කර්තෘ භාග ඉක්මන් කරන්න – ඇමැති නලීන් ප්‍රනාන්දු

142

කලාකරුවන් සඳහා ප්‍රමාදයකින් තොරව කර්තෘභාගය ලබා දීමට ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය හරහා කඩිනම්ව හා විධිමත්ව අවශ්‍ය පියවර ගන්නා ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කලාකරුවන් සඳහා කර්තෘභාගය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09 වැනිදා) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර එහිදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී කලාකරුවන් සඳහා කර්තෘභාගය ලබා දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඇමැතිවරයා කරුණු විමසූ අතර රූපවාහිනී නාලිකා මගින් නිසි ලෙස අදාළ කලාකරුවන්ගේ නම් හා බැංකු ගිණුම් ඇතුළු තොරතුරු ලබා නොදීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා ගී පද රචක, සංගීත කර්තෘ හා ප්‍රකාශකයින්ගේ සංවිධානයේ හා ගීත නිර්මාපක කේන්ද්‍රයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ.

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්. ටී. කොඩිකාර ඇතුළු අමාත්‍යාංශ උසස් නිලධාරීන්, ජාතික බුද්ධිමය දේපළ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක, ජාතික බුද්ධිමය දේපළ අධිකාරියේ අධ්‍යක්ෂ හෙට්ටිගේ, ජාතික බුද්ධිමය දේපළ අධිකාරියේ ගණකාධිකාරී ආර්. පී. එස්. රාජපක්ෂ, ශ්‍රී ලංකා ගී පද රචක, සංගීත කර්තෘ හා ප්‍රකාශකයින්ගේ සංවිධානයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල, ශ්‍රී ලංකා ගී පද රචක, සංගීත කර්තෘ හා ප්‍රකාශකයින්ගේ සංවිධානයේ අධ්‍යක්ෂවරුන් වන රංග දිසානායක හා ටී. රාජ්කුමාර, ගීත නිර්මාපක කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරුන් වන ජානක වික්‍රමසිංහ, තිලක් හේවාකපුගේ හා පී. ජයවර්ධන ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment