කමින්ස්ගේ පන්දු යැවීමෙන් ඔස්‌ට්‍රේලියාවේ ඉලක්කය පහසුවෙයි

256

පැට් කමින්ස් ඇතුළු ඔස්‌ට්‍රේලියානු ඔස්‌ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙරට අතර ක්‍රියාත්මක දෙවැනි එක්දින තරගයේදී ඊයේ (16 වැනිදා) පන්දුවාර 47.4ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 220ක ලබා සිටියේය.

ඒ අනුව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයට ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ‘දිවයින’ මුද්‍රණයට යන මොහොත වන විටදී තරගය තාවකාලිකව නතර කර තිබිණි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්‌ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර එහිදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලේ ලකුණු සම්බන්ධතාවය මුළු ලකුණු 26කට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණු 14කට පිටියෙන් ඉවත් කිරීමට මැතිව් කුනමන් සමත්විය. අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 09ක් පමණක් එක්වෙද්දි ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල දවා ගත් පැට් කමින්ස් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 10ක් අවසන් වෙද්දී තරගයේ පාලනය ඔස්‌ට්‍රේලියාව දෙසට හරවා ගැනීමට සමත්විය. පන්දු 30කට මුහුණ දුන් ගුණතිලක දැවී යන විටදී එක් හතරේ පහරක් සමගින් ලකුණු 18ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ ඊයේ හොඳම කඩුලු අතර සම්බන්ධතාවය ප්‍රදර්ශනය කළ ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක් රැස් කළේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවමිනි. ඔස්‌ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව එක් හයේ පහරකින් සහ හතරේ පහරකින් සංග්‍රහ කර තිබූ ධනංජය පැට් කමින්ස්ට එරෙහිව එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙසින් කඩුලු රකින් ඇලෙක්ස් කේරිගේ සුරතේ සිරවීමත් සමගින් එම ලකුණු සම්බන්ධතාවට තිත වැටුණි. ධනංජය දැවී යද්දී පන්දු 41කදී ලකුණු 34ක් ලබා සිටියේය.

පළමු තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු රැස් කළ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා සිටියදී පන්දු යැවූ ග්ලේන් මැක්ස්වෙල් අතටම උඩපන්දුවක් ලබා දී ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 108ක්ව තිබියදී 4 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වී ගියේය.

චරිත් අසලංක ලකුණු 13කට දැවීමෙන් අනතුරුව ඔස්‌ට්‍රේලියානු පන්දු යවන්නන්ට යම් තර්ජනයක් එල්ල කළ නායක දසුන් ශානක චාමික කරුණාරත්න සමග එක්ව ශ්‍රී ලංකා 6 වැනි කඩුල්ලට ලකුණු 29ක් එක් කළේය. කඩුල්ලේ රැඳෙනවාට වඩා ලකුණු ලබා ගැනීමේ වේගය පිළිබඳ උත්සුක වූ චාමික මැතිව් කුනමන්ගේ දෙවැනි ගොදුර බවට පත්ව දැවී ගියේ පැට් කමින්ස්ගේ උඩපන්දු රැකීමක් හමුවේය. චාමික කරුණාරත්න එක් හයේ පහරක් සමගින් පන්දු 17කදී ලකුණු 18ක් රැස් කළේය.

නායක දසුන් ශානක පන්දු 36කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 34ක් ලබා සිටියදී මිචෙල් ස්වෙප්සන්ගේ පළමු ජාත්‍යන්තර කඩුල්ල ලෙසින් දැවී ගියේය.

සිය පළමු තරගයේදී පිතිකරණයේ යෙදීමට අවස්ථාව නොලැබුණු දුනිත් වෙල්ලාලගේ ඊයේ දිනයේදී එක්දින පිටියේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් පන්දු 35කදී ලකුණු 20ක් රැස් කළේය. ඊට හයේ පහර එකක් සහ හතරේ පහර එකක් ඇතුළත්විය.

පැට් කමින්ස් ශ්‍රී ලංකා කඩුලු 4ක් දවා ගැනීමට සමත් වෙද්දී මැතිව් කුනමන් සහ ග්ලේන් මැක්වෙල් කඩුලු 2 බැගින් බිඳ හෙළීය.

දෙරට අතර පළමු තරගයේදී ආබාධයකට ලක්වූ වනිදු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබූ අතර ඔස්‌ට්‍රේලියානු කණ්ඩායමේ වෙනස් කම් තුනක් සිදු කරමින් ටේ‍රවිස් හෙඩ්, මිචෙල් ස්වෙප්සන් සහ මැතිව් කුනමන් කණ්ඩායමට කැඳචා තිබිණි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 47.4 දී කඩුලු 9ක් දැවී ලකුණු 220යි (කුසල් මෙන්ඩිස් 36, ධනංජය ද සිල්වා 34, දසුන් ශානක 34, දුනිත් වෙල්ලාලගේ 20, පැට් කමින්ස් 35/4, මැතිව් කුනමන් 48/2, ග්ලේන් මැක්ස්වෙල් 48/2)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment