කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ

718

සියවස ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව ඉතා අහිංසක දුක් විඳින තත්ත්වයකට පත් විය. එය එසේ වූයේ මෙරට කම්කරු ජනතාවට නායකත්වයක් දිය හැකි පුද්ගලයෙක් නොමැති වීමය. මෙයින් වසර කීපයක් ඉක්මයද්දී මේ අඩුව සපුරාලමින් හදිසියේ පහල වූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු පසු කලෙක වැඩ කරන ජනතාවගේ ඉටු දෙවියා බවට පත් විය.

 මෙම ජනතා පුත්‍රයා සමාජයේ එක කොටසකට සීමා නොවී කළ කාර්යය සම්භාරය නිසාම එතුමන්ගේ උපන් දිනය මෙන්ම වියෝ වූ දිනය ද කවුරුන් කෙසේ වෙතත් මෙරට වැඩ කරන ජනතාව ආදරයෙන් සමරන දිනයක් වී ඇත. මෙතුමා ශ්‍රේෂ්ඨයෙකි. වචනයේ පරිසමාප්තියෙන්ම අවංකභාවයේ ප්‍රතිමූර්තියකි. වැඩ කරන ජනතාවට කොන්ද කෙළින් තබා සමාජයේ ඉහළ තත්ත්වයකින් වැජඹීමට ඉඩ ලබාදුන් ඒ. ඊ. ගුණසිංහ මහතාගේ 131 වැනි ජන්ම දිනය සැමරීම මැයි මස 01 වැනිදාට යෙදී ඇත.

 මහනුවර ධර්මරාජ විදුහලින් සිංහලයාගේත් බෞද්ධකමෙත් පන්නරය ලබමින් අධ්‍යාපන කටයුතුවල නිරත වූ තරුණ ගුණසිංහයන් 1911 කොළඹට පැමිණ සමාජ සේවාවන්හි නියැලුනි. එම වසරේ දෙහිවල තරුණ සංගමය ආරම්භ කර ජාතික තරුණයන්ගේ ජාත්‍යාලය ඇති කිරීම සඳහා බොහෝ පරිශ්‍රමයක් දැරීය. එදා පරසිරිත් හිස තබාගෙන සමහර සිංහලයෝ රට ජාතිය ආගම තබා මවුපියන්ද නොසලකා හැර තිබිණි. සංකර බ්‍රස්ටයන් මෙන් ජීවත් වූ ඉංග්‍රීසි උගත් සමහර සිංහල තරුණයන්ට ජාතික හැඟීම් තබා සිංහලත් අමතක වී තිබුණ යුගයක ජාතියට ජීවය දෙන්න කටයුතු කළහ. සමාජ සූරාකෑම හා අසාධාරණය සියැසින් දැකීමෙන් උණු වූ හදවතක් ඇතිව කටයුතු කළ ගුණසිංහ මහතා ලංකා සේවක සමිතිය නමින් පිහිටුවූ සංවිධානයක් තුළින් සිය වැඩසටහන් දියත් කළේය. මේ සමාජයේ වැඩකටයුතු අතර කොළඹ නගරයේ වැඩිහිටියන් අතර, ප්‍රථම රාත්‍රි පාසල් පිහිටුවීමද නගරයේ මුඩුක්කු වැසියන් අතර, සමාජ සේවා සංවිධානයක් ආරම්භ කිරීමද ඇතුළත් විය. ඒ 1913 වසරයි. මේ වන විට වැඩ කරන ජනතාව වෙනුවෙන් ගුණසිංහ මහතා නැගූ හඬ සුදු ජාතික පාලකයන්ට මෙන්ම එහෙයින්ටද මහත් හිසරදයක් විය. එවකට ප්‍රබලව තිබුණු ලංකා ජාතික සංගමයේ ඇතැම් ප්‍රබලයන් ගුණසිංහගේ නැගීම ගැන නොසතුටෙන් පසු විය. මේ අයගේ සහභාගිත්වයෙන් එවකට තිබූ කම්කරු සම්මේලනය ක්‍රියාශීලී නොවී හාම්පුතුන්ගේ පැත්ත ගන්නා බව ගුණසිංහ මහතාගේ අදහස විය.

 ගුණසිංහ මහතාගේ කම්කරු සටන් ක්‍රියාත්මක වන අවධියේ ඔහු ඇඟ බද්දට එරෙහිව පාරේ ගල් කැඩීමේ නිරත විය. කම්කරුවන් සමග හරි හරියට වැඩ කළ එතුමා අනුගමනය කළ සියලු දෙනාටම මහත් ආදර්ශයක් වූ බව නොරහසකි. එතුමා කළ ශ්‍රේෂ්ඨ කාර්යයන් අතර මෙරට ජනතාවට සර්වජන ඡන්දය ලබා ගැනීම ඉතාහසගත ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්ය. ලංකා ජාතික සංගමයේ ප්‍රබලයන් සමග බොහෝ අවස්ථාවලදී ගැටුණු ඒ මහතා සිය උත්සාහයේ ප්‍රතිඵල එළඹෙනතුරුම අභීතව සටන් කළේය. අද තිබෙන මෙරට දේශපාලන පක්‍ෂ සෑම එකක්ම මැයි දින පෙළපාලි පවත්වන ආකාරය පිළිබඳව ඔබ සැම නොදන්නවා නොවේ. මත්ද්‍රව්‍ය අද පෙළපාලි යන අයට නොදුන්නොත් ඔවුන් පෙළපාලි යෑමට පැමිණෙන්නේ නැත. මුල්වරට ගුණසිංහ මහතා සංවිධානය කළ මැයි දින පෙරහැර මෙන් හරවත් බවක් පෙනෙන්නට නැත. මැයි දිනයේ උපත ලබා ප්‍රථම මැයි දින රැලිය සංවිධානය කළ ඔහු සෑම විටම අන්‍යයන්ගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කළේය. පසුකලෙක මාක්ස්වාදය කරපින්නා ගෙන වෘත්තීය සටනේ නියැලෙන අය එයට ගුණසිංහ මහතාගේ ආභාසය ලබා ගත්තේය.

 ගුණසිංහ මහතා කම්කරු සංවිධානය තුළින් පක්ෂ දේශපාලනයට පිවිසීම සඳහා ලංකා කම්කරු පක්ෂය 1928 පිහිටුවා ගනු ලැබීය. 1922 ලංකා කම්කරු සමිතිය ආරම්භ කරන ලදී. එයට එංගලන්තයේ කම්කරු පක්ෂයෙන්ද අවවාද අනුශාසනා ලැබීය. කම්කරු පංතිය අතර වූ සහයෝගය විසි ගණන්වල වැඩ වර්ජනවලදී ද කැපී පෙනුණ ලක්ෂණයක් විය. ලංකා කම්කරු සමිතිය මෙහෙයවීමෙන් 1923 සමස්ත මහා වැඩ වර්ජනයේදී දුම්රිය කම්කරුවන් පටන්ගත් සටන කොළඹ නගරයේ සියලුම කම්කරු පන්ති කොටස් අතරට ලැව් ගින්නක් මෙන් පැතිරුණි. 1923 දී රැස්වීම් පෙළපාලි ආධාර මුදල් එකතු කිරීමේ හා වෙනත් අන්දමේ ඒකාබද්ධ වැඩ කටයුතු බෙහෙවින් දක්නට ලැබී ඇත. 1927, 1929 විරෝධයත් වරාය හා ගුදම් රථ කම්කරුවන්ගේ අරගලවලදී ද එලෙසම දක්නට ලැබිණි. වැඩ නතර කර සිටින්නන්ට ආධාර වශයෙන් සේව්‍ය වෙළෙඳ සමාගම් වර්ජනය කිරීමේ ආයුධය සංකේත සහයෝගය ලබාදීම, වැඩ වර්ජන මුදල් හා ආහාර යනාදී ද්‍රව්‍යමය ආධාර, පිකටිං කිරීම යන මේවා සහයෝගය දැක්වීම සඳහා පාවිච්චි කරන ලද වෙනත් ක්‍රම විය. උච්චතම අවස්ථාවලදී කම්කරුවන් මහ පාරට බැස සටන්කාමී අරගල කරමින් පොලිසියට හා අධිකරණයට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණාහ. කොළඹ නගරයේ කම්කරුවන් ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාවලින් එකට වෙළුණු පංති හැඟීමෙන් යුතු පිරිසක් බවට පත්ව ඇති බැව් පැහැදිලි විය.

 ගුණසිංහ මහතා රටක් වටිනා ගෝල බාලයන්ට ගුරුවරයෙකි. ඒ නිසාම එතුමාගේ සුවච ගෝලයකු වන ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අගමැතිව සිටියදී ගුණසිංහ ප්‍රතිමාවක් ඉදිකිරීමට කටයුතු සලසා දෙන ලදී. ගුණසිංහ නිවාස සංකීර්ණයක් ඉදිකොට ගුණසිංහ පුරවරය වශයෙන් නම් කරන ලදී. ගුණසිංහ විiාලය ගුණසිංහ ක්‍රීඩාංගණය දසක ගණනාවකට වඩා පවතින බව සැක නැත. ඒ නිසා දීර්ඝ කාලයකට එතුමන්ගේ නාමය සෑම විටම සිහිවෙනු ඇත.

 කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මැතිතුමාට නිවන් සුව අත්වේවා

 ● දේශමාන්‍ය විජිත කදිරගොන්න
 ලංකා කම්කරු පක්‍ෂයේ නායක

advertistmentadvertistment
advertistmentadvertistment