධකයන් චමත්කාරව මෙන්ම සංවේදීව ඉදිරිපත් කරනු ලබයි. එහිදී උද්ගතවන ප‍්‍රබල සාධකය නම් රාගයෙන් පේ‍්‍රමය වෙන්වීම දැයි ඇය ප‍්‍රශ්න කරනු ලබයි.

”තුරුළුව යහන මත

ඇතිරිලි පොඩි කරන

සිහින්ව නැෙඟන කෙඳිරිලි

මා මත් කරන

මගෙ භාරියේ හැම රැය

මධු සැප මවන

ආලය රාගයෙන් වෙන් වෙද

කියනු මැන” (නුරා භාරි,පිටු 22)

පවිත‍්‍ර පේ‍්‍රමයකට රාගය බාධාවක් ද? රාගය නොමැති තැන පේ‍්‍රමයක් පවතී ද? එය නිශ්චය කිරීම අපහසු වූවකි. එසේනම් බුද්ධත්වය උදෙසා පාරමී පිරූ බෝධි සත්ත්වයන් වහන්සේ අත්හැරීම අභ්‍යාස කරන ගමන් රාගය ද වැඩෙන්නට අවකාශය දුන්හ යැයි බෞද්ධ සාහිත්‍යයෙහි වර්ණිත සිදුහත් යශෝදරා පේ‍්‍රම පුරාණයෙන් නිගමනය කළ හැකිය. පවිත‍්‍ර පේ‍්‍රමය නම් කායික ඉඳුරන් මඟින් ප‍්‍රභාවිත ආකර්ෂණීය හැඟිම් රාගය හා පේ‍්‍රමය සමතුලිතව රඳවමින් පවත්වනු ලබන සදාකාලික මානසික ස්පර්ශයක් බව කිවිඳිය සහෘදයා වෙත විද්‍යමාන කරවයි.

ඇහේ එක කඳුළකට ඉඩ නොදෙන පෙම් රුවක්

දැනෙන හැම රිදුම් ළඟ සුව සදන අත්වැලක්

දැවෙන දාහයෙ ගින්න නිවන මහ විල් තෙරක්

අතනොහැර රකිනු මැන එය සසර පේ‍්‍රමයක්

(ආලය නම් )

ඇයගේ බස සරලය. පොදු ජනයාට සමීපය. උපමා රූපකයන් ද එබඳු ය. ඒසේ වූ පමණින් කාව්‍ය නිර්මාණය අවර ගණයෙහිලා සැලකිය නො හැකි ය. නූතනයේදී කාව්‍යයන් උසස් වන්නේ භාෂා ප‍්‍රයෝගයෙන් පමණක් යැයි සිතමින් නිර්මාණයට කිසි අයුරයකින් සබඳතාවයක් නොමැති නිර්මාණකරු ගේම සමීපයෙහි හිඳ සොයා ගත යුතු යෙදුම් භාවිතයට ගනියි. එය ව්‍යුත්පත්තිය විදහලනු වස් උපයෝගී කරගනු ලබන ජනප‍්‍රිය කාව්‍ය ක‍්‍රමයක් හැර අන් කිසිවක් නොවන්නේ ය. මාර්ටින් වික‍්‍රමසිංහයන් එවැනි කාව්‍ය ලක්ෂණයන් දැඩිව විවේචනයට බඳුන් කර ඇත.

”ඉන්දියාවෙහි කාව්‍යය පිරිහෙන්ට වූ සමයෙහි කාව්‍ය රචනය පණ්ඩිතයන් සතු කාරියක් ලෙස සලකන ලදි. කවි ශබ්දය පණ්ඩිතයාට ද අන්වර්ථ නාමයක් වූයේ එහෙයිනියි සිතමි. උගතුන් විසින් ජන කාව්‍යය වඩාත් නොසලකන ලද්දේ කාව්‍ය රචනය හුදෙක් පණ්ඩිත ජනයාම සතු කාරියක්ය යන හැඟීම පැතිර ගිය බැවිනි.”

(සිංහල සාහිත්‍යයේ නැඟීම, පිටු 237)

එසේ නම් කාව්‍යක කෙබඳු ලක්ෂණයන් අන්තර්ගත විය යුතු ද යන්න විමසිය යුක්තකි. කේ. ජයතිලකයන් ”සාහිත්‍ය විචාර සටහන්” නම් කෘතියේහි දක්වන අන්දමට කාව්‍යක අග‍්‍ර ශ්‍රෙයස බ‍්‍රහ්මාස්වාදය හෙවත් සිතින් බ‍්‍රහ්මන් ස්පර්ශ කිරීම වේ. ඔහු එය තවදුරටත් පහදනු ලබන්නේ ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීමය. ඒ නයින් විමසන කල්හි ජනිතාගේ කවිය ද ලෝක ස්වභාව අවබෝධ කරගත් සේය.

කුලැත්තියෝ කුල හීනයෝ

එකම සයනේ වැතිරිලා

ධනවතා දුගියා අසලමයි

ඇඳිවතක් විතරක් දරා

උඩඟුකම් මානයන් අබියස

රැඳී හිටි උන් නෙත් අයා

ඔහේ වැතිරී නිදන අරුමේ

සියල් අස්ථීර බව මවා

(මෝචරියට පත්වීමක්)

මුදල් අතැතින් ගිලිහී වැටුණා

මගෙම පුතුගේ දෑස පෙනුනා

පුතු ඇසිල්ලෙන් ඉවත බැලූවා

රථය වේගෙන් දුරට ඇදුනා

(යාචක අම්මා)

මේ නයින් බලන කල්හි කාව්‍ය ලොවට තිලිණ කළ ”දෑස පියා විඳිනු මැනේ” කාව්‍ය සංග‍්‍රහය විමසීමට බඳුන් විය යුතු කෘතියක් ලෙස නම් කළ හැකිය.

තැන්නහේනේ නාගිත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment