කර්ම විපාක සහ ජ්‍යොතිෂ විද්‍යාව

455

අංගුත්තර නිකායාගත නිබ්බේධික සූත්‍රයට අනුව කර්මය යනු “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරොති. කායෙන වාචාය මනසා”

“මහණෙනි” මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයෙන් වචනයෙන් මනසින් කර්ම සිදු කරයි. මෙම අර්ථ දැක්වීම මගින් කර්මය පිළිබඳ බුදු දහමේ ස්ථාවරය මැනවින් පැහැදිලි වේ. සරල වශයෙන් කර්මය යනුවෙන් හැඳින්වෙන්නේ අප විසින් සිතා මතා කරනු ලබන ක්‍රියාවන් ය. කුසල අකුසල කර්ම ආරම්භය හෝ විපාක ආරම්භය කෙදිනක සිදුවූයේ දැයි කිව නොහැක. එසේම අවසානය කෙසේ සිදුවේ දැයි කිව නොහැක. කුසල අකුසලකර්ම කිරීම නිසා එයට විපාක ලැබීමත්, එම විපාක විඳීමට යෑමේ දී නැවත නැවත කර්ම රැස්කර ගැනීමට සිදුවීමත් නිසා නැවත නැවත භවෝත්පත්තිය ඇතිවීමෙන් ලෝක සත්ත්වයාගේ පැවතීම ඇතිවන බව විසුද්ධි මාර්ග කංඛාවිතරණ විසුද්ධිය නිර්දේශයෙහි මෙසේ සඳහන් වෙයි.

කම්මා විපාකා වත්තන්තී
විපාකෝ කම්ම සම්භවෝ
තස්මා පුනබ්භවෝ හෝති
ඒවං ලෝකෝ පවත්තතී.

එබැවින් කර්මයේ බලයෙන් ඉපදීම, ජීවත්වීම සහ මරණයට පත්වෙමින් සංසාර චක්‍රයේ සැරිසරමින් සිටියි. සූත්‍ර පිටකයේ සඳහන් ජනක, උපස්තම්භක, උපපීඩක, උපඝාතක, යද්ගරුක, යද්බහුල, යදාසන්න, කෘතත්වාත් කර්ම, දෘෂ්ටධර්මවේද, උපපජ්ජවේද, අපරාපර්‍යවේද, යනුවෙන් කොටස් එකොළහක් වෙයි. එමෙන්ම අභිධර්ම පිටකයෙහි සඳහන් පරිදි ජනක, උපස්තම්භක, උපපීඩක, උපඝාතක යනුවෙන් කෘත්‍ය වශයෙන් කර්මය කොටස් සතරකි. කර්මය විපාක දීමේ ක්‍රම වශයෙන් ගරුක, ආසන්න, ආචිණ්ණ, කටත්තා වශයෙන් සතරකි. කර්මය විපාක දීමේ කාල වශයෙන් දිට්ඨධම්මවේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය, අහෝසි කර්ම වශයෙන් සතරකි.

සත්වයකුගේ උප්පත්තිය ඇතිකරවන්නේ ඉහත ආත්මයක දී කළ කර්මයක විපාකයකිනි. එම කර්මයට ජනක කර්මය යැයි කියනු ලැබේ. එහි මුල්ම අවස්ථාව නම් භවයෙන් භවය ගළපමින් මෙලොව උත්පත්තිය සහ ශරීරයාගේ නොසිඳි පැවැත්මට ආධාර වන ලෙස අතීත භවයක දී කළ කර්මයක අරමුණක් අනුව මතු වූ ප්‍රතිසන්ධි විඤ්ඤාණ සංඛ්‍යාත භවාංග චිත්තයයි. මුල් උප්පත්ති බලය යැයි කියනු ලබන්නා වූ මෙය ලග්නයේ බල දුබල අනුව කුසල ජනක කර්මය සහ අකුසල ජනක කර්මය වශයෙන් දෙයාකාර වෙයි. එනම් ලග්නය බලවත් නම් කුසල ජනක කර්ම විපාකයකින් උපත ලබා තිබෙන බවත්, ලග්නය දුර්වල නම් අකුසල ජනක කර්ම විපාකයකින් උපත ලබා තිබෙන බවත් සැලකිය හැකිය. තත්ථ ජනකං නාම කුසලම්පි අකුසලම්පි හෝති පටිසන්ධියං පවත්තෙපි රූපා රූප විපාකං ජනෙති”

කෙනකුගේ ලග්නය හෙවත් ලග්න භාවය බලවත් වූ විට උසස් වාසනාවන්ත කුල ගෙදරක පින් ඇති මවු කුසක ඉපදී උපබෝග පරිබෝග සම්පත්තියෙන් යුක්තව උසස් තනතුරු ලැබී වාසනාවන්ත ලෙස සැපසේ ජීවත්වීමට හැකි වෙයි.

ලග්නය දුර්වල වූ විට දුක්ඛිත හෝ පහත් කුලයක ඉපිද අවාසනාවන්ත ලෙස දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදුවෙයි. එසේම බලවත් ලග්නාධිපතියාගේ හෝ ලග්නයෙහි සිටි සහ ලග්නයට සුබ දෘෂ්ටි දුන් ග්‍රහයන්ගේ දශාවන් හිදී ද ලග්නාධිපතියා ලග්නයෙහිම හෝ ලග්නයට ශුභ දෘෂ්ඨි වැටෙන රාශියක හැසිරෙන කාලයන්හිදී ද එම ග්‍රහයන්ගේ අපරදිග ක්‍රමානුකූල Primary ආදියෙන් සුභ දෘෂ්ටි දෙන කාලයන්හිදී ද කුසල ජනක කර්මයේ බලයෙන් විපාක ලෙස ඉහත කී සම්පත් අනුභව කිරීමටත්, අසුභ වශයෙන් හැසිරෙන සහ දශා කාලයන්හි දී දුක් පීඩා ලැබීමටත් හේතු වෙයි. උප්පත්තියේදී ලග්නයට සුභ දෘෂ්ටි දුන් ග්‍රහයන්ට සහ එම ග්‍රහයන්ට හිමි වූ සහ සිටියා වූ භාවයන්ට අයිති කරුණුවලින් ලග්න බලය හෙවත් ජනක බලය වැඩිදියුණු කරයි. එසේම පාප දෘෂ්ටි අනුව එම බලය දුර්වල කරයි. ලග්නාධිපතියා ලග්නයෙහිම බලවත්ව සිටීම නිසා ස්ව උත්සාහයෙන්ම දියුණු වූ, තනි මතයට ක්‍රියා කරන අනුන්ට යටත් නොවී ස්වාධීන ජීවිතයක් ගත කිරීමට හැකි වන්නේ කුසල ජනක කර්මයේ බලයෙන්ම ප්‍රතිසන්ධි විපාක ද්විත්වයම බලවත්ව ගෙන දෙන බැවිනි.

නමුත් ලග්නාධිපතියා ලග්නයෙහිම දුර්වලව සිටීනම් තමාම තමාගේ අවාසනාවට පාර කපා ගන්නා වූ, උත්පත්තියෙන්ම දුර්වලයකු කරයි. එය අකුසල ජනක කර්මයේ ප්‍රතිසන්ධි විපාක නිසාය.

ලග්නාධිපතියා දෙවැන්නේ බලවත් වූ විට දෙවැන්නෙන් උපදවන මිල මුදල් බලය නිසා ජනක කර්මය සුභ විපාක ගෙන දී බලවත් කරයි. අනෙක් භාවයන්ද මෙපරිදිය. මේ ක්‍රමයෙන් ලග්නයෙහි උප්පත්ති බලය අනුව ප්‍රතිසන්ධි ජනක කර්ම විපාක බලයද, ලග්නයට සම්බන්ධ ග්‍රහයන්ගේ ගමන සහ දශා අනුව ද විපාක ලැබෙන බව සඳහන් කළ හැකිය. විපාක දෙන කුසලාකුසල කර්මයන්ගේ විපාක දීම ගති සම්පත්ති, ගති විපත්ති, උපධි සම්පත්ති, උපධි විපත්ති, කාල සම්පත්ති, කාල විපත්ති, ප්‍රයෝග සම්පත්ති, ප්‍රයෝග විපත්ති යන කරුණු අනුව ක්‍රම 16 කින් පාලනය වෙයි. එය ග්‍රහ බල දුබල අනුව නිශ්චය කරන ආකාරය මෙසේය.

පාප ග්‍රහයෝ රාශියෙන් දුර්වල වූ විට, පාපකර්මයකට විපාක දීමට කාලය පැමිණි විට පහත් දුගති ස්ථානයක උපත ද ලබා තිබූ බැවින් එම පාපකර්ම විපාකය ගති විපත්තිය නිසා ඵලදෙයි.

පාප ග්‍රහයෝ රාශියෙන් බලවත් වූ විට, පාපකර්මයකට විපාක දීමට කාලය පැමිණි විට උසස් සුගති ස්ථානයක උපත ලබා තිබූ බැවින් එම පාපකර්ම විපාකය ගති සම්පත්තිය නිසා ඵල නොදෙයි.

සුභ ග්‍රහයෝ රාශියෙන් දුර්වල වූ විට, පුණ්‍ය කර්මයකට විපාක දීමට කාලය පැමිණි විට පහත් දුගති ස්ථානයක උපත ලබා තිබූ බැවින් එම පුණ්‍යකර්ම විපාකය ගති විපත්තිය නිසා ඵල නොදෙයි.

සුභ ග්‍රහයෝ රාශියෙන් බලවත් වූ විට, පුණ්‍ය කර්මයකට විපාක දීමට කාලය පැමිණි විට උසස් සුගති ස්ථානයක උපත ද ලබා තිබූ බැවින් එම පුණ්‍යකර්ම විපාකය ගති සම්පත්තිය නිසා ඵලදෙයි.

පාප ග්‍රහයෝ රාශියෙන් භාවයෙන් සහ දෘෂ්ටියෙන් දුර්වල වූ විට, පාප කර්මයට විපාක දීමට කාලය පැමිණි විට පහත් ස්ථානයක අංග විරූපව උපත ලබා තිබූ බැවින් එම පාපකර්ම විපාකය උපධි විපත්තිය නිසා ඵලදෙයි.

පාප ග්‍රහයෝ සුභ අසුභ මිශ්‍ර බලයෙන් යුක්ත වූ විට, පාපකර්මයකට විපාක දීමට කාලය පැමිණි විට පහත ස්ථානයක අංග ස්වරූපව උපත ලබා තිබූ බැවින් එම පාප කර්ම විපාකය උපධි සම්පත්තිය නිසා ඵලනොදෙයි.

සුභ ග්‍රහයෝ සුභ අසුභ මිශ්‍ර බලයෙන් යුක්ත වූ විට, පුණ්‍ය කර්මයකට විපාක දීමට කාලය පැමිණි විට උසස් ස්ථානයක ඉතා අවලස්සන අංග විරූපව උපත ලබා තිබූ බැවින් එම පුණ්‍යකර්ම විපාකය උපධි විපත්තිය නිසා ඵලනොදෙයි.

සුභ ග්‍රහයෝ රාශියෙන් භාවයෙන් සහ දෘෂ්ටියෙන් බලවත් වූ විට, පුණ්‍ය කර්මයකට විපාක දීමට කාලය පැමිණි විට උසස් ස්ථානයක ඉතා ලස්සනව අංග ස්වරූපව උපත ලබා තිබූ බැවින් එම පුණ්‍යකර්ම විපාකය උපධි සම්පත්තිය නිසා ඵලදෙයි.

පාප ග්‍රහයෝ රාශි භාවාදියෙන් දුර්වලව

ගෝචර වශයෙන් හැසිරෙන විට, පාපකර්මයකට විපාක දීමට කාලය පැමිණි විට දුර්භික්ෂ හෝ පරිහීන සම්පත් ඇති කාලයන් ද එම දේශයට ඇති වී එකී පාපකර්ම විපාකය කාල සම්පත්තිය නිසා ඵලදෙයි.

පාප ග්‍රහයෝ රාශි භාවාදියෙන් බලවත්ව ගෝචර වශයෙන් හැසිරෙන විට, පාපකර්මයකට විපාක දීමට කාලය පැමිණි විට සුලභ ආහාර පාන රැකීරක්ෂා ආදියෙන් යුක්ත කාලයෙන් එම දේශයට ඇති වී එකී පාපකර්ම විපාකය කාල සම්පත්තිය නිසා ඵලනොදෙයි.

සුභ ග්‍රහයෝ රාශි භාවාදියෙන් දුර්වලව

ගෝචර වශයෙන් හැසිරෙන විට, පුණ්‍ය කර්මයකට විපාක දීමට කාලය පැමිණි විට දුර්භික්ෂ හෝ පිරිහුණු සම්පත් ඇති කාලයන් ද එම දේශයට ඇති වී එකී පුණ්‍ය කර්ම විපාකය කාල විපත්තිය නිසා ඵලනොදෙයි.

සුභ ග්‍රහයෝ රාශි භාවාදියෙන් බලවත්ව ගෝචර වශයෙන් හැසිරෙන විට, සුලබ ආහාරපාන රැකීරක්ෂා ආදියෙන් යුක්ත කාලයක් ද එම දේශයට ඇති වී එකී පුණ්‍ය කර්ම විපාකය කාල සම්පත්තිය නිසා ඵලදෙයි.

පාප ග්‍රහයන්ගේ අසුභ ඵලදායි මහ දශා හා අතුරු දශා ලැබූ විට, පාපකර්මයකට විපාක දීමට කාලය පැමිණි විට සම්‍යක් ප්‍රයෝගයෙන් ද ස්ථානෝචිතවද ශාන්තිකර්ම වලින් ද කටයුතු කර ගැනීමට නොදත් බැවින් එම පාප කර්ම විපාකය ප්‍රයෝග සම්පත්තිය නිසා ඵලදෙයි.

පාප ග්‍රහයන්ගේ සුභ ඵලදායි මහ දශා හා අතුරු දශා ලැබූ විට, පාපකර්මයකට විපාක දීමට කාලය පැමිණි විට සම්‍යක් ප්‍රයෝගයෙන් ස්ථානෝචිත ලෙස සහ ශාන්තිකර්ම වලින් කටයුතු කර ගැනීමෙන් එම පාපකර්ම විපාකය ප්‍රයෝග සම්පත්තිය නිසා ඵල නොදෙයි.

සුභ ග්‍රහයන්ගේ පාප ඵලදායි මහ දශා හා අතුරු දශා ලැබූ විට, පුණ්‍ය කර්මයකට විපාක දීමට කාලය පැමිණි විට සම්‍යක් ප්‍රයෝගයෙන් ඒ ඒ වේලාවේ ආකාරයට ස්ථානයේ හැටියට වැඩ කර ගැනීමට නොදත් බැවින් එම පුණ්‍ය කර්ම විපාකය ප්‍රයෝග සම්පත්තිය නිසා ඵල නොදෙයි.

සුභ ග්‍රහයන්ගේ සුභ ඵලදායි මහ දශා හා අතුරු දශා ලැබූ විට, පුණ්‍ය කර්මයකට විපාක දීමට කාලය පැමිණි විට සම්‍යක් ප්‍රයෝගයෙන් ස්ථානෝචිතව ද කටයුතු කරන බැවින් එම පුණ්‍ය කර්ම විපාකය ප්‍රයෝග සම්පත්තිය නිසා ඵලදෙයි.

ආචින්න කර්ම බලය සහ දෙවැනි භාව ඵලය
යමෙකු විසින් නැවත නැවත කරන ලද, රැස් කරන ලද, පුරුදු කරන ලද, නිතර සිහි කරන ලද කර්මයන් ආචින්න කර්ම නමින් හැඳින්වේ. යම් දෙයක් රැස් කර ගැනීමේ බලය, ධාරණ ශක්තිය, ධනය හම්බ කර ගැනීම, පින් පව් රැස් කර ගැනීම ආදිය දෙවැන්නෙන් විස්තර වෙයි. දෙවැන්න බලවත් නම් ධාර්මික ලෙස වස්තුව රැස් කර ගනියි. නිතර පින් රැස් කර ගනියි. ධාරණ ශක්තිය ඇති වේ. දෙවැන්න දුර්වල වූ විට නිතර පාප ක්‍රියාවලින් වස්තුව රැස් කර ගැනීමට බලයි. ධාරණ ශක්තිය අඩුවේ.

රැස්කරගත් වටිනා දෙවල් නැති වෙයි. පුරුද්දේ බලය ඇති වන්නේ පාපී ක්‍රියා පිළිබඳව ය. මෙම භාවයට ධනස්ථානය යැයි කියනු ලබන බැවින් ශ්‍රද්ධා ධන, ශීල ධන ආදිය ද එයින් ද විස්තර කළ හැකි වෙයි. එවැනි ධනයක් නිතර රැස් කර ගැනීමට හැකිවන්නේ දෙවැන්න බලවත් වූ විටය.
කථිකාචාර්ය
පෙරිය උළුක්කුලමේ නන්දවිමල හිමි
Tel : 0776266185

advertistmentadvertistment
advertistmentadvertistment