කරත්තයක් විකුණලා පිපිඤ්ඤා… එක පෙට්ටියක් ගෙන ආවේ රතිඤ්ඤා…

244

මෙදා අවුරුද්දේ ගිණිකෙළි නිෂ්පාදන අඩුවෙලා!

අයි.එම්.එෆ්. (IMF‍) ණය රටට ලැබුණු පසු තන්හි, තන්හි රතිඤ්ඤා තොග පිටින් පත්තු වුණේය. ණය වීම හෝ ණය ලැබීම, රතිඤ්ඤා දල්වා සතුටු විය හැකි කරුණක් දෝයි සිතුණ ද ණයක් දෙනවා තබා හැරී වත් නොබලා පසු පස හරවා සිටි බංකොලොත් රාජ්‍යයකට ලොව රටවල් ඇස් කොනින් හෝ බලන්නට පටන් ගෙන තිබීම ද රටේ කාගේත් සතුටට කරුණක් වනු ඇත.

එනයින් ගම්‍ය වන්නේ රටේ උදවිය දුකට ද සතුටට ද රතිඤ්ඤා දල්වා තම මානසික තෘප්තිය ලබා ගැනීමට පෙළඹී, පුරුදු වී සිටින සෙයකි. මඟුලට, මරණයට, විපතට, උපතට, කොටහළුවට, උත්සවයකට, රැස්වීමකට පිළිගැනීමකට, පෙරහැරකට, ජනේරුවට, අවුරුද්දට, නත්තලට මෙකී නොකී කොයියම්ම කරුණක් සඳහා මෙන්ම රිලා, වඳුරු, අලි ආදී කරදරකාරී වන සතුන් පලවා හැරීමට ද රතිඤ්ඤා පිපිරීමෙන් අපට අවබෝධ වන්නේ රතිඤ්ඤාව අපගේ සමීප මිතුරෙක් බවයි. නැතිනම් අපේ ජන සංස්කෘතියේ අත්‍යවශ්‍ය මෙවලමක්, භාණ්ඩයක් බවයි. රතිඤ්ඤා පිපිරවීමෙන් සෞඛ්‍යය හා පාරිසරික ගැටලු ගණනාවක් නිර්මාණය වුව ද මේ “සංස්කෘතික සහකරු” තවදුරටත් අප සමඟ ම රැඳී සිටී. ඉදිරියටත් අපගේ මනසින් දරුවන් ගෙන් නොගැලවී සිටිනු ඇති.

රතිඤ්ඤා පිපිරවීම ජීවිතයට සතුට ගෙන දේ. අනතුරු ද ඇති කරයි. සතුනට බිය උපදවයි. ඇතිවීම, නැතිවීම පිළිබඳ අනිත්‍ය සිහිපත් කරවයි.

ලන්දේසි වචනයක් වුව ද අද ද ලන්දේසියා සිහිපත් කිරීමට රතිඤ්ඤාව එනමින්ම පෙනී සිටී. රතිඤ්ඤා ශබ්දයෙන් අප සැම අපේක්ෂා කරන්නේ කිනම් මානසික අවශ්‍යතාවක් ද, එසේත් නැතිනම් චිරාත් කාලයක සිට පැවත එන්නා වූ මහා සම්ප්‍රදායක් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමක් ද?… එසේම මේ මහා පුරුද්ද නැතිනම් ඇබ්බැහිය කෙදිනක හෝ මිනිස් සමාජයෙන් ඉවත්වනු ඇති ද?.. එසේ නොමැත. මන්ද නිහඬතාවයටත්, හඬටත් මිනිසුන්ගේ මනස කැමැත්තක්, ඇල්මක් දක්වන නිසා ය. ඉසිලීමට නොහැකි තරම් නිහඬ බව වදයක් වූ විට හඬක් ශ්‍රවණය කිරීම මානවයාගේ අපේක්ෂාවයි. මෙලොව බිහිරන්, අන්ධයින්ගෙන් පමණක් පිරී නොමැත.

කරත්තයක් විකුණලා පිපිඤ්ඤා… එක පෙට්ටියක් ගෙන ආවේ රතිඤ්ඤා…

මේ හඬ තිබීම, නැතිනම් රතිඤ්ඤා පිපිරීම තවත් ජන කොට්ඨාසයකගේ සතුට බව නම් නොකියා ම බැරිය. ඔවුන්ගේ ජීවනය, පවුලේ සතුට ඇත්තේ “ අනුන්ගේ රතිඤ්ඤා පිපිරිල්ල” මත්තේ ය. වැඩි වැඩියෙන් පිපිරුණොත් සතුට වැඩි වේ. අඩු අඩුවෙන් පිපිරුණොත් දුකම ළඟා වේ. මෙම පිරිස නම් රතිඤ්ඤා ආ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් කරමින් දිවි ගෙවනා රතිඤ්ඤා කර්මාන්තකරුවන් හා ඒ හා සැබැඳුනු කම්කරුවන්, කාන්තාවන් යෞවන, යෞවනියන් ය. සුළු අත්වැරදීමකින් පුපුරා, ගිනි ගෙන, පිළිස්සී දිවි තොරවන, නැතිනම් සාදාලිකව ආබාධිත වන මෙම බිහිසුණු කර්මාන්තය දුක සේ, දැඩි පීඩා උහුලමින් ඉටු කරන ඔවුහු දුක තමන් ළඟ තබා ගෙන අනුනට සතුට, ප්‍රීතිය ලබා දෙති. ඒ වෙහෙසින් ලද සොච්චම් මුදලින් ඔවුනගේ ජීවන සතුට උපයා ගනිති. කර්මාන්තකරුවාද, කඩ මුදලාලි ද මහපාරේ පුංචි බෝම්බ යැයි කෑ ගසමින් රතිඤ්ඤා විකුණන මල්ලියා ද තම ජීවනය උදෙසා මුදල් උපයා සපයා ගනිති.

මෙවර සිංහල, දමිළ අවුරුද්දට රතිඤ්ඤා වැඩි වැඩියෙන් දැල්වෙනු ඇතැයි අපේක්ෂාවෙන් වෙනදා පුරුද්දට මෙන් ඔවුන්ගේ වගතුග සොයා රතිඤ්ඤා කම්මල් කීපයකට ගියෙමි. අඳෝමැයි! වෙනදා කම්හල් තැනින් තැන කුටිවල යන්ත්‍ර මෙන් අතින් වැඩ කරනා ළඳුන් බොහෝ පිරිස් දක්නට සිටියේ නැත. රතිඤ්ඤා, වෙඩි බෙහෙත් කුඩු අත්වලද මුහුණේ ද ඇඳ සිටි වස්ත්‍රවල ද ගෑවී වෙනත් ලොවකින් පැමිණිය වුන් (ඒලියන්ස්ලා) මෙන් දිස් වූ බොහෝ පිරිස් ද දක්නට නැත. රතිඤ්ඤා ද ඒ සමගාමීව නිපැයූ නිලා, බමර චක්‍ර, අහස් කූරු, තොග පෙට්ටිවල දමා එහෙ මෙහෙ ගෙන යන මිනිසුන් ද වාහන ද නැත. අව්වේ වේළන සේද නූල්, ඩයි වර්ග දමා සකස් කළ කඩදාසි දක්නට නැත. මැටි අඹරන්නෝ ද හිඟය.

“මේ මොකද රතිඤ්ඤා හදන්නේ නැති ද?…” මම කර්මාන්තකරුවකුගෙන් විමසීමි. “හදනවා… ඒත් ටිකයි…” ඔහු ජාමේ බේරාගන්නට මෙන් උත්තර බැන්දේ ය.

“මං හිතුවා රටත් ටික ටික පණ ගහන හින්දා, ‘අයි. එම්. එෆ්.’ ණය ලැබුණු හින්දා ගජරාමෙට වැඩ කියලා…”

“පිස්සු ද මහත්තයෝ බඩු නැතිව වැඩ තියෙයි යැ…. ඇරත් ‘අයි.එම්.එෆ්’ ණය ලැබුණේ මේ ඊයේ පෙරේදා නේ…

“හරි ඉතින් දැන් හදන්න බැරියැ…’ මම කීමි. හිතුවද මෙව්වා පැක්ටරිවලින් වාගේ ලක්‍ෂ ගණන්වලින් මැෂින්වලින් පැයෙන් එන ඒවා කියලා…” මට ඔහු ප්‍රශ්නයකින් ම දමා ගැසීය.

“මෙව්වා අතින් හදන්නේ… තනිකර මිනිසුන්ගේ… විශේෂයෙන් ගැහැනුන්ගේ අත්වලින් හෙමිහිට හදලයි මේවා එළියට එන්නේ… මේ අවුරුද්දට බඩු ගන්න නම් ගිය අවුරුද්ද ඉවර වුණු පහු සතියේ ඉඳලම වැඩ කරන්න ඕනි… මේක භයානක කර්මාන්තයක්. ඒකයි… මැෂින් නැතිව අතින් ම ප්‍රවේසමෙන් කරන්නේ…” ඔහු සංයමයෙන් කියයි.

“ඇයි මේ සැරේ අඩුවෙන් හදන්නේ…”

“කෝ අපට වෙඩි බේත්? වෙඩි බේත් අපට ආණ්ඩුවෙන් නොදී අපි මේ කර්මාන්තේ කරන්නේ කොහොමද…?”

කරත්තයක් විකුණලා පිපිඤ්ඤා… එක පෙට්ටියක් ගෙන ආවේ රතිඤ්ඤා…

“ඩොලර් නැති නිසා වෙඩි බේත් පිටරටින් ගෙනාවේ නැහැ. වෙඩි බේත් නැති නිසා අපට වැඩ නැහැ. කර්මාන්තේ කොට උඩ. ඩොලර් හිඟය අපටයි බලපෑවේ, ඒ විතරක් යැ කඩදාසි ගණන්, අහක දාන කඩදාසිත් අහස උසට මිලයි. ඔතන කඩදාසි පෙට්ටි, මුද්‍රණ ගාස්තු දෙගුණ – තෙගුණ වෙලා. වෙන එකක් තියා, මැටි කට්ටෙට ගහන මැටිත් ගණන්, ඩීසල් ගණන් නිසා මැටි ගේන අත් ට්‍රැක්ටර් ටේලර්, ලොරි ගාස්තු තුන් ගුණයකින් විතර ඉහළ ගිහිල්ලා, ඉඳලා හිටලා හාවා හඳ දකින්නැහේ වෙඩි බේත් ටිකක් විතර හම්බු වෙනවා,. වෙනදා හම්බ වෙන තරමට වඩා 1/5 ක අඩු ප්‍රමාණයක් වගේ, ඒ ටික ඇතැයි,. සේවකයෝ තිහ – හතළිහක් ඉන්න තැනකට සමහර කාලවලට 60 – 70 සේවකයෝ ගත්තා. හම්බ වෙන වෙඩි බේත් සොච්චමින් බඩු හදන්න කට්ටිය ගොඩාක් දාන්න බෑනේ, පඩි ගෙවන්න, E.T.F., E.P.F‍ ගෙවන්න ඕනි, ඒ හින්දා කට්ටිය අඩු කරලයි දැන් වැඩ කරන්නේ. 30 – 40 ක් හිටපු එකේ දැන් මගේ පැක්ටරියේ වැඩ කරන්නේ ගෑනු ළමයි 6 – 7 දෙනයි. පිරිමි එක් කෙනයි, මටත් දුකයි ඒ අයට වැඩට එන්න එපා කියන්න. ඒත් මෙහෙම හරි කර්මාන්තේ මේ අමාරු මොහොතේ කරගෙන යන්න එපායැ.” අලි, සතුන් එළවන්නවත් රතිඤ්ඤා හදන්න එපායැ, නිකවැරටිය චැම්පියන් රතිඤ්ඤා කම්හලේ නිෂ්පාදන කළමනාකරු ජේ.එම්. තෙන්නකෝන් මහතා මා සමග පැවසීය.

“එහෙම වුණා කියලා රතිඤ්ඤා හරි අනෙත් නිෂ්පාදනවල ඉල්ලුම අඩු වෙලා නැහැනේ…?” මම විමසීමි. “ඉල්ලුම තිබුණත් බඩු දෙන්නේ කොහොමද..? හදන ටික තියෙන ටික තමයි දෙන්න තියෙන්නේ… ඒ වාගෙම වෙනදා තරම් ලොකු ඉල්ලුමක් ද නැහැ…”

“ඇයි ඒ…?”

“ඇයි, මේ ප්‍රශ්න හින්දා ම අපටත් භාණ්ඩවල මිල ඉහළ දාන්න සිද්ධ වෙලා… වෙනදා කරල් 100 තිබ්බ රතිඤ්ඤා රෝලක් රුපියල් 450/- ට අපි දුන්නත් දැන් දෙන්න වෙන්නේ රු. 800/- ට… අහස් කූරක් වෙනදා රු. 10 – 11 යි. දැන් 20 – 25 යි… නිලා, බමර චක්‍ර කොයිවත් වෙනදට වඩා තුන් – හතර ගුණයකින් මිල ගිහිල්ලා… අලි වෙඩිල්ලක් වෙනදා රු. 60/- යි. දැන් රු. 250 /- 300/- යි. වෙළඳපොළේ තවත් වැඩි වෙයි… එයාලටත් ලාභයක් එපැයි…මෙදා සැරේ අවුරුද්දේ වෙනදා රතිඤ්ඤා පත්තු කරපු ගණනින් 10% ක් වත් පත්තු කරාවි. පරණ පුරුද්දට. සම්ප්‍රදායට….”

“සම්ප්‍රදාය රැකීම පිණිස හෝ එහා ගෙදර සමග තරගයට හෝ ලොකුකමට හෝ සතුටට හෝ පුරුද්දට හෝ මෙවර රතිඤ්ඤා පත්තු කළ ද වෙනදා තරම් නොවන බව නම් සක්සුදක් සේ පැහැදිලි ය.

ජනතාවට රතිඤ්ඤා පත්තු කරන්නට මුදල් හදල් නැත්තේ ඔවුන්ට තාමත් හරි ආදායම් මාර්ග විවර වී නැති නිසාය.. තිබෙන ආදායම ද වැඩි වී නැති නිසා ය… විවිධ බදු, වතුර, විදුලි, ගෑස්, ඉන්ධන හා තවත් අත්‍යවශ්‍ය දේ සඳහා පඩිපත ම හිස් වී තිබේ. මෙවරත් ගොවීනට එතරම් අස්වැන්නක් නොලැබුණා සේම එයට නිසි මිලක් හෝ තාමත් ලැබී නොමැත. එළවළු ගොවීනට ද එසේ මය. ඔවුන් අත ඇති මුදල සීමිතයි. කෙසේ වෙතත් දෙමාපියන් තමන්ට හැකි අයුරින් තම දරුවනට රතිඤ්ඤා රැගෙන දෙනු ඇත.

රතිඤ්ඤා කර්මාන්තකරුවන් බිඳ වැටුණහොත් එය මහා දැවැන්ත ශාකයක් ඇද වැටුණාක් මෙන් වෙයි. දැවැන්ත ශාකය වැටුණු පසු ශාකය යට සෙවණේ සිහිලේ වැඩුණු කුඩා පැළෑටි ගැන කවර කතා ද..? කර්මාන්තකරුවන් පැන නැග ඇති විවිධ ගැටලු නිසා කර්මාන්තය හැර දැමුවහොත් මේ නිසා දිවි ගැට ගසා ගත්, දරුවන්ට අධ්‍යාපනයක් ලබා දුන්, ජීවන ගැටලුවට පිළිතුරු සපයාගත් කාර්මිකයන් පිරිසට සිදුවන්නේ මහ මඟට බැසීමට පමණි. ඔවුන් දැනටමත් වෙනත් කුලී වැඩ සොයා මේ කර්මාන්තයෙන් බැහැරව සිටින්නේ වෙනත් කළ හැකි යමක් නොමැති නිසාවෙනි. තමන්ගේ පළපුරුදු කාර්යක්‍ෂම පිරිස ඉවත්ව ගිය පසු කර්මාන්තකරුවන්ට ඉතිරි වන්නේ හිස් ගොඩනැඟිලි පමණි. නව සේවකයින් මෙවැනි අවදානම් රැකියාවකට පුරුදු පුහුණු කරන්නේ කෙලෙසක ද?

දිවයිනේ දේශීය වී හා වෙනත් බෝග වගා ප්‍රමුඛයකු වූ “කිවියර වීරසිංහ ගොවි මහතා” මෙසේ කවි දෙපදයක් ගෙතීය.

“මෙදා සැරේ කරත්තයක් විකුණාලා පිපිඤ්ඤා – එක පෙට්ටියක් ගෙන ආවෙමි කොලුවාට රතිඤ්ඤා”

“මැරි මැරි හෝ මෙතෙක් අප සමගම, අත් නොහැර සිටි රතිඤ්ඤා හෙට දවසේත් අප වෙනුවෙන් ම මැරෙන්න ම අපත් සමග ම ජීවත් වනු ඇත.”

ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment