කම්මුතුවන ජනතා බෝම්බය

1995

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අසුන් පැදීමට මහත් රුචියක් දැක්වූවෙකි. ඔහු මිය යන්නේද අසකු පිටින් ඇදවැටීමෙන් බව පිළිගැනීමයි. ඔහුගේ මෙම අශ්ව ලෝලිත්වය නිසාම විවිධ රස කතාද ඔහු හා පැතිර පවතී. විටෙක එම කතාවම රටට මහත් නස්පැත්තියක් කළ රාජ්‍ය නායකයන් කෙරෙහිද හාස්‍යෝත්පාදන ලෙස සමාජය විසින් පටබැඳ තිබේ. එවන් කතාවක දැක්වෙන්නේ වරෙක ඩී. එස්. විසින් ඔහුගේ තවත් දේශපාලන මිතුරකු අමතා තමන්ට හොඳ අශ්වයකු ගෙන එන්නට හැකි නම් හොඳ බව ඔහුට කියා ඇති බවයි. කෙසේ නමුත්, මිතුරා ඊළඟ පාර ඩී. එස්. දකින්නට යද්දී ඔහු සමග (පසු කලක මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත්වූ) ජේ. ආර්. ජයවර්ධන මහතාද ගොස් ඇත. ජේ. ආර්. ජයවර්ධන මහතා දුටු ඩී. එස්, මිතුරාගේ කනට කර, “මම තමුසෙට කිව්වෙ අශ්වයෙක් ගෙනෙන්න කියල…..තමුසෙ ගෙනල්ල තියෙන්නෙ බූරුවෙක්නෙ……” කියා කිව්වේ යැයි කියන ජන කතාවක් සමාජයේ ඇත. මේ කතාව අප කියන්නේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට කිසිදු අපහාසයක් කරනු පිණිස නොවන බව සැලකුව මැනව. නමුත් ඔහු විසින් ගෙන එන ලද විවෘත ආර්ථික වැඩපිළිවෙළ අද දැඩිව විවේචනයට ලක්ව ඇත්තේ රට තුළ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලිය ඒ මගින් සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇති බැවිණි. නොහොත්, රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳ දමන්නට ඔහුගේ එම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ප්‍රබල හේතුවක් වූ බැවිනි. සිරිමාවෝ මැතිනිය විසින් ඇතිකරන ලද දේශීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රබෝධය කඩා විසුරුවා හරින ලද්දේ ජේ. ආර්. ගේ විවෘත ආර්ථික ක්‍රියාදාමයම මිස අනිකක් නොවේ. රටේ සංවර්ධනයට වැඩ කරනවාට වඩා අද දක්වාම කොමිස් කුට්ටි ගිලින දේශපාලන සංස්කෘතියකට රට ඇදගෙන ගියේද ඒ ආර්ථික වෙනසම බව අමුතුවෙන් කිව යුතු නැත. ධර්මිෂ්ඨ සමාජයක් වෙනුවට අවසානයේ රටට ඉතිරි වූයේ අධර්මිෂ්ඨ සමාජයකි.

අශ්වයෙක් වෙනුවට බූරුවෙක් පැමිණි ඒ වෙනස මෙන්ම, ආසියාවේ ආශ්චර්යය කරන්නට ආ රාජපක්ෂ පරපුර අතින් මේ වන විට රට වළපල්ලටම ඇද දමා ඇත. ඒ කොතරම්ද යත්, ශ්‍රී ලංකාව තවදුරටත් ණය ගෙවාගත නොහැකි බංකොලොත් රාජ්‍යයක් දක්වාම අගාධයට ඇද දමමිනි. ඩොලර් බිලියන 2 ක ආධාරයක් සපයා මේ මොහොතේ අපට හාල්, පරිප්පු කවන ඩීසල්, පෙට්‍රල් සපයන ඉන්දියාව මේ අතර ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් ලෙසවත් නම්කර පවත්වාගෙන යෑමට අවස්ථාව දෙන ලෙස ලෝකයෙන් ඉල්ලා ඇත.

රටට සිදුවුණු දේ හිතාගන්නවත් අපහසුය. ධරණීය සංවර්ධනයේ සිහින මවමින් කලාපයේ ප්‍රමිතිගත රටක් ලෙස වේගයෙන් වෙනස් වෙමින් තිබුණු ශ්‍රී ලංකාව අද එකවරම හිඟන දේශයක් බවට පත්කර ඇත්තේ මේ රටේ කිසිදු සකසුරුවමක් නැති, අඳ බාල පාලකයන් රැල නිසාමය. එය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට, අගමැති මහින්ද රාජපක්‍ෂට පමණක් වලංගු වූවක් නොවේ. නමුත් මේ දෙපළ ඇතුළු රාජපක්‍ෂ සහෝදර හා දරු ළමා ළපටි කැළට මේ රට වැටී තිබුණු අගාධයෙන් ගොඩගන්නට ඕනෑතරම් අවස්ථාව තිබුණු බව අපගේ වැටහීමයි. එසේම, ජනාධිපති ගෝඨාභයට අවස්ථාව තිබුණේ සුරක්ෂිත රටක් හදන්නට නොව, අල්ලස, දූෂණය, වංචාව, හොර – මැරකම දුරලා ප්‍රමිතිගත රටක් හදන්නටය. නමුත්, තෙපර බබා හිටියා මිස ඔහුගෙන් බිහිවුණු ප්‍රමිතිගත රටක් අප දුටුවේ නැත. ඒ වෙනුවට නෑදෑ, සහෝදර පරපුර ශක්තිමත් කරන දුර්දාන්ත පාලන ක්‍රමයක් අප දුටුවා මිස රටට යහපතක් වනවා අප දුටුවේ නැත. මේ ආර්ථික කඩාවැටීමට කෙසේ වෙතත්, ඒ කඩාවැටීමේ වගකීම අද ඔවුන්ට දරන්නට සිදුවී ඇත්තේ එනිසාය. එසේ හෙයින් ජනතාව නගන විරෝධතාවලට කන්දෙන්නටත්, කන්දී ඊට නිසි ක්‍රියාමාර්ග ගන්නටත් දැන් ආණ්ඩුවට හා පාලකයන්ට සිදුව ඇත. තවදුරටත් ලයිට් කපන, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ගෑස් නැති, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට ගිය රටක් යළි ජනතාවට වුවමනා නැත. එසේ හෙයින් පාලකයන් ඉල්ලා අස්වී ගෙදර යායුතු බව ඇත්තකි. නමුත්, ඒ තවදුරටත් රට අරාජික කර නොවේ. ඒ සඳහා ජනතාව අපේක්ෂා කරන සිස්ටම් චේන්ජ් එකක්ද සමගිනි.

ඊයේ (28දා) රට අකර්මන්‍ය වූවේ මෙසේ අපේක්ෂා කරන සිස්ටම් චේන්ජ් එකක් අපේක්ෂාවෙන් මෙන්ම, රට අඳුරට ඇද දැමූ පාලකයන්ට ගෙදර යන්නට බලකරමිනි. දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත ජනයා වීදි බැස, ටයර් පුළුස්සමින් රට පුරා සියලුම නගර, ගම් දනව්වල මෙසේ විරෝධය දක්වන ලද්දේ, බැංකු, දුම්රිය, පාසල් ඇතුළු අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන අකර්මන්‍ය කළේ ආශාවට නොවේ. මන්ද මෙවන් ජීවන පීඩනයක් මින් පෙර කවරදාවත් ශ්‍රී ලාංකිකයන් වන අප අත්දැක නොතිබූ නිසාය. සබන්, ගිනිපෙට්ටි තොග ගණන් ගෙවල්වලට ගෙන ගිය කාලයක් මින් පෙර තිබුණේ නැත.

එසේ හෙයින් රාජපක්ෂ සහෝදරයන් ඇතුළු රට කරවන ඇත්තන් මේ විරෝධය දැන්වත් හොඳින් තේරුම් ගත යුතුය. ඇත්තටම ජනතාවට තවදුරටත් මේ පීඩනය දරාගත නොහැක. මේ පුපුරා යන්නේ ඒ දරාගත නොහැකි පීඩනය බව අඳ බාල පාලකයන් වහා වටහාගෙන ඉක්මන් තීන්දුවක් රටට දිය යුතුය. තවදුරටත් දූෂිත, පාලනයකට ජනතාව සූදානම් නැති නිසා ආණ්ඩුව ඉල්ලා අස්වී ගෙදර යායුතු වනවා සේම, ඉන්පසු පැහැදිලි ජනතා පාලනයක් සඳහා ඉඩකඩ සකසා දිය යුතුය. නැතිනම් ඊළඟට පුපුරා යන ජනතා පීඩනය මහා බෝම්බයක් විය හැකි නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment