කරව්! නැත්නම් පලයව්!! අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

205

ආණ්ඩුවට එරෙහිව කරව්! නැත්නම් පලයව්!! යන සටන් පාඨය යටතේ උත්තර ලංකා සභාගය සංවිධානය කරන මහජන සමුළුවක් අද (19 දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ආණ්ඩුවට කරව් කියන්නේ කරනවා නම් හරියට කරන්න යන්න බවත් නැත්නම් පලයව් යන්නෙන් අර්ථවත් වෙන්නේ එහෙම නොකරනවානම් වද නොදී යන්න කියන එක බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පැවසීය. ආණ්ඩුව හරියට කරන බවක් නොපෙනෙන නිසා උත්තර ලංකා සභාගයට ඒ සඳහා බලකිරීමේ වගකීමක් තිබෙන බවද ඔහු සඳහන් කරයි.

මෙම මහජන සමුළුවේදී උත්තර ලංකා සභාගය විසින් ආණ්ඩුවට අවම වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් අඩුම තරමින් මේ ටික කරපල්ලා එහෙම කරනවානම් විතරයි නුඹළාට සදාචාරාත්මකව බලයේ රැඳෙන්න පුළුවන් යන්න එමගින් අවධාරණය කරන බවත් ඒ මහතා කීවේය.

මෙම මහජන සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ, ලේකම් ශ්‍රී ලංකාවේ කොමියුනිට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු ඇමැති වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු ඇමැති උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම් යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා අනුශාසක විජය ධරනි ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් දැක්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment