කමලාවතී කුණු බිත්තර එකතු කරලා

472

කමලාවතී කුලියාපිටියේ කාන්තාවකි. ඇයත් සැමියත් එකතුව සරුසාර කුකුළු ගොවිපළක් පවත්වාගෙන යන්නේ කලක පටන්ය. දරුවන්ගේ කුසගින්දර නිවා ගෙයක් දොරක් තනාගෙන දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට මුදල් වැය කළේ මෙකී කුකුළු ගොවිපළට පින්සිදු වන්නටය.

රටේ බොහෝ ප‍්‍රදේශවල බිත්තර හා කුකුළු මස් ව්‍යාපාරිකයන් කුලියාපිටියටම පැමිණ ඒවා මිලදී ගන්නා නිසා කමලාවතීලාට එම ව්‍යාපාරය පහසු එකක් වී තිබිණි.

‘‘ඒයි ඒයි… මෙහෙට එනවකෝ’’ කමලාවතී යටිගිරියෙන් කෑගැසුවේ රූපවාහිනියේ ගිය ප‍්‍රවෘත්තියක් දැකීමෙන් පසුවය.

‘‘තමුසෙ ඉතින් එනකොට ඔක්කොම ඉවරයි. මම දන්නෙ නැතුවෑ තමුසෙගෙ තරම’’ කමලාවතී ගස්සාගෙන කුස්සියට ගියේ රූපවාහිනිය බැලීමට පමා වී පැමිණි සැමියාට බැණ වදිමිනි. ඒ ඇගේ හැටිය. නිවසේ පිරිමියාත්, ගැහැනියත් දෙකටම හිමිකම් කියන්නේ කමලාවතීය.

කුකුළු ගොවිපළ විශාලය. බිත්තර ඇහිඳීම කුකුළන්ට හා කිකිළියන්ට කෑම, වතුර දීම කමලාවතීගේ සැමියාගේ රාජකාරිය ය.

බිත්තර විකිණීම, මුදල් ගනුදෙනු සියල්ල කමලාවතීගේ රාජකාරිය ය.

‘‘යෝදියේ මොනවද මේ බිත්තර, ගඳේ බෑ’’ කුණු ගඳ ගසන බිත්තර තොගයක් දුටු කමලාවතීගේ සැමියා බිඳුණු හඬින් කෑගැසීය.

‘‘තමුසෙ ඕව දන්නෙ නෑ. මම අලූත් ඕඩරයක් ගත්තා’’ කමලාවතී කී දේ සැමියාට තේරුණේ නැත.

ඕයි කුණු බිත්තරවලට හොඳ කාලයක් ඇවිත්. තමුසෙ ඔය ටික උස්සන් ඉන්නෙ නෑනේ. මම ඔය ටික විකුණලා පෙන්වන්නම් ඇය කීවේ කුණු බිත්තර ගොඩට තවත් කුණු බිත්තර කිහිපයක් එක්කරන ගමන්ය.

  • පේ‍්‍රම්
advertistmentadvertistment
advertistmentadvertistment