කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටු හතරම පිරිලා

463

මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටු හතරම රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇත. ඒ විතරක් නොව අනිකුත් වාට්ටුවලින්ද කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වෙමින් තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා විසින් රෝහල තුළ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කොට ඇත. කොවිඩි ආසාදිත රෝගීන් ඉතා ශීඝ‍්‍රයෙන් වාර්තාවීමත් සමග කොවිඞ් වාට්ටුවල ධාරිතාවය ඉක්මවා ගොස් ඇත.

 කෝවිඞ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කිරීම හා රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වීම හා රෝහලේ කාර්ය මණ්ඩලය ආසාදනය වීමේ වර්ධනයක් ඇතිවී තිබෙන බැවින් රෝහල තුළ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කොට තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්වසන ආබාධ හා සංකූලතා නොමැති කෝවිඞ් ආසාදිත රෝගීන් අතරමැදි වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරන තෙක් නිවෙස්වලට යොමු කිරීමට රෝහල් බලධාරීන් විසින් තීන්දු කොට ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඞ් ආසාදනයට ලක් වී විවිධ සංකූලතාවලට ලක් වන රෝගීන්ට ප‍්‍රමුඛතාවය ලබාදීම සඳහාය.

 මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන බාහිර ප‍්‍රතිකාර අංශය වෙත හා හදිසි ප‍්‍රතිකාර අංශය වෙත ඇතුළත්වීම සඳහා පැමිණෙන සංකූලතා රහිත කොවිඞ් රෝගීන් වාට්ටුවලට යොමු කිරීමකින් තොරව අතරමැදි වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක පුරප්පාඩුවක් ලැබෙනතුරු නේවාසික ප‍්‍රතිකාර සඳහා යොමුවන ලෙස රෝහල් බලධාරීහු ඉල්ලා සිටිති. කොරෝනා අවදානමක් පැවතිය ද රෝහලේ හදිසි සැත්කම් හා සැලසුම් සහගත සැත්කම් සාමාන්‍ය පරිදි කරගෙන යන බව රෝහලේ ශල්‍ය වෛද්‍යවරු පවසති. ශල්‍යකර්ම වලින් පසුව ද ඇතැම් රෝගීන්ට කෝවිඞ් වෛරසය ආසාදනය වීමේ සිද්ධීන්ද වාර්තා වී තිබේ. මේ නිසා රෝගීන් බැලීමට පැමිණීමේදී එක් අයෙකු පමණක් පැමිණෙන ලෙසද රෝහල් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.

 ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් පෙරේදා (04* දිනය තුල කොවිඞ් ආසාදිත රෝගීන් 46 දෙනෙකු වාර්තාවී තිබේ.

 අද (05* උදෑසන වන විට කරාපිටිය රෝහලේ කොවිඞ් ආසාදිත රෝගින් 173 දෙනෙකු පතිකාර ලබන බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. ඉකුත් දින දෙක තුළ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු, හෙද නිලධාරීන් දෙදෙනෙකු, සෞඛ්‍යය කාර්ය සහායකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත . මේ අතර 06 වාට්ටුවෙන් පමණක් කොරෝනා ආසාදිත රෝගින් 24 දෙනෙකු වාර්තා වී ඇති බව පවසන රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා පෙරේදා (04* දිනය තුළ කොවිඞ් ආසාදිත රෝගින් 29 දෙනකු අතරමැදි වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකොට ඇති බවද පවසයි. මේ වනවිට රෝහලේ සෑම වාට්ටුවකින්ම වාගේ කොරෝනා ආසාදිත රෝගින් එක් අයෙකු දෙදෙනකු වාර්තා වෙමින් තිබෙන බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

 ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment