කල්එළියේ ව්‍යාපාරිකයා පැහැරගත් කල්ලිය උපාය දූතයන්ට කොටු

987

ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් පහරදී බියගන්වා කප්පම් ලබාගැනීමට උත්සහ කළ කප්පම් කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පල්ලෙවෙල පොලිසියට හැකි වී ඇත.

පෙරේදා (12 දා) කල්එළිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඇති බව පල්ලෙවෙල පොලිසිය පවසයි. පැහැරගෙන ගොස් පැයකට පමණ පසුව ව්‍යාපාරිකයාගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබා දුන් පිරිස පවසා ඇත්තේ රුපියල් 120,000 ක් ලබා දුනහොත් ස්වාමිපුරුෂයා නිදහස් කරන බවයි.

සිද්ධිය සම්බන්ධව ව්‍යාපාරිකයාගේ බිරිඳ පල්ලෙවෙල පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව කප්පම්කරුවන් සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත. මේ අතර කප්පම් කල්ලිය විසින් ඉල්ලා සිටින කප්පම් මුදල ලබාදීමට පොලිසියේ උපදෙස් පරිදි බිරිඳ එකඟ වී ඇති අතර එම මුදල ලබාදීම සඳහා කඩවත නගරයට පැමිණෙන ලෙසට ව්‍යාපාරිකයාගේ බිරිඳට කප්පම්කරුවන් දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පල්ලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික සංජීව මහතා ඇතුළු නිලධාරීන් පිරිස ව්‍යාපාරිකයාගේ බිරිඳද කැටුව කප්පම්කරුවන් පැවසූ ස්ථානයට ගොස් ඇත. එහිදී කප්පම්කරුවන් කළු පැහැති මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණ ඇත. මෙහිදී කප්පම්කරුවන්ට බිරිඳ විසින් මුදල් ලබාදෙන අවස්ථාවේදීම අවට රැකවල් ලාගෙන සිටි පොලිස් නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. පල්ලෙවෙල පොලිස් ස්ථානධිපති ප්‍ර.පො.ප. ඉන්දික සංජීව මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. වරකාගොඩ, පො.සැ. (46442) ප්‍රදීප්, පො.කො. වරුන් වන (72332) ප්‍රදීප්, 90114 ධනුෂ්ක, (74854) වික්‍රමසිංහ, 99893) සේනාධීර යන මහත්වරු වැටලීමට සහභාගී වූහ.

කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment