කමිඳු සහ මාලින්ද පෙරමුණ ගනිති

303

නැෂනල් සුපර් ලීග් සිව්දින ක‍්‍රිකට් තරගාවලිය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක‍්‍රිකට් තරගාවලියේ සිව්වැනි සති අන්තයේ පැවැති තරග වලින් පසු පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට කැන්ඩි පිලේ කමිඳු මෙන්ඩිස් සමත් වෙද්දී පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට දඹුල්ල පිලේ දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර සමත්ව සිටිති.

කමිඳු සහ මාලින්ද පෙරමුණ ගනිති

තරග 4 කට ක‍්‍රීඩා කර ඇති කැන්ඩි නායකයා ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 81.12 ක් රඳවා ගනිමින් මුළු ලකුණු 649 ක් රැස් කරගෙන සිටින්නේ ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක්ද සමඟිනි. තරගාවලියේ වැඩිම ශතක ලාභියා බවටද පත්ව සිටින කමිඳුගේ ඉනිමක වැඩිම ලකුණු ලෙස ජැෆ්නා පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 137 සටහන් වේ.

මෙවර තරගවාරයේ තරග 3 කට සහභාගිවී ඇති වමතින් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර, කඩුලූ 18 ක් බිඳ හෙළීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 26.44 ක් රඳවා ගනිමිනි. ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස කැන්ඩි පිලට එරෙහිව ලකුණු 120 ට දවා ගන්නා ලද කඩුලූ 7 සටහන් වද්දී කඩුලූ 5 ට වැඩියෙන් දවා ගැනීම් 3 ක් වාර්තා කිරීමට මාලින්ද සමත්ව සිටියි. පළමු ඉනිමේ දක්ෂතාවයට අමතරව දෙවැනි ඉනිමේදීද කඩුලූ 5 ක් බිඳ හෙළීමට සමත්වන මාලින්ද සමස්ත තරගයේදී ලකුණු 228 කට කඩුලූ 12 ක් බිඳ හෙළීමට සමත්වූවේය. එම තරගයේ ලසිත් කෲස් පුල්ලේගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමග පළමු පෙළ තරග අංශයේ කඩුලූ 800 සීමාව ඉක්මවාලීමටද මාලින්ද සමත් වූවේය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු පෙළ කඩුලූ 800 ක් ඉක්මවන ලද 6 වැනි පන්දු යවන්නා වන්නේද මාලින්ද පුෂ්පකුමාර වේ.

තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලද පිතිකරුවන් සිව්දෙනාම කැන්ඩි කණ්ඩායම නියෝජනය කරන්නන් වීම කැපී පෙනෙයි. කැන්ඩි ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන මලින්ද වර්ණපුර මහතාගේ ගුරුහරු කම් මධ්‍යයේ තරග වදින කැන්ඩි පිතිකරුවන් අතරින් ඕෂද ප‍්‍රනාන්දු (476), සහන් ආරච්චිගේ (363) සහ ළහිරු උදාර (343) කමිඳුට පසු පිළිවෙළින් පසුවෙති.

පන්දු යවන්නන් අතර තරග 3 කට ක‍්‍රීඩා කර ඇති ප‍්‍රභාත් ජයසූරිය කඩුලූ 15 ක් බිඳ හෙළා දෙවැනි තැන පසුවද්දී ලක්ෂිත මුණසිංහ සහ චානක රුවන් කඩුලූ 12 බැගින් දවා එහි තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති. කලම්බු කණ්ඩායමේ කසුන් රජිතත් කැන්ඩි කණ්ඩායමේ අසිත ප‍්‍රනාන්දුත් කඩුලූ 11 බැගින් ලබමින් පස්වැනි සහ හයවැනි ස්ථාන වල පසුවද්දී කැන්ඩි කණ්ඩායමේ අෂේයින් ඩැනියෙල් කඩුලූ 10 ක් ලබා 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment