කම්කරු ලෙයින් රතු වූ මැයි දිනය

139

මැයි දිනය මෙකල මෙරට වැඩ කරන ජනතාවට කෙසේ වෙතත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට නම් බොහෝ වැදගත් වී ඇති බව පෙනේ. කෙසේ හෝ සෙනඟ රැස්කොට සංදර්ශන, පෙළපාලි රැස්වීම් පවත්වා ඒ ඒ දේශපාලන කණ්ඩායම්වල හයිය පෙන්වීමට අවස්ථාවක් ලෙස මැයි දිනය දැන් යොදා ගෙන ඇති නිසාම වැඩ කරන ජනතාව මැයි දිනය සැමරීමේ කටයුතුවලින් ඈත් වී ඇති බව පෙනේ.

එහෙත් අධිරාජ්‍යවාදී පාලන සමයේදී හා නිදහස ලබාගත් මුල් අවදියේදී මෙරට වැඩ කරන ජනතාව මැයි දිනය අනුස්මරණය කළේ එහි ඇති ඓතිහාසික අගය සිහිපත් කිරීම අත්‍යවශ්‍ය වූ නිසාමය.

මෙරට නිදහස ලබා ගත් මුල් අවධියේ බලයට පත්ව සිටි රජය මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීමට පවා අකමැති විය. මේ නිසා වෙනත් ප්‍රගතිශීලී කණ්ඩායමක් බලයට පත් කිරීම තුළින් මැයි දිනය නිවාඩු දිනයක් කර ගැනීමට මෙරට කම්කරු ජනතාවට සිදු විය. අපේ රටේ මැයි දිනය නිවාඩු දිනයක් කළේ 1956 මැයි 01 වනදා සිටය. එසේ කරන ලද්දේ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක රජය විසිනි.

වර්තමානයේ බොහෝ දෙනෙක් මැයි දිනය කම්කරු දිනය ලෙස සලකන්නේ ඇයි දැයි කියාවත් දන්නවා දැයි නොදනිමි. අනුස්මරණ රැස්වීම් ආදියේදීවත් ඒ ඓතිහාසික තොරතුරු සිහිපත් කරන බවක් නොපෙනේ. ඒවායේදීද කරන්නේ දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීමය. තත්ත්වය මේ නිසා වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවට කම්කරු දිනයේ ඓතිහාසික වැදගත්කම ගැන යමක් සඳහන් කිරීමට වැදගත් යැයි සිතමි.

මැයි 01 වනදා වැඩ කරන ජනතාවගේ දිනය බවට පත් වූයේ ඓතිහාසික සිද්ධියක් මුල්කර ගෙනය. එනම් 1886 මැයි 01 වනදා චිකාගෝ නුවර පෙළපාලි ගිය කම්කරුවන්ට ඇමරිකානු රජයේ හමුදාව විසින් වෙඩි තැබීමේ සිද්ධියයි. මේ සිද්ධියෙන් පසු මුළු ලෝකයේම වැඩ කරන ජනතාව සිය අමරණීය දිනය වශයෙන් මැයි 01 වෙනිදා තෝරාගත්හ.

වර්තමාන ලෝකයේ වැඩ කරන ජනතාව සෑහෙන ප්‍රමාණයකින් අයිතිවාසිකම් හා වරප්‍රසාද භුක්ති විඳින නමුදු කාර්මික යුගයේ මුල් අවදියේදී එනම් 1760 සිට 1830 පමණ කාලය තුළ කම්කරුවන් ගත කළ ජීවිත අතිශයින් ශෝචනීය විය. කර්මාන්ත හිමියෝ අධික ලාභ ඉපයීමේ අදහසින් කම්කරුවන් සූරා කෑ අතර ඔවුන් වෙනුවෙන් කිසිම සුබදායක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහ. කම්කරුවන් වාසය කළේ දුගඳ හමන මුඩුක්කු වලය. ආකරවල හා කර්මාන්තශාලාවල වැඩ කළ කම්කරුවෙකු දිනකට පැය 15ක් 16ක් වැඩ කළ යුතු විය. එම සේවකයන් බොහෝ දෙනකුගේ විනෝද මධ්‍යස්ථානය වූයේ වෙසඟනන්ගේ හා බේබද්දන්ගේ තිත්පොලවල් වූ රා කඩවල්ය. අධික ජනගහනය නිසා මේ කම්කරු පවුල් සියලු දුසිරිත්වලට ගොදුරු වූහ.

එකල වැඩ කරන ජනතාවගේ දූ දරුවන්ට අත් වූ ඉරණම ද ශෝචනීය විය. හයහතර තේරෙන වයසට පැමිණි දරුවන් ද දිවි රැක ගැනීමට නම් කම්හල්වල වැඩට යා යුතු විය.

කාර්මික විප්ලවය ඇරඹුණු එංගලන්තයේ පැවතුනු මේ තත්ත්වය කම්පාවට පත් වූ බුද්ධිමත්හු මේ තත්ත්වය වහා නැති කරන ලෙසට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇරඹූහ. එහි ප්‍රතිඵලයක් ලෙස බි්‍රතාන්‍ය රජය විසින් කම්කරුවන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රාජකීය කොමිසම් සභාවක් පත් කරන ලදී. එම කොමිසම ඉදිරියේ සාක්කි දුන් එක් කංකානිවරයෙකු මෙසේ සඳහන් කොට ඇත.

“අවුරුදු අටේ සිට දහය, දොළහ පමණ වූ ළමයි දිනකට පැය 8-10 දක්වා වැඩ කරනු මම දුටිමි. ඔවුහු අධික ලෙස වෙහෙස වීමෙන් සිහිසන් නැති වී ගිය විට දෙමාපියන් පැමිණ කර තබාගෙන යනුද මම දුටිමි. වැඩ ගැනීමෙන් වෙහෙසට පත්ව ඉබේම නින්ද ගොස් සිටි ළමයින්ට පරුෂ වචනයෙන් බැන හෝ තරවටු කොට හෝ කස පහර දී හෝ ඔවුන් පුබුදුවා වැඩ ගන්නා සැටි මම දුටිමි. ඇතැම් විට ඒ ළමයින් අධික වෙහෙස නිසා සිහි නැති වීමට ඔන්න මෙන්න තියා තිබියදී ඔවුන්ට තරවටු කොට හෝ කස පහරදී හෝ වැඩ ගන්නට මට ද සිදු විය. එය මට බෙහෙවින් සිත් වේදනා ගෙන දෙන්නක් විය. එසේ පහර දුන් විට ඔවුහු නැවත පැයක් පමණ හොඳින් වැඩ කළහ. අවසන් පැය දෙක තුන මට ඉතා කරදකාරි විය. ඒ වනවිට ළමයින් අන්තයටම වෙහෙසී සිටි නිසාය.”

මේ හැර එම කොමිසම ඉදිරියේ සාක්කි දුන් අය එම කර්මාන්ත හිමියන්ගේ කෲරකම විස්තර කොට තිබේ.

මේ සමයේදී බොහෝ පිරිමි විෂ වායුවෙන් පිරී ගිය අඟුරු ආකරවල අඟුරු කුඩු තවරාගෙන වැඩ කළහ. භූ ගර්භයේ එවැනි ආකර තුළ ඔවුන්ට අඟුරු කැඩීමට සිදු වූයේ යවුලෙන් හා ඉස්කෝප්පයෙනි. එසේම කොට කලිසමෙන් පමණක් විලි වසාගත් ස්ත්‍රීහු අඟල් 30 කට වඩා උස් නොවූ දෝනාවල අඟුරු බාල්දි ඇදගෙන ගියහ. රෝද සවි කළ එම බාල්දි ස්ත්‍රීන්ගේ ඉනේ බැඳ තිබුණේ දම්වැල් වලිනි. ඔවුහු මෙම බාල්දි ඇදගෙන ගියේ හතරගාතයෙනි.

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා බුද්ධිමත් නායකයින්ගේ මෙහෙය වීම යටතේ වෘත්තීය සමිති යටතේ සංවිධානය වූ කම්කරු ජනතාව උද්ඝෝෂණය කරන්නට එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය වැනි හැම රටකම වෘත්තීය සමිති පැන නැගුන අතර බි්‍රතාන්‍යයේ වැඩ කරන ජනතාව එයිනුත් පෙරමුණේ වූහ. සෑම රටකම පාහේ කම්කරු උද්ඝෝෂණ කරගෙන ගියේ ප්‍රධාන ඉල්ලීම් කීපයක් මුල්කරගෙනය.

එම ප්‍රධාන ඉල්ලීම් වූයේ වැඩ කිරීමට යහපත් තත්ත්තවයක්, හොඳ වැටුප් ක්‍රමයක්, පැය අටක වැඩ දිනයක්, මිනිස් අයිතිවාසිකම් යන ඉල්ලීම්ය. මෙම ඉල්ලීම් ඉදිරිපත් කරමින් ගෙන ගිය අරගලවලදී බොහෝ කම්කරුවන් පීඩාවට පත් වූ නමුදු අරගලය දිගටම ගෙන ගියහ. 1886 ට පෙර ඇමරිකානු කම්කරුවන් මේ සඳහා කළ උද්ඝෝෂණවලින් තරමක ප්‍රතිඵල දිනා ගන්නා ලදී. ඇමරිකානු ජනපද හයක පැය අටේ නීතිය සම්මත කොට නීති පනවන ලද්දේ 1867 ට පෙරය. එහෙත් කම්කරු සටන් අඩපන කිරීමට මෙම නීති පැනවූවා විනා ඒවා ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවීය. එසේම ඒවා ක්‍රියාත්මක නොකිරීමට විධි විධාන එම පනත්වලටම අන්තර්ගත කොට තිබිණි. එනම් ස්වාමි සේවක දෙපක්ෂයම වැඩිපුර වැඩ කිරීමට ගිවිසුම් ඇති කරගෙන ඇතොත් මෙම නීති ක්‍රියා නොකළ හැකි බව පනතට ඇතුළත් කොට තිබීමෙනි.

මේ නිසා 1884 දී රැස් වූ “සංවිධානය වූ කම්කරුවන්ගේ වෘත්තීය සමිති සම්මේලනය” විසින් 1886 මැයි පළමුවනදා සිට නීත්‍යානුකූලව වැඩ කරන කාලය පැය අටක් බවට කම්කරුවන් විසින්ම සම්මත කරගත යුතු බව තීරණය කර ගත්හ. ඒ සඳහා 1886 මැයි මස 01 වැනිදා සමස්ත මහා වැඩ වර්ජනයක් සංවිධානය කිරීමට ද තීරණය විය.

මෙම වැඩ වර්ජනය සඳහා කම්කරුවන් මෙන්ම කර්මාන්ත හිමියෝ ද සූදානම් වූහ. කම්කරුවන් සිය ඉල්ලීම් ප්‍රචාරය කළ අතර කර්මාන්තශාලා හිමියෝ ඒවාට විරුද්ධ මත ප්‍රචාරය කළහ.

1886 මැයි 01 වෙනිදා වැඩ වර්ජනය ඇරඹිණි. එය බෙහෙවින් සාර්ථක විය. ඇතැම් කර්මාන්තශාලා හිමියෝ කම්කරුවන් 30,000 කට පමණ මැයි 01 වැනිදාට පෙරම පැය අට ලබා දුන්හ. සේවා ස්ථාන 11,500 ක කම්කරුවන් 350,000 ක් වැඩ වර්ජනය කළහ. චිකාගෝ නුවර කම්කරුවන් වැඩ වර්ජනය කළ කර්මාන්තශාලාවක පොලිස් මුර යටතේ 300 ක් වැඩෙහි යෙදවූහ. එයට විරුද්ධව කම්කරුවෝ පෙළපාලි ගියහ. එම පෙළපාලියට පොලිසියේ උසිගැන්වීම් අනුව “වැඩ කළ අය” විසින් අත් බෝම්බ ගසන ලදි. එයින් ජීවිත ගණනක් විනාශ වූ අතර කලබල වූ පිරිසට පොලිසිය විසින් වෙඩි තබන ලදී. එම වෙඩි තැබීමෙන් අඩුම වශයෙන් හතරදෙනකු මියගොස් විශාල ගණනාවක් තුවාල ලැබූහ. පෙළපාලිකරුවන් අත තුබූ සුදු කොඩි ලෙයින් තෙමී රතු පාට විය. ලෝකයේ වැඩ කරන ජනතාවගේ සටන්කාමී සංකේතය රතු වූයේ මේ අයුරිනි. එදා සිට කම්කරු කොඩිය රතු පාට විය.

පොලිසියේ මෙම ක්‍රියාවට විරුද්ධව සංවිධාන වූ කම්කරුවෝ මැයි 04 වැනිදා හේමාර්කට් චතුරස්‍රයේ රැස්වීමක් සංවිධානය කළහ. රැස්වීම සාමකාමීව පැවතෙද්දී හදිසියේ කඩා වැදුනු පොලිස් හමුදාවක් විසින් එය විසුරුවා හරින ලද අතර පොලිසියෙන් විසිවුනු අත් බෝම්බයක් වැදී “ඩෙගන්” නම් පොලස් භටයා මිය ගියේය. එය අවස්ථාව කරගත් පොලිසිය දිගට හරහට වෙඩි තැබීය. කීපදෙනකු මියගිය අතර සිය ගණන් තුවාල ලැබූහ. මේ බෝම්බ සිද්ධියේ වරද කම්කරුවන් පිටම පැටවූ රජය කම්කරු නායකයන් අට දෙනකුට මරණීය දණ්ඩනය නියම කරන ලදී. ඊට විරුද්ධ වූ මුළු ලෝකය පුරාම උද්ඝෝෂණ පැන නැගිනි.

දිගටම උද්ඝෝෂණ ගෙන ගිය ඇමරිකානු කම්කරු සමිති සම්මේලනය 1890 මැයි 01 වැනිදා සිට වසරක් පාසා රැස්වීම් හා පෙළපාලි පවත්වා 1886 සිදුවීම් සිහිපත් කිරීමට තීරණය කළහ. මේ අතර 1889 ජූලි 14 වැනි දින ප්‍රංශ විප්ලවයේ ශත සංවත්සරය සැමරීමට “ෆෙඩ්රින් එංගල්ස්”ගේ නායකත්වයෙන් පැරිස් නුවරට එකතු වූ අන්තර්ජාතික සමාජවාදී ව්‍යාපාරයේ නායකයෝ 1890 මැයි 01 දා සිට සෑම මැයි 01 වෙනිදාවක්ම ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස පිළිගැනීමට තීරණය කර ගත්හ. මේ අනුව මැයි 01 දිනය ලෝක කම්කරු දිනය විය.

විජේරත්න අතුරුපාන

advertistmentadvertistment
advertistmentadvertistment