කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා!

758

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ කියැවීම පිළිබඳව පුදුම එළවනසුලූ කියැවීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පසුගිය දිනක සභා රැස්වීමක ගෙන හැර දක්වනු ලැබීය. පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරයේ ‘ශුභාශිංසන’ කතාව පවත්වමින් කථානායකවරයා කර ඇති ගෙනහැර දැක්වීම ඇත්ත වශයෙන්ම ‘‘අසුබාරංචියක්ම’’ වන්නේය. ‘‘උත්තරීතර’’ විශේෂණ නාම පදය මුල් කොට ගනිමින් රටේ අන් ආයතන අබිබවා සෑමවිට ම පළමු පෙළම ගන්නා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කියැවීමෙහි දක්වන සුවිශේෂීත්වය කථානායකවරයාගේ කතාවෙන් පිළිබිඹු වන්නේය.

මන්තී‍්‍රවරුන්ගේ කියැවීම පොත්පත් කියැවීම හා ඔවුනොවුන් සභා රැස්වීම්වල දී කියැවීම ලෙසින් දෙයාකාරයේ කියැවීමක් ලෙසත් ගත හැකිය. පසුගිය වසරේ පොත් කියැවූ මන්තී‍්‍රවරුන් ගෙන් වැඩි දෙනෙක් කියවා ඇත්තේ ප‍්‍රබන්ධ කතා බව පෙන්වා දෙන කථානායකවරයාගේ ගෙනහැර දැක්වීම තුළ සභා රැස්වීම්වල කතා කළ මන්තී‍්‍රවරුන් ගෙන් වැඩි දෙනකුගේ කියැවීම් වල්පල් කතා කියැවීම් බව පෙන්නුම් කරන්නේය. ඒ අනුව අපි වෙනුවෙන් නියෝජනය සඳහා ඉදිරිපත් වූවන්ගෙන් තෝරා පත් කරගත් 225ක් වූ අපි වෙනුවෙන් තීන්දු තීරණ ගන්න උතුමන්ගේ තත්ත්වය සිතා ගත හැකිය.

සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි භාෂාවන් ගෙන් ලියැවුණු පොත් 34,000කට ආසන්න සංඛ්‍යාවකින් සැදුම් ලත් පුස්තකාලයක් පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇත්තේය. පාර්ලිමේන්තුව තුළ පුස්තකාලයක් පිහිටු ුවීමේ මුඛ්‍ය පරමාර්ථය හා එය පවත්වා ගෙන යෑමේ මූලික හේතුව වන්නේ මන්තී‍්‍රවරුන්ගේ තොරතුරු අවශ්‍යතා පිරිමැසීම වන්නේය. වර්ෂ 1923 දී තම්බි මුත්තු මහතා විසින් කළ යෝජනාවක් අනුව 1927 දී පිහිටුවන්නට වූ පාර්ලිමේන්තු පුස්තකාලය තුළ වර්ෂ 1800 ගණන්වල සිට අද දක්වා ප‍්‍රකාශයට පත් කර ඇති සියලූ පරාස ආවරණයවන පොත්පත් අඩංගු වන්නේය. විමර්ශන බැහැර දෙන හා පර්යේෂණ යනා දී ලෙසින් අංශ තුනකින් සමන්විත පුස්තකාලය මන්තී‍්‍රවරුන් වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ද යොමු කළ හැකි වන්නේය.

පසුගිය වසරේ පාර්ලිමේන්තු පුස්තකාලයෙන් මන්තී‍්‍රවරුන් විසින් කියවන්නට ගෙන ඇත්තේ පොත් 330ක් බව පෙන්වා දෙන කථානායකවරයා එයින් 122ක්ම ප‍්‍රබන්ධ කතා බව කියා ඇත්තේය. ප‍්‍රබන්ධ කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව එයින්ම ගම්‍ය වන්නේය. පොත් කියැවීම කෙරෙහි මන්තී‍්‍රවරුන් ගෙන් මෙැවනි උදාසීන බවක් පෙන්නුම් කරන්නේ ඇතැම්විට ඔවුන් අනුන්ගේ පොත් කියනවාට වඩා පොත දාන්න ශූර බව විය හැක. ශුභාශිංසන කතාවේ දී කථානායකවරයා මන්තී‍්‍රවරුන්ගේ පොත් කියැවීම කෙරෙහි අවධානයක් යොමු කර කතා කර ඇරත්තේ එහි වටිනාකම දන්නා නිසා ම බව පැහැදිලිය. අසම්පූර්ණ මිනිසාට සම්පූර්ණ වීමට ඇති හොඳම කි‍්‍රයාව පොත් කියැවීමය. එයිනුත් එහා ගොස් මන්තී‍්‍රවරයකුට රැස්වීම් වාරයක දී කතා කරන්නට අවශ්‍ය කරුණු කාරණා පොත් පරිශීලයෙන් කොතරම් නම් සොයා ගත හැකි ද?

පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන පනතක් හෝ වේවා යෝජනාවක් හෝ වේවා ආදී විවාදයන්හි දී එම පනතට හෝ යෝජනාවට අදාළව විෂයානුබද්ධව කතා කරන මන්තී‍්‍රවරුන් සිටින්නේ බොහොම සුළු පිරිසකි. බොහෝ පිරිසක් කතා කරන්නේ වල්පල්ය. නන් දෙඩවීම්ය. ඇත්ත වශයෙන්ම ලබා දෙන පිළිතුරු යන්නෙ කොහෙද මල්ලෙ පොල්ය. ඔවුන් පාර්ලිමේන්තු මැති ඇමැතිවරු යන පුරාජේරුව එක්ක ක්ලින් සූට් පිට ඇවිත් ආපන ශාලාවෙන් සප්පායම් වී සභාගැබටත් ගොස් මොනවා හෝ කතා කර යන තත්ත්වයක් පෙන්නුම් කරන්නේය.

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ ඉතා හරවත් කතා පැවැත් වූ මැති ඇමැතිවරුන් ද බොහෝ පිරිසක් සිටියහ. දැනුදු සිටිති. ඔවුන් ගෙන් සමහරකට ඔවුන්ගේ නිවෙස්වල පුස්තකාල තිබිණි. ඔවුහු ඒවායේ පොත්පත් පරිශීලනය කර මාතෘකාවට අදාළව හරවත්ව ගැඹුරින් කතා පැවැත්වූහ. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන, ඩඩ්ලි සේනානායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ජේ. ආර්. ජයවර්ධන, අනුර බණ්ඩාරනායක, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ලක්ෂ්මන් කදිරගාමර් වැනි එදා උදවිය ද මෙහි දී අප මතකයට එන කිහිපදෙනෙකි. අද ද එවන් පොතපත කියවන පක්ෂ විපක්ෂ දෙතුන් දෙනකු මැති සබේ සිටිති. ඔවුන්ගේ නම් මේ මොහොතේ කියවීම තුළ දේශපාලන පක්ෂග‍්‍රාහි සිතුවිල්ලක් ඔබට ඇතිවිය හැකි නිසා අපි ප‍්‍රවේශම් වෙමු. එම කතා ඇසීමට සරසවි හා නීති සිසුන් ඉතා ඕනෑකමින් සහභාගි විය. ඒ එම කතාවලින් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබූ බැවිනි. එහෙත් අද වනවිට පාර්ලිමේන්තු රැස්වීම් අතරවාරවල දී ගැලරිය වසා දැමීම හා නැරඹීමට පැමිණි පාසල් සිසුන් ඉවත් කිරීම සිදු කරන්නේ කථිකයන්ගේ කතාවල සභ්‍යත්වයේ උසස් බව අනුව බව පැහැදිලිය.

මන්තී‍්‍රවරුන්ගේ බොහෝ ප‍්‍රකාශ රජයට මඟපෙන්වීම වෙනුවට දේශපාලන වාසි ලබා ගැනීමට භාවිත කිරීමක් දක්නට ඇති බව ද පෙන්වා දෙන කථානායකවරයා මෙම තත්ත්වය අවසානයේ ලජ්ජා සහගත පාර්ලිමේන්තු විරෝධී හැසිරීමක් දක්වා වර්ධනය වීමට හේතු වී ඇති බව ද පෙන්වා දෙයි. මන්තී‍්‍රවරයාගේ අරමුණ රාජ්‍ය ඇමැතිකමකි. රාජ්‍ය ඇමැතිවරයාගේ අරමුණ කැබිනට් ඇමැතිකමකි. ඒ වෙනුවෙන් පෙනී සිටින හා ඒ අරමුණින් කි‍්‍රයා කරන මන්තී‍්‍රවරුන් ඕනෑ දේටත් එපා දේටත් කතා අතර මඟ පැන ගිරිය පුප්පා ගෙන දන්නා තරම් අවකැපෙන කතා පවත්වන්නේ රස්තියාදුකාර බයිබෝස් බවක් පෙන්වමිනි. මැති සබේ රැස්වීම්වල කතා අසා සිටින මධ්‍යස්ථ පුරවැසියකුට ඔවුන් ගැන ඇති වන්නේ පහත් සංවේගයකි. ඇතැම්විට එම මන්තී‍්‍රවරුන් එසේ කතා පැවැත්වීමෙන් කි‍්‍රයා කිරීමෙන් ඉදිරි මැතිවරණයක දී වැඩි මනාප සංඛ්‍යාවක් අනුමාන කරනවා විය හැක. එය එසේම සිදුවුව ද පුදුම විය යුතු නැත. අපේ රටේ දේශපාලනයේ හැටි එසේය. නිදහස ලබාගත් දා සිට රට කරපු ආණ්ඩු ගැන කොතෙක් කතා කළ ද පාඩම් උගෙන ගත්ත ද ජනතාව හැමදාමත් කරන්නේ එදා කළ දෙයමය. සර්ව ජන ඡන්ද බලය උදෙසා වූ රටවල් ගත් කල අනගිභවනීය ඉතිහාසයකට උරුමකම් කියා පෑව ද අප ඒ කෙරෙහි කි‍්‍රයාත්මක වීමේ දී දක්වනු ලබන්නේ ළඳරු බවකි. තත්කාලීනව මතුවන ගැටලූවක් අර්බුදයක් සඳහා ගෙනහැර දක්වන පිළියමකට පිළිතුරකට ඡන්දය පාවිච්චි කරනවා විනා වඩාත්ම යථාර්ථවාදී වැඩපිළිවෙළක් උදෙසා ගතවූ හැත්තෑහතර වසර තුළ අප ඡන්දය පාවිච්චි කර තිබේ ද?

පොත් කියවන්න…. පොත් කියවන්න ලෙසින් ප‍්‍ර‍්‍රාථමික පාසල් සිසුවකු අධ්‍යාපනයට යොමු කරන පරිද්දෙන් කථානායකවරයාට මෙහි දී කි‍්‍රයා කළ නොහැක. එහෙයින් සිය දැනුම උදෙසාත් අන් අයට ඒ තුළින් දැනුමක් ලබාදීම උදෙසාත් කියැවීමට පෙළඹීම මන්තී‍්‍රවරුන් සතු කාර්යයක් වන්නේය. ඔබ කියැවීමක් නැති වුවහොත් ඔබේ කියැවීමත් පුස්සක්ම වන්නේය. වල්පල් දෙඞීමක්ම වන්නේය. මන්ද ඔබේ කියැවීම තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැඳී ඇති බැවින් කථානායකවරයා පෙන්වා දෙන අයුරින් එම විශ්වාසය නැති වුවහොත් එහි ප‍්‍රතිවිපාක රටේ සියලූ දේශපාලන පක්ෂවලටත් පුරවැසියන්ටත් බලපානු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment