මෝටර් රථය කුලියට ගැනීමට යොදාගත් හැඳුනුම්පත් තුන අතර ලක්ෂිතගේ හැඳුනුම්පතත්
මිනුවන්ගොඩ, කලහුගොඩ ප්රදේශයේ දී ඉකුත් 06 වෙනිදා පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනාව ඝාතනය කිරීම සඳහා පැමිණි කාර් රථය කුලී පදනම මත ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ හැඳුනුම්පත් තුන අතරට වෙඩි වැදී
මියගිය මරණකරුවන් තිදෙනා විසින් කොටගෙදර ප්රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කළ ලක්ෂිත ලක්මාල් සිල්වා යන අයගේ හැඳුනුම්පත ද ඉදිරිපත් කර තිබූ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
කාර් රථය කුළී පදනම මත ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ ජාතික හැඳුනුම්පත් 03ක් පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේ දී ඒ බව අනාවරණය වී තිබේ.
සැකකරුවන් එම කාර් රථය මිනුවන්ගොඩ ගල්කන්ද ප්රදේශයේ මෝටර් රථ කුලියට ලබා දෙන ස්ථානයකින් ඉකුත් 05 වෙනිදා දින 03 ක කාලයකට ලබාගෙන තිබූ බව ද පොලිසිය කීය. සැකකරුවන් විසින් එම කාර් රථය බඩල්ගම පොලිස් වසමේ අතහැර දමා ගොස් තිබියදී බඩල්ගම පොලිසිය මගින් සොයාගෙන තිබේ.
එම කාර් රථය මීගමුව කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (සොකෝ) විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවත් අධිකරණයෙන් නියෝග ලබාගෙන එම කාර් රථය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත යොමුකර වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.
ටෝනි කරුණානායක – මිනුවන්ගොඩ
ඡායාරූපය – ටෝනි කරුණානායක