කරුණානන්දාවලෝකනය කාම්බෝජයෙන්…

398

ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කම් දිනුවේ දෙවරකි. ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ එම පදක්කම් ගෙනා දුන්හ. ශ්‍රී ලංකාව ඔලිම්පික්වල කෝටි ගණන් ජනතාවගේ හදවත් දිනූවේ එක් අවස්ථාවකි. ඒ 1964 වසරේ ජපානයේදීය. ජයග්‍රහණය කිරීමත් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ හිමිවීමත් එකක් නොව දෙකකි. ජයග්‍රහණය කළ පමණින් ලොව සියලු ජනී ජනයාගේ හදවත් දිනා ගැනීම පහසු නොවේ. ජැමෙයිකාවේ උසේන් බෝල්ට් මීටර් සියය දිනනවාට ඇමෙරිකානුවන් කැමති නැත. එසේම අප මේ කියන 1964 ඔලිම්පික් උළෙලේදී දක්ෂතම ක්‍රීඩා තරුව වූ ඇමෙරිකාවේ බොබ් බීමන්ට එදා ටෝකියෝ ක්‍රීඩා පිටියේ සිටි හැම ප්‍රේක්ෂකයකුම සතුටු කඳුළු සලමින් අත්පුඩි ගැසුවේ නැත. බොබ් බීමන් එදා ලෝක වාර්තාව සම කළ අතර මැරතන් ඉසව්වෙන් එවර අඩුම කාලයක් වාර්තා කළ ඉතියෝපියාවේ අබිබි බිකිලා ටද එහි සිටි හැමගේ ආදරය හිමි වූයේ නැත. රටවල් සියයකට ආසන්න මිනිසුන්ට “මේ අපේ එකෙක්” යැයි කඳුළු ආවේත් ඒ දෙඅත්වලින් ඔල්වරසන් නැඟුණේත් පරාජිතයකුටය. සිය අසුන්වලින් නැගිට්ටේද පරාජිතයකු ට ගෞරව කරන්නටය. ලොවම ගෞරව කළ ඒ සොඳුරු පරාජිතයා අන් කවරකුවත් නොව එකල “සිලෝන්” ලෙස සැලකුණු මෙරටින් ඔලිම්පික් ගිය රණතුංග කරුණානන්ද ය. ඔහු එදා අමරණීය වූයේ මීටර් 10000 ධාවන තරගයේ දී ය. එම ඔලිම්පික් උළෙලේ පමණක් නොව ලොව එදා මෙදා තුර සියලු ක්‍රීඩා උළෙල හි හොඳම පරාජිතයා, ධෛර්යවන්ත මිනිසා සහ ගෞරවනීය ක්‍රීඩකයා ලෙස රණතුංග නම අමරණීය වේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ජපානය කරුණානන්ද සහ ඔහුගේ ධෛර්යවන්ත ධාවනය පිළිබඳ පරිච්ඡේදයක් ජපාන පාසල් පෙළ පොතේ 05 වන ශ්‍රේණියට අන්තර්ගත කිරීමට එරට බලධාරීහු කටයුතු කළහ. මේ එම පාසල් පෙළ පොතේ දැක්වෙන කොටසක පරිවර්තනයයි.

“වෙලාව සවස 4.05 විය. මහත් ඝෝෂාවක් නැඟී ක්‍රමයෙන් එය පහව ගියේය. ප්‍රේක්ෂකයන්ගේ නෙත් යොමු වූයේ ආරම්භක පේළියේ පෙළ ගැසී සිටි ධාවකයන් 38 දෙනා දෙසටය. පිස්තෝලය නාද වූ අතර ධාවකයෝ එකවරම ධාවනය ආරම්භ කළහ.

ජපානයේ කොකිචි ට්සුබුරායා 6 වැනි ස්ථානයට පත් වූ මෙම තරගය මීටර් 400 ධාවන පථයක් වටා වට 25ක් ගෙවී ගියේය. ධාවකයන් 38 දෙනාගෙන් නව දෙනකුට තරගය අතරමග අත්හැරීමට සිදු විය. අන්තිමට යැයි සිතූ ධාවකයා අවසන් රේඛාව පසු කරන විට, තරගය අවසන් වූ බව සියලු දෙනා උපකල්පනය කළහ.

නමුත් නිල ඇඳුම් අංක 67 ධාවනය නතර කළේ නැත. රැස්ව සිටි පිරිසගේ විහිළු තහළුවලට සහ හූ ශබ්දවලට යට වෙමින් කරුණානන්ද වට හතරක් ජයග්‍රාහකයන්ට පසුපසින් ධාවනයේ යෙදුණේය. ඔහු දිව යන විට ඔහුගේ පපුව පැත්ත අල්ලාගෙන දැඩි වේදනාවකින් සිටියේය. විහිළු සහ හූ හඬවල් ඉක්මනින් ප්‍රීති ඝෝෂා බවට පත් විය.

හැමෝම තමන්ගේ රටේ ක්‍රීඩකයාට ඔල්වරසන් දෙනවා මෙන් කෑ ගැසූහ. ඔවුන්ගෙන් සමහරෙක් කඳුළු සලමින් දිලිසෙන දෑසින් ඔහු දෙස බලා සිටියේය.

කරුණානන්ද ජයග්‍රාහී සීමාව පසුකරමින් සිටියදී අත්පොළසන් වැස්සක් වැස්සේය.”

එදා ටෝකියෝ ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව 65,000 ක් ඉක්මවා තිබුණි. මීටර් 10000 තරගය ජයග්‍රහණය කළ ක්‍රීඩකයා රන් පදක්කම හිමි කරගන්න යන විට ඔහු කරුණානන්ද ට පැවසුවේ එය මට නොවේ හිමිවිය යුත්තේ ඔබට බවයි.

තරගයෙන් පසුව රණතුංග කරුණානන්ද ප්‍රකාශ කළේ තමන් එම ධාවනයේ යෙදුණේ රට වෙනුවෙන් බවයි.

වසර 1964 දී කරුණානන්ද වීරයකු ලෙස එසේ ඉතිහාස පොතේ අමරණීය නමක් ලෙස එක් වූ අවස්ථාව ඊට වසර 59කට පසුව මතකයට ගෙන ඒමට මෙවර අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේ සමත් විය. එම තරගාවලියේ ද මීටර් 5000 තරගයෙන් පරාජිතයකු ජයගත්තාය. ඇය නමින් බව් සම්නන්ග් ය. තවමත් 18 හැවිරිදි විය නොඉක්මවූ බව් සම්නන්ග් තරගය අවසන් කිරීමේ මොහොතට විනාඩි හයකට කලින් අනෙක් තරගකරුවෝ තම තරගය අවසන් කොට තිබිණි. එහෙත් මහා ධාරානිපාත වැසි මැද ඇය දිගටම දිව ගියාය. ඒ මාස කීපයකට පෙර තමන් පෙලූ හදවත් රෝගයද නොතකමිනි. අවසාන වටයට ඈ එළඹෙත්ම සියලු ප්‍රේක්ෂකයෝ ඇයව දිරිමත් කරමින් හා අගය කරමින් අත්පොඩි තලන්නට වූහ. තරගය අවසන් කොට කාම්බෝජයේ ධජය ලෙලවූ දැරිය සමස්ත ප්‍රේක්ෂකයන් වෙත තම ආචාරය පුද කොට ඔවුන්ගේ ප්‍රතිචාර ඉවසාගත නොහී වැළපෙන්නට වූවාය. ඇගේ මේ නොපසුබට උත්සාහයට ගෞරව පුද කෙරිණි.

පසුදා කාම්බෝජයේ රජු ඇයට මුදලින් ඩොලර් 10000ක් පිරිනැමීමට තීරණය කළ අතර ඊට අමතරව තවත් බොහෝ දෙනා ඇයට ත්‍යාග හා මුදල් පිරිනැමූහ. තරගය අවසානයේ ඇය පැවසූවේ තමන් කාම්බෝජයේ ජනතාව වෙනුවෙන් මෙම ධාවනයේ යෙදුණු බවයි. බව් සම්නන්ග් ද කරුණානන්ද මෙන් සුවිශේෂී ක්‍රීඩා චරිතයක් ලෙස ඉතිහාසයට එක් වූවාය.

කරුණානන්ද එදා ප්‍රදර්ශනය කළ අසීමාන්තික ධෛර්යවන්ත ධාවනය “ජයග්‍රහණයට වඩා සහභාගිත්වය උතුම්” තේමා පාඨයට ලබා දිය හැකි හොඳම උදාහරණයයි. කරුණානන්ද ගේ එම ශ්‍රේෂ්ඨ චරිතය පිළිබඳ ජපානයේ පමණක් නොව මෙරට පාසල් පෙළ පොතේ ද පරිච්ඡේදයක් වෙන් වී ඇත. ඔහුගේ චරිතය ආශ්‍රයෙන් ලියා පරිවර්තනය කළ ග්‍රන්ථ විදෙස් වෙළෙඳපොළේ ද අලෙවි වූයේ ලාංකිකයන් ලෙස රටටම ගෞරවයක් ගෙන දෙමිනි. එම “ජයග්‍රාහී” ධාවනයෙන් වසර දහයකට පමණ පසු අම්පාර ප්‍රදේශයේ වැවක දිය නෑමට ගොස් කරුණානන්ද දියේ ගිලී මියගියේය. එහෙත් ඊට වසර 30 කට පමණ පසු ද කරුණානන්ද පිළිබඳ වැඩසටහනක් කිරීමට ජපානයෙන් කණ්ඩායමක් මෙරටට පැමිණියේය. කරුණානන්ද ගේ නම මෙ රටට වඩා ජපානයේ අමරණීය වී ඇති බවට එය එක් උදාහරණයක් පමණි. කාම්බෝජයේ බව් සම්නන්ග් එදා ධාවන පථයේ සිට හැඬු කඳුළු මහ වැස්සත් එක්ක පහළට ගලා ගියේ ය. කරුණානන්ද නම් ශ්‍රේෂ්ඨයාගේ ජීවිතය වැවක දී නිමා විය. එහෙත් ඔහුගේ නම සඟවා තබන්නට මහ සයුරකටවත් නොහැක.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment