කලබල වෙන්න එපා මේක බොරු දළදා මාලිගාවක්

586

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කර ඉදි කෙරෙමින් පවතින බවට ප්‍රචාරයක් යමින් තවත් දළදා මාළිගාවක් ඉදිවන බවට කතාවක් රට පුරා පැතිර ගියේය.

ඒ හරහා දේශීය හා විදේශීය ගිහි පැවිදි බෞද්ධයන් රවටා මුදල් හා රත්‍රං එක්රැස් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දන්වමින් මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග ප්‍රදීප් දෑල මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයන්නට ඉදිරිපත්ව සිටියේ ය. ඊට සමගාමීව එහි තවත් ප්‍රතිඵලයක් ලෙස මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයාගේ අත්සනින් යුතු ලිපියක් ජනපතිවරයා වෙත යොමුකරන්න ද කටයුතු යෙදිණි.

මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද අත්සන් කළ ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ මෙසේ සඳහන් වෙයි.ව්‍යාජ දළදා මාළිගාවක් කුරුණෑගල වදාකඩ පොතුහැර ප්‍රදේශයේ ගොඩනගන බව අප වෙත දැන ගන්නට ලැබී ඇත. මේ වනවිටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිල මුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද අනාවරණය වෙමින් පවතී.

එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල් අමරසිංහ නමැත්තෙකු බුදු දහමට හා ශ්‍රී දළදා වහන්සේ ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවක් දක්නට ලැබේ. මෙසේ බුදු දහමට හා ශාසනික චිර පැවැත්මට හානිකර අයුරින් හා දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාළිගා නිර්මාණය කරමින් මිථ්‍යා මත ඉස්මතු කර දැක්වීම හා බුදු දහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍රව පවත්නා සෙංකඩගල පුර ශ්‍රී දළදා මාළිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයක් බවත් බුදු දහමට අපහාසයක් ගෙන දෙන්නක් බවත් කාටත් වැටහී යනු නොඅනුමානය.

මෙම අබෞද්ධ මිථ්‍යා මත පතුරවමින් ඇතැම් මිථ්‍යා මතධාරීන් විසින් සිදු කරනු ලබන බෞද්ධ විරෝධී ක්‍රියා පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සඳහන් කර තිබෙන පරිදි බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යභාරයට බැඳී සිටින රජය විසින් වහා කරුණු පරීක්ෂා කොට ආරම්භයේ දීම ඒවා වළක්වා ලීමට කටයුතු කිරීම බුදුදහමේ චිරස්ථිතිය හා අභිවර්ධනය පිණිස හේතුවන බව ජනාධිපතිතුමාගේ සුවිශේෂ අවධානයට යොමු කරන අතර මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සුදුසු බව කරුණාධ්‍යාශයෙන් සිහිපත් කර සිටුම්හ.

මෙම ලිපිය යොමු කිරීමෙන් අනතුරුව සාර්ථක ලෙස ව්‍යාජ දළදා මාළිගාව යන නාමය එය ඔස්සේ තවදුරටත් රට පුරා ව්‍යාප්ත විය. එපමණක් ද නොව ජනාධිපතිවරයා විසින් ඉකුත් පස් වැනිදා මහා නායක ස්වාමීන් වහන්සේ ගේ ලිපියට ප්‍රතිචාර දක්වන්නට ද කටයුතු කළේය.

කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර ප්‍රදේශයේ “ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවට අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහනායක හිමිවරු හා දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා විසින් සිදු කරන ලද දැනුම්දීමට අදාළව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන්නැයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම විමර්ශන වහාම ආරම්භ කළ බවත්, සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් දෙකක් මේ වන විටත් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.

කලබල වෙන්න එපා මේක බොරු දළදා මාලිගාවක්

එවන් පසුබිමක් යටතේ පොතුහැර ඉදිකොට තිබෙන’ පූජනීය ස්ථානයේ නිර්මාතෘ ජානක සේනාධිපති මහතා කියා සිටියේ මෙවැන්නකි.

“මම කිසි විටෙකත් දළදා මාළිගාවෙහි අනුරුවක් නිර්මාණය කරන්නට උත්සාහ කළේ නැහැ. දළදා මාළිගාව කියන්නේ මේ රටේ මුදුන්මල්කඩ. මේ වැරදි මතය ගෙනියන්නෙ කවුරුන් හෝ අප ගැන බයවෙලා වෙන්න පුළුවන්. ඒකට එකම හේතුව සති අන්තෙ මෙතෙන්ට එන අධික ජනගහනය. තේ මිනිසුන් මෙතෙන්ට එන්නෙ අපිට රත්තරන් පූජා කරන්නවත් මිල මුදලින් යාන වාහන වලින් මෙතන පූජා තියන්න වත් නෙවෙයි. ඔවුන්ගේ දුක් කම්කටොළු සියල්ල රැගෙනයි මෙතනට එන්නේ. ඇතැම් අයට සුව නොවෙන රෝග ඇතැම් අයට දුක් කරදර පීඩා ඒ හැමදෙනාම මෙතැනට ඇවිල්ලා කුමක් හෝ සහනයක් බලාපොරොත්තු වෙනවා. අපි ඒ අය සුවපත් වෙන්න වෙදකම් කරනවා බුදුන් වහන්සේගේ ධර්මය අප්‍රමාණයි. එක සීමා කරන්න කියලා හෝ එය බෙදා ගන්න ඕනි කියල කොහෙවත් මතයක් නැහැ. අපේ සේවය සද්භාවයෙන් කරන මහජන සේවයක් ඒ මිස හම්බ කර ගැනීමේ චේතනාවක් කොහෙත්ම නෑ. මෙතන නිර්මාණය කරලා තියෙන්නෙ පිරිනිවන් මංචකය චෛත්‍යරාජයාණන් වහන්සේ බුදු පිළිම වහන්සේ ඒ වගේම දළදා මාළිගාවේ පත්තිරිප්පුවට සමාන ගොඩනැගිල්ලක් ඉදි කරලා තියෙනවා. ඒ හැරුනහම දළදා මාළිගාව කියන සංකල්පය කොහෙත්ම අපි මෙතනට ගෙනත් නැහැ. ඇත්තටම ඒක වැරදි වැටහීමක්..”

එම ස්ථානයට ගොස් ඇති පිරිස් අතරින් ගුණවතී මැණිකේ නමැති කාන්තාවට සුවයක් පතාගෙන ආ ඇයගේ දියණිය මේනකා විජය කුමාරී අප සමඟ මෙසේ පැවසුවාය.

“අපේ අම්මට නැගිටලා ඇවිදගන්න බැරුව හිටියේ මෙතැනට ඇවිල්ලා කරපු වෙදකම් වලින් දැන් ඇයට තරමක් සුවයි දැන් ඇය අඩිය බිම තියලා ඇවිදිනවා. ඇත්තටම ඉතිං අපිට මේක හාස්කමක් වගේ මේ උත්තමයා ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබෙන්න ඕන. මේ වගේ දහසක් දෙනා සුවපත් කරන්න හැකියාව ලැබෙන්න ඕනේ….”

ඒ අතරේ තවත් වෙදකමත් හෙදකමත් බලාපොරොත්තුවෙන් එහි ගිය පිරිස බොහෝ විය. ඔවුන් මෙම ස්ථානය පිළිබඳව දැක්වූයේ අතිශය හැඟීම්බර ගෞරවනීය අදහස් පමණකි.

කොතැන හෝ කාට හෝ වැරදී ඇති බව සැබෑය. ඒ රට තුළ වැරදි මතයක් ගොඩනැගී තිබෙන බවද සැබෑය. එසේ වුවද මෙහි සත්‍ය අසත්‍යතාව හරි හැටි දැනගැනීමට ඉරිදා දිවයින අපි අදහස් කළෙමු. ඒ අනුව පොතුහැර හොඳ හෝ නරක සමග සත්‍ය සිදුවීම් ලබන සතියේ ගෙන ඒමට අපේක්ෂා කරමි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment