කම්සැපයට ලොල් වී ‘පාතාලේට’ සැමියා මරන්න ඕඩර් දුන් ගැහැණියක්

1646

ආනමඩුවෙන් ඇසෙන තවත් වැරදුන ඝාතනයක්

සිරගෙදර යනු වැරදි කරනවුන් සිර කරන ස්ථානයක් වුවද, වත්මනේ එය වැරදි කිරීමට උගන්වන “ගුරු ගෙදරක්” බවට පත් වී තිබෙනු දක්නට, අසන්නට, ලැබේ. අඹ ගෙඩියක්, පොල් වල්ලක් හෝ බඩගින්නට පාන් ගෙඩියක් (මනුතාපය/ලේ මිසරාබ්ලේ කතාවෙහි මෙන්) සුලු සුලු සොරකම් කළ අසරණ වුන් සිර ගෙදරට අවුත් එහි කොටු වී දරුණු ගණයේ සොරුන්, කපටීන්, අපරාධකරුවන්, මිනීමරුවන්, සල්ලාලයන්, පාතාලයන්, අන්ඩර් ගේම් කරුවන් හා මුහුවී ඔවුන් සමග මිත්‍ර සමාගම්ද ලිංගික සබඳතාද පවත්වමින් පසුව කෙදිනක හෝ එලියට යන්නේ අපරාධ සොරකම් හා වැරදි ක්‍රියාවන් කිරීමට බියක් සැකක් නැති, සැලසුම් ඇති, නීතියෙන් රිංගා යෑමට ක්‍රමෝපාය නිසි ලෙස උගත් සංවිධිත අපරාධකරුවකු ලෙසිනි. ඒ ක්‍රම හා අධ්‍යයනයන් සියල්ල කළේ සිර ගෙදර ඇතුළේ සිටි පාතාල ජාවාරම්කාර මිනීමරු ගුරු (හොරු) වරුන්ය. ඇතුළට ගිය අහිංසකයා එලියට එන්නේ “යන යකා කොරහත් බිඳගෙන” යන්නටය. ඔවුනට දැන් බියක් සැකයක් ලැජ්ජාවක් නැත. ගංජාවලින් මත්කුඩුවලින් පදම් වූ ඔවුනට ඕනෑ ක්‍රියාවකට සහය දෙන ඒ වගේම ඕනෑම ගේමකට සහය ඉල්ලන ගුරු (හොරු) මිතුරන් (සතුරන්) රැසක්ම මිලට, මුදලට, රැකවරණයට සිටීම මහත් සවියක් බලයක් වී තිබේ. මෙනයින් වත්මනේ “සිරගෙදර” යනු ඇතුළට ගිය අහිංසක විස රහිත සර්පයන් වන හාල්දණ්ඩා, අහුරු කුක්කා, දියබරියා, වැනි සර්පයන් මාපිල්, පොළොඟුන්, නාග රාජයින් බවට කිරි පොවා විස දත් සවි කොට නිෂ්පාදනය කොට සමාජයට පිටත් කරන “මර ගෙදරක්” බවට පත් වී ඇත්තේය.

අපගේ මේ කතාව දිග හැරෙන්නේද එවන් සංසිද්ධි මාලාවක් ඔස්සේ ගොඩ නැගුණු අපරාධමය ක්‍රියාවලියක් දිගේය. එහි අවසානය තවමත් නිමාවී නැත්තේය. එය කෙසේ අවසාන වේදෝයි කීමට තවමත් කල් වැඩිය. ඇතැම්විට එය තවත් ඛේදවාචකයක් වුවද වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

දසනායක (ව්‍යාජ නමකි) අහිංසකයෙකි. තරුණයකු වූ ඔහු මිතුරන් නිසා සුළු සොරකමකට පැටලුනි. එය පොලිසියෙන් ඇප දිය හැකි, නැති නම් අධිකරණ නියෝගයකින් සති පතා පොලිසියට වාර්තා කළ හැකි නැති නම් ඇඟ බැඳිය හැකි අන්දමේ වරදක් වුවද අවසන ඔහු සිරගෙය ඇතුළටම තල්ලු වී ගියේය.

එහි දී ඔහුට මිතුරන් (සතුරන්) රැසක්ම හමුවිය. මේ මිත්‍රකම් පවත්වන පාතාල කෙරුමන් ඉතා ඉක්මනින් මෙවන් අහිංසකයන් තම ගොඩට වැද්ද ගන්නේ තම ව්‍යාපාර අපරාධ කරවා ගැනීමට සහායකින් රැස් කර ගැනීම් වශයෙනි. දසේටද මොවුන්ගේ ඇසුර ප්‍රියමනාප විය. මුදල්, දුරකථන, ගංජා, බීඩි, මත්කුඩු, ඔහුටද නොමඳව ලැබුණි. ටිකෙන් ටික දසේ “ඔවුන්ගේ මිනිසෙක්” බවට පත් විය. ඔහු අපූරු මිතුරෙක් විය. මෙවන් සුලු අපරාධකරුවන් ඉක්මනින් එලියට යන නිසා ඉන් පසු පාතාලයන්ගේ ගේම් මෙම සහකරුවන් ලවා (බළලුන් ලවා කොස් ඇට බාවන්නාක් මෙන්) කරවා ගැනීමට පහසු ලේසි බව පාතාලයෝ දනිති.

දසේ ඉක්මනින් එළියට ආවේය. ජීවත් වීමට පොඩි පොඩි ගේම් ටිකක් කළේද සිර ගෙදර ගුරු ගෙදරින් ලත් පුහුණුව පරිචය පරිද්දෙන් නීතියටත් කිසිවෙකුටත් හසු නොවන්නටය. එසේ සිටිද්දී ඔහුට රමණී (නම ව්‍යාජය) මුණ ගැසුණි. ඇය තිදරු මවකි. ඇය එසේ වුවත් දසේට පෙණුනේ සුරලොවින් මිහිබට සුරලියක මෙනි. රමණීටද දසේ පෙණුනේ තම කැහැටු සැමියා පරයා මතු වූ තරුණ කුමාරයකු මෙනි. ඔවුහු රහසින් එක්වූහ. රමණීට මුලින්ම තම සැමියාත් දෙවනුව තම දරු තිදෙනාත් අමතක විය. රමණය ප්‍රිය කළ රමණීට මුළු ලොවම අමතක විය.

සැමියාටද මෙම අසම්මත පෙම ගැන කනට වැටෙමින් තිබුණී. ඔහු රමණීගෙන් ප්‍රශ්න කළ ද ඇය බොරු කියමින් මග හැරියාය. ඒත් ඔහු දිගින් දිගටම ප්‍රශ්න කරමින් දරු තිදෙනා ගැනවත් සිතා මෙය නතර කිරීමට ඉල්ලා සිටියේය. රමණී සිටියේ රමණිය වූ මනෝ කාය ලෝකයකය. රමණීට තම සැමියා වධයක් විය. දරුවන් ද ඊට නොදෙවැනිය. දසේ සමග වෙනත් ඉසවුවක් බලා පියා සැලීමටද ඇය සියක් වර සිතුවාය. එසේ වුවද ඇය එක් වරක් පමණක් සිතා කෙටි කල්පනාවකින් වෙනස් වූ තීරණයකට එළඹුණාය. ඒ තමනට මහත් කරදරකාරයෙක් වධකාරයෙක් වූ (වසර පහළොවක් දීග කෑ) තම ස්වාමි පුරුෂයා සදහටම ඉවත් කර දමන්නටය. රමණයෙන් රමණය වී සිටි රමණී, මරණීය චේතනාවක් පෙරටු කොට ගෙන ඊට ක්‍රමෝපාය හා අවස්ථාව බලමින් කල්යල් මැන්නාය.

ඇයගේ අදහස ඇය දසේට දැනුම් දුන්නාය. දසේ ලැහැස්ති වූයේ එක පයින්මය. ඔහුට ඔහුගේ ගුරු (සිර) ගෙදර මිත්‍රයින් මතක් විය. සැලසුමක් සාදා ගෙන ගොස් කඩිනමින් ඔවුන් හමුවිය. ඔවුන් එලියේ සිටි තවත් පාතාල මිතුරන් දෙදෙනෙක් ඔහුට සොයා දුන්නේ “ ඔන්න උඹට තිතට වැඩේ කරලා දෙයි.” යනුවෙන් පවසමිනි.

ඔහු අලුත් යාළුවන් හමුවිණි. “ මචං මෙවුවා පහේ ගේම්… (ලක්ෂ පහක්) ඒත් උඹ අපේ යාළුවෙක්නේ කමක්නෑ එකක් දියන් (ලක්ෂයක්) දියන්. උඹ කියන විදියට වැඩේ කෙරේවි.

එවෙලෙම අත්තිකාරම් මුදලක් ලැබුණි.

ගේම නිම වූ පසු ඉතිරි මුදල ලබා දීමටද පොරොන්දු විය. දින තීරණය විය. දුරකථන අංක හුවමාරු විය. දසේ සතුටින් පැමිණ රමණීට සියලු තොරතුරු කීවේය. ඇය සතුටින් ඉපිලුණාය. ඇයද ඔහුද සැලසුම ගොඩ නැගුවෝය.

නියමිත දින එළඹුණි. පාතාලයෝ දෙදෙනා උදෙන්ම ත්‍රිරෝද රථයකින් කොළඹ සිට ආණමඩුව පැත්තේ රමණී සිටි පිටිසර ගම් පළාතට පැමිණියේ මග දිගට ෆෝනයෙන් මග තොරතුරු විමසමිනි. දසේටද පාතාලයන් දෙදෙනාටද අසල කැලෑබද ඉඩමකට ගොස් සැඟවෙන්නැයි රමණී පවසා සිටියාය.

ඇය තම සැමියාට පැවසුවේ ඒ කැලෑබද ඉඩම අසල ඇති තම වල් බිහි වූ ඉඩම සුද්ධ කොට වගා කිරීමට බලන්නට යමුද කියාය. ඔහු එකඟ විය. රමණී ඔහු පිටු පසින් පිය නැගුවාය. කැලෑබද ඉඩම පසුකරනවාත් සමගම එක් වරම දසේද පාතාලයෝ දෙදෙනාද ඉදිරියට කඩා පැන රමණීගේ සැමියා අල්ලා සිරකර ගත්හ. කට වැසූහ. දසේ ඔහු බිම පෙරළාගත් අතර රමණී කළේ තම සැමියාගේ හිස බිමට තබා තදින් සිර කිරීමයි. පාතාලයෙක් ඔහුගේ දෙකකුල මත නැගී සිර කර සිටියාය. රමණීගේ සැමියා මේ ග්‍රහණ වලින් මිදීමට දඟලමින්ම සිටියේය.

“කොටපන් යකෝ ඕකාට ඉක්මනට” දසේගේ විධානය අනුව ඉතිරි පාතාල මරුවා අලුතින් මිලදී ගත් මන්නා පිහිය ඉහළට එසවීය. ඔහු ගෙල ප්‍රදේශයට පහර එල්ල කිරීමට උත්සාහ කළද රමණීගේ සැමියාගේ දැඟලිල්ල එයට මහත් බාධා ඇති කළේය. අවසන ඔහුද රමණීගේ සැමියාගේ ගෙල පෙදෙස අතකින් සිර කර එක් වරම මන්නා පිහියෙන් ගෙල පෙදෙසට කෙටුවේය. එහෙත් රමණීගේ සැමියා මරු විකල්ලෙන් දැඟලූ හෙයින් පිහිපාර වැරදුණි. එය වැදුනේ පාතාලයාගේ අතටද හා රමණීගේ සැමියාගේ ගෙලටද අඩ වශයෙනි. පාතාලයාගේ ඇඟිලි සතරක් කැපුනේ වෙන්වන තරමටය. පාතාලයාට තරු විසිවුණි. ඔහු වහා නැගිට්ටේය. “මේකා මැරෙයි අපි මූව දාල යමු. ලේ ගිහිල්ලම මැරෙයි. මගේ අතට බේත් දාගන්න ඕනි. වරෙල්ලා යන්න.” ඔහු වේදනාවෙන් කෑ ගැසීය. සියල්ලෝ රමණීගේ සැමියා මැරෙන්නට ඉඩ හැර වහ වහා පලා ගියහ. පාතාලයෝද පිටවූවේද අතට ප්‍රතිකාර ගැනීමටය.

රමණීගේ සැමියා මරුවිකල්ලෙන් කළ කෑ ගැසුම ඇසී ගම්මු රැස් වූහ. ඔහු රෝහල්ගත කෙරුණී. ඊට ප්‍රථම සිද්ධිය සම්බන්ධ අය ගැන ඔහු පවසා තිබුණි. ඔහු තාමත් අසාධ්‍ය මට්ටමින් නගරයේ රෝහලක දැඩිසත්කාර ඒකකයේය.

ආණමඩුව පොලිසිය දසේද රමණීද අත්අඩංගුවට ගත්හ. පාතාල දෙදෙනා හඹා ගිය පොලිසියට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අයෙක් ගැන හෝඩුවාවක් ලැබී පොලිස් පිරිසක් සිවිල් පිට ගොස් රෝහල අවට රැකවල් කළහ. ව්‍යාජ නමක් හා ව්‍යාජ තොරතුරු ලබා දී තම අතට ප්‍රතිකාර ලබාගත් පාතාලයා කොයි මොහොතක හෝ රෝහලින් පැන ගැනීමට කල් යල් බලමින් ඉන්නේය. අඳෝමැයි! ඔහු රෝහල් පිරිසගේ ඇස් වසා සීරුවෙන් ගේට්ටුවෙන් පැනීමට සූදානම් වුණා පමණි. රෝහල අවට රැකවල්ලා සිටි පොලිස් පිරිසට ඔවුන් සමග සිටි දසේ පාතාලයා පෙන්වීය. එම පාතාලයා අල්ලා ගත් පසු අනිකාද අත්අඩංගුවට ගන්නා ලදි. දසේද අත දරුවෙක් අත දරා සිටි රමණීද පාතාලයන් දෙදෙනාද ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

රමණී රුපියල් දසදහසක් නීතිඥ මහතෙකුට ලබා දී තමාට දරුවා නිසා සානුකම්පිතව අධිකරණයෙන් ඇප ලබා දෙන මෙන් ඉල්ලා සිටිනු පාතාලයා දුටුවේය.

“ඈ බොල පරට්ටි තෝ උඹේ මිනිහා මරන්න අපිට කොන්ත්‍රත් දීලා දැන් උඹ විතරක් බේරෙන්න හදනවා. උඹ අපිටත් සල්ලි දීලා බේරගනින් තොපේ විස්තර ඔක්කොම උසාවියට කියනවා ඒ විතරක් නෙවේ කවදහරි එලියට ආපු දවසක උඹ ගැනත් බලනවා” යැයි තර්ජනය කළේය.

අත දරුවා පිටින්ම රමණීද දසේද පාතාලයන් දෙදෙනාද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබුණි.

රමණයේ ආසාවෙන් තම ආදරණීය සැමියා මරණීය තත්ත්වයට පත්කළ රමණී, සිරගෙදරින් වැරදි පාඩම් උගත් දසේ සමගින් හා පාතාලයන් සමගින් සිරගත විය. සිර කූඩුවෙ කම්බි ගනිමින් සිටින විටදීවත් රමණී කළ පාපයේ සාපය බූමරංගයක් මෙන් තමා වෙතම ආපසු කැරකී ආ බව ඇයට සිහියට නැගෙනු ඇත.

(පොලිස් හා අධිකරණ තොරතුරු ආශ්‍රයෙනි)

ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment