කම්කරු ලේකම් අත්අඩංගුවට නොගැනීමෙන් උසාවියට අපහාස කළ පොලිස්පතිට නීති පියවර ගන්න- ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

571

හොරණ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක 2018 වසරේ සිදුවූ හදිසි අනතුරක් සම්බන්ධයෙන් අධිකරණය නොමග යවන ආකාරයට අසත්‍ය සාක්ෂි හා තොරතුරු ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ල වී ඇති කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක නොකළ පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා පුරවැසියන් තිදෙනෙක් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට පැමිණිල්ලක් ගොනු කළහ.

හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 24 වැනිදා නිකුත් කළ එම වරෙන්තු නියෝගයට එරෙහිව පසුගිය 27 වැනිදා කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිටදී අමාත්‍යාංශයේ නිලධාරීන් හා සේවකයන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ප්‍රසිද්ධියේ විරෝධතා දැක්වීමෙන් ඔවුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඔවුනට එරෙහිව ද අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙසට එමගින් ඉල්ලා තිබේ. එම්. සුසන්ත ආරියරත්න, කේ. ලලිත් කරුණාරත්න හා ලාල් ජයතිස්ස යන තිදෙනා ඉදිරිපත් කළ එම පැමිණිල්ලේ වගඋත්තකරුවන් ලෙස පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, කම්කරු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සංජය නල්ලපෙරුම ඇතුළු 36 දෙනකු නම් කර තිබේ.

ඉහත සඳහන් වගඋත්තරකරුවන් ඇතුළු පිරිසගේ ක්‍රියා කලාපයන් හා නොසලකා හැරීම් නිසා අධිකරණයට අපහාසයක්, නිගාවක් හෝ අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක් සිදුවී ඇති බව පෙනී යන බැවින් විධිමත් පරීක්ෂණයක් පවත්වා නිසි නීතිමය පියවර ගන්නා ලෙසටත් මින්මතු මෙවැනි සිදුවීම් නොවීමට හා අධිකරණයේ ගරුත්වය සුරකීමට පියවර ගන්නා ලෙසට අගවිනිසුරුතුමන් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා ඇති පැමිණිලිකරුවන් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු එකී අධිකරණ නියෝගයට අවනත නොවී දිගින් දිගටම රාජකාරියේ නිරතවීම ආයතන සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බව ද පෙන්වා දී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment