කරන්ට් නැතුවත් කරන්ට් වදින විදුලි බිලක්!

235

කුප්පි ලාම්පුවටම යන්න වෙන හැඩක්!

තැලෙන යකඩය උඩ පැන පැන තලන්නා සේ වත්මන් ආණ්ඩුව ජනතාව පිට බදු පිට බදු ගසමින්ද සියලුම ආහාර ද්‍රව්‍යවල මෙන්ම ගෑස්, ඉන්ධන ඇතුළු මිනිසුන්ට එදිනෙදා අවශ්‍ය සියලු දෙයෙහි මිල වැඩිකරමින් ඉතා පීඩාකාරී පාලනයක් ගෙනයන අතර මේ මිල වැඩිකිරීම්වල අලුත්ම වැඩිකිරීම බස් ගාස්තුවය. මීළඟට මේ ලැයිස්තුවේ තිබෙන්නේ විදුලි බිලය. විදුලි බිලත් වැඩි කිරීමට නියමිතව ඇත්තේ එසේ මෙසේ ගණන්වලින් නොව සියයට හත් අටසීය ගණන්වලිනි. මේ ආකාරයට විදුලි බිල වැඩිකෙරුවොත් ජනතාවට සිදුවන්නේ වෝල්ට් 33000 වැදුනා හා කම්පනයකි. එය කරදර පිට කරදරවලට මුහුණදී සිටින ජනයාට කිසිසේත්ම දරා ගැනීමට නොහැක. ඒ කතාව මෙසේය.

අවසන් වරට විදුලි ගාස්තුව වැඩිවූයේ 2014 වසරේදීය. මිල වැඩිකර දැන් වසර 8 කට ආසන්න ගතවේ. 2014 ට සාපේක්‍ෂව විදුලිබල මණ්ඩලයටද අධික පිරිවැයක් දැරීමට සිදුවීම සත්‍යයකි. නමුත් හැම පැත්තෙන්ම හෙම්බත්ව සිටින දුප්පත්ම ජනයාට 800% කට අධික වැඩිවීමක් දරාගත නොහැක. කෙසේ නමුත් මෙහි අවසන් තීන්දුව දිය යුත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. මෙම යෝජනාව ඉදිරිපත් වූයේ මාර්තු මාසයේදීය. ඒ වන විට දිනකට අඩකටත් අධික කාලයක් විදුලි කප්පාදුව සිදුවූ කාලයයි. ජීවන වියදම අධික වීම සහ උද්ගතව ඇති අර්බුදවලට එරෙහිව වර්ධනය වන අරගල ගැන සිතා මෙතරම් අධික ප්‍රමාණයකින් විදුලිබිල නැංවීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දුන්නේ නැත.

● ගාස්තු වැඩිවීමට නියමිත ප්‍රතිශතය

විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව වැඩිවීම යෝජනා කර තිබුණේ මෙසේය. සාමාන්‍ය විදුලි ඒකක 0 සිට 30 දක්වා පාවිච්චි කරන පිරිස සඳහා දැනට පවතින රුපියල් 54.27 ක මාසික බිල්පත රුපියල් 507.65 දක්වා 834% ක ප්‍රතිශතයකින් වැඩි කිරීමටය. එසේම ඒකක 31 සිට 60 දක්වා භාවිත කරන පිරිසට දැනට පවතින රුපියල් 192.55 ක මාසික බිල්පත 1488.33 දක්වා 673% ක ප්‍රතිශතයකින් වැඩි කිරීමටත්ය. එසේම ඒකක 61 සිට 90 දක්වා භාවිතා කරන පිරිසට දැනට පවතින 649.06 ක මාසික බිල්පත 2438.50 දක්වා වැඩි කිරීමටය. එය වැඩිවීමේ ප්‍රතිශතය 2767 කි. විදුලි ඒකක 91 සිට 120 දක්වා භාවිත කරන පිරිසට දැනට පවතින 1570.49 ක විදුලි බිල 3545 දක්වා 126% ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමටත් ඒකක 121 සිට 180 දක්වා දැනට පවතින 2790.87 ක විදුලි බිල 5047.90 දක්වා 81% ක ප්‍රතිශතයකින් වැඩිකරන ලෙසත්ය.

මෙම යෝජනාවට අනුව විදුලි ඒකකයක මිල ඉහළ යන්නේ මේ ආකාරයෙනි. 0-30 දක්වා ඒකකයන්ට මෙතෙක් පැවති රුපියල් 2.50 ක මිල රුපියල් 8 දක්වාද ඒකක 31 සිට 60 දක්වා ඒකකයන්ට මෙතෙක් පැවැති මිල රු. 4.85 කි. එය රු. 12.50 දක්වා වැඩි කිරීමට නියමිත අතර 61 සිට 90 දක්වා ඒකකයන්ට අය කළ රු. 10 ක මුදල රු. 18 දක්වාද 91 සිට 120 දක්වා ඒකකයට අය කළ මුදල රුපියල් 27.75 සිට රුපියල් 37 දක්වාද 121 සිට 180 දක්වා ඒකකයකට අය කළ මුදල රු. 32 සිට 40 දක්වාද 180 ට වැඩි ඒකක සඳහා අය කළ රු. 45 ක මිල රු. 50 දක්වාද වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇත. එම මිල වැඩිවීම සාමාන්‍ය ජනයාට කරන්ට් වැදුනා හා සමාන වැඩිවීමක් වනු ඇත.

● මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ

මෙම යෝජනා කෙරෙහි මහජන උපයෝගිතා කොමිසම සිය කැමැත්ත පළකොට නොමැති අතර මීට සමගාමීව ඔවුන් සංශෝධන ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඒකක 0 සිට 30 දක්වාත් 31 සිට 60 දක්වාත් 320% ක විදුලි බිල වැඩි කිරීම 241% දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත. ගෘහස්ථ විදුලි පරිභෝජනය සඳහා 138% ක ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළද එය 67% දක්වා අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇත. විදුලිබල මණ්ඩලය විසින් විදුලි ඒකකය රු. 18.1 සිට 32.48 දක්වා ඉහළ දැමීමට යෝජනා කළද මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ එය රුපියල් 28.14 ක මිලෙහි පවත්වා ගත යුතු බවය. මිල ගණන්වල එහා මෙහා වීමක් සිදුකර පෙන්නුවද මේ ආයතන දෙකම උත්සාහ කරන්නේ උගුරට හොරා බෙහෙත් බීමටය. මෙයින් පීඩාවට පත්වන්නේ අසරණ ජනතාවය. ලෙඩා මළත් බඩ සුද්දයි කියා ඔවුන්ට නම් සතුටු විය හැක.

මේ ආකාරයට මිල ඉහළ දැමීමෙන් ආයතනයේ පාඩුව මගහරවා ගත හැකිද? මේ තුළින් ඔවුන්ගේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 512 ක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්‍ෂා කරයි. රටේ සාමාන්‍ය ජනතාව නම් විදුලි බිල නිසි ලෙස නිසි වෙලාවට ගෙවයි. රටේ බහුතරයක් ගෙවද්දී දේශපාලන හයිය ඇති එකා දෙන්නා මින් නිදහස් වී නොයනවාද නොවේ. නමුත් පාඩුව සිදුවන්නේ කුමක් නිසාද?

● මණ්ඩලය පාඩු ලබන්නේ විදුලි බිල අඩු නිසාමද?

ආයතනය පාඩු ලබන්නේ ඒ තුළ පවතින විදුලි මාෆියාව නිසාය. විශේෂයෙන්ම විශ්‍රාමික ඉංජිනේරුවන්ට මෙන්ම දැනට රාජකාරි කරන ඉංජිනේරුවන්ට හෝ ඔවුන්ගේ හිතවතුන්ට පෞද්ගලික බලාගාර පවතින අතර වසර පුරා විදුලිය ගත්තත් නැතත් ඔවුන්ට විදුලි ඒකකයක් සඳහා අධික මුදලක් ලැබෙන සේ ගිවිසුම්ගව ඇත. මීට අමතරව පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු නොවීමද ප්‍රධාන හේතුවකි. අව්වෙන්, සුළඟින්, මුහුදු රළ මගින් ආදී නොයෙක් ක්‍රම විදුලි උත්පාදනයට දියුණු නොදියුණු බොහෝ රටවල් භාවිත කළද මෙරට පාලකයන්ට මෙන්ම විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ට පුනර්ජනනීය බලශක්තිය නයාට අඳුකොළ මෙනි. ඔවුන්ගේ වැඩි කැමැත්ත ඇත්තේම පෞද්ගලික බලාගාර කෙරෙහිය. එයින් කෙසේ හෝ පොඩි නොව ලොකු වංගුවක් ගසා ගැනීමට ඔවුන්ට හැකිය. මේ සඳහා දේශපාලනඥයා හා නිලධාරි පැලැන්තිය එකට එකතු වේ. එසේම කෝටි ගණනින් විදුලියට පොලු තබා ඇති දේශපාලනඥයෝ මේ රටේ තවත් බොහෝ ඇත. සාමාන්‍ය ජනයා රුපියල් දහසට අඩුව වුණත් බිල් 3 ක් නොගෙවා ඇති විට විදුලිය විසන්ධි කරන මණ්ඩලය දේශපාලනඥයා දෙස හොරැහින්වත් බලන්නේ නැත.

● දූෂණයට තිත වෙනුවට තිතට දූෂණය

කෙසේ වෙතත් අවසන් වරට විදුලි බිල නැංවූ 2014 වසරේදී මහජන උපයෝගීතා කොමිසම විසින් කොන්දේසි කිහිපයක් විදුලිබල මණ්ඩලයට යොමු කළද ඒ එකදු යෝජනාවක්වත් මෙතෙක් ක්‍රියාත්මකව නැත. මේ යෝජනා ඉදිරිපත් කළේම විදුලිබල මණ්ඩලයේ පවතින දූෂණ අක්‍රමිකතා අවම කර ගැනීම සඳහාය. වත්මන් බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විදුලිබල පනත පසුගියදා සංශෝධනය කළේය. එහිදී ඔහු පැවසුවේ විදුලි මාෆියාව නැවැත්වීමට නම් මෙය අත්‍යවශ්‍ය බවයි. නමුත් දැන් සිදුව ඇත්තේ තිබුණාටත් වඩා වංචාවට ඉඩ සැලසීම නොවේද? ටෙන්ඩර් පටිපාටියෙන් තොරව විදුලිය මිලදී ගැනීමට අවසර හිමිවීමත් සමග අඩුම මිල ප්‍රතික්‍ෂේප කර නිලධාරීන්ට කොමිස් ලැබෙන ඕනෑම ආයෝජකයෙක් වෙත යොමුවීමට අවස්ථාව උදාවේ. අවසානයේ හැම පැත්තෙන්ම බැටකන්නේ සාමාන්‍ය ජනතාවයි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment