කල්තබා ආපු උල්කාපාතය

1345

පාරවල් පාලුය, බස් නැත, සිපෙට්කෝ ඉන්ධන හල් ඉදිරිපිට තෙල් නැත්තටම නැතුව නැවතුණු වාහන හැර වාහන පෝලිම් නැත. පෝලිම් නැත්තේ අයිඕසී පෙට්‍රල් ෂෙඩ් ඉදිරිපිට පමණි. අර්ධ කොරෝනා සමයක් රට තුළ පෙනෙන්නට තිබේ. නැත්තේ කොවිඩ්-19 වෛරසය පමණි. එහෙත් වෛරසය නිසා හටගත් අතුරු ඵල සියල්ලම මහ පාරේදී ප්‍රදර්ශනය වෙමින් පවතී. කොවිඩ් සමයේදීත් මහ පාරේ හෝ පෙට්‍රල් ෂෙඩ්වල හෝ මිනිසුන් සිටියේ නැත. ඒ දවස්වල ද මිනිසුන්ට කන්න නැත. අදත් නැත. තෙල් නාවොත් හෙටත් නැත.

 මේ ආකාරයට මේ රටට ඉදිරියට යෑමට හැකිද? ඊළඟ ලෝක විනාශයට බොහෝ කලකට කලින් මේ රට විනාශ වී යනු ඇතැයි අපට හැඟේ. විශාල උල්කාපාතයක් පෘථිවිය හා ගැටීමෙන් ලෝක විනාශයක් සිදුවිය හැකිය. දැනට පවතින තත්ත්වයට අනුව ඒ උල්කාපාතය මුලින්ම ගැටෙන්නේ ලංකාව සමග විය යුතුය. මේ වේලාවේදී ලෝකයේ දරුණුම ආර්ථික අර්බුදය පවත්නා රටවල් අතරින් එකක් බවට මේ රට පත්වී තිබේ. තෙල් නැතිවන හැම දවසකම ආණ්ඩුව කියන්නේ රාජ්‍ය අංශය යම් ප්‍රමාණයකට වසා දමන බවය. පාසල් ද වසන බවය. කොරෝනා කාලයේ ද රාජ්‍ය අංශ වසන ලදි. පාසල්ද වසන ලදි. ආණ්ඩුව කියන්නේ ජූලි 10 වැනිදා වනතුරු ජනතාවට තෙල් පෝලිම්වලට නොයන ලෙසය. ජූලි 10 වැනිදා වීමට තවත් දවස් එකොළහක් තිබේ. ජූලි 10 වැනිදා සිට ආණ්ඩුව තෙල් බෙදන්නට පටන් ගතහොත් තවත් දවස් දාහතරකට රට මේ තත්ත්වයේද පවතිනවා ඇත. එයට හේතුව තෙල් ආ ආරංචියට මේ රටේ සිටින ජනයාගෙන් කෝටියකට වැඩි පිරිසක් තෙල් පෝලිම්වලට එක්රොක් වීමය. එවිට කාටවත් තෙල් දීමට ෂෙඩ්වලට නොහැකිය. ඒ මහා වියවුල විසඳීමට අඩුම ගණනේ දවස් දාහතරක්වත් යනු ඇත. එයින් හැඟෙන්නේ ජුනි මාසය ඇද්ද ආකාරයෙන් ජූලි මාසයද ඇදෙන්නට නියමිත බවය.

 ලංකාව පසුගියදා පාවිච්චි කර අවසන් කරන ලද්දේ ඉන්දීය ණය සහනාධාරය යටතේ ලැබුණු අන්තිම තෙල් ටිකය. ඉන්දියාවෙන් තවදුරටත් ණයට තෙල් නොලැබේ. ඒ නිසා තෙල් නැව් හතරක් අත්පිට මුදලට එරටින් ලබා ගැනීමට ලංකාව තීරණය කර තිබේ. එහෙත් මේ තෙල් නැව් ලබාගැනීමට ඩොලර් කොහෙන් ලැබේද යන්න කවුරුත් නොදනිති. සමහරවිට තෙල් නැව් කතාව ජනයා සැනසීම සඳහා කියන ලද කතාවක් වීමට ඉඩ තිබේ. ආණ්ඩුව මේ ආකාරයෙන්ම පසුගිය දිනවලදී ජනතාවට මාර සැපක් දුන්නේය. එනම් තෙල් පෝලිම්වල සිටින අයට පොලිසිය ලවා ටෝකන් දීමය. ඒ ටෝකන්වලින් සැනසී තෙල් නැතිව ගෙදර ගිය ජනතාව තව දින දෙකකින් යළි පෙට්‍රල් ෂෙඩ් ඉදිරිපිටට කැඳවන ලදි. ඉන්පසු පොලිසිය දුන් ටෝකන් වීසිකර දමා යුද හමුදාව මගින් අලුත් ටෝකන් වර්ගයක් නිකුත් කරන ලදි. කවුරු ටෝකන් දුන්නත් තෙල් නැත. ටෝකන් දමා වාහන පණ ගැන්වීමට ද නොහැක. ටෝකන් කොතරම් දුන්නත් ජූලි 10 වැනිදායින් පසු ලංකාවට තෙල් එනතෙක් ජනතාවට කිරීමට ඇත්තේ ටෝකන් එක රෝල්කර එයින් කණ කැසීම පමණි. ඊයේ මහමගදී දකින්නට ලැබුණේ ලංගම බස් පමණි. ගැබිනි මව්වරුද, වියපත් මිනිසුන් හා ගැහැනුද, කුඩා දරුවෝ ද මේ බස්වල තෙරපී ගමන් කළහ. ලංකාවේ මිනිස්සු අප්‍රමාණ වාසනාවන්තයෝ වෙති. බස්වල ෆුට් බෝඩ් එකේ වවුලන් මෙන් එල්ලී ගමන් කරන ඒ මිනිසුන් නොවැටුණු පිණිස අද්භූත බලවේගයක් මගින් අල්ලාගෙන සිටින බව පෙනේ. මෙය ලංකාව සහ ඉන්දියාව යන දෙරටේම කෝච්චි සහ බස්වල ෆුට් බෝඩ් එකේ ගමන් කරන ජනතාවට ලැබෙන සුවිශේෂී පිහිටකි.

 රටකට නායකත්වය දෙන්නේ ආණ්ඩුවය. එම නායකත්වය ක්‍රියාත්මක වන්නේ ප්‍රවාහනය නිසාය. පසුගිය අවුරුදු 200 තුළ මේ ලෝකවාසී ජනයා ඉතා වේගයෙන් නවීන ප්‍රවාහන ක්‍රමවලට ඇබ්බැහි වූහ. ඒ සියලුම නවීන ප්‍රවාහන ක්‍රමවලින් 90% ක්ම ක්‍රියාත්මක වන්නේ ඉන්ධනවලින් ය. ඉන්ධන නැති විට තැනකින් තැනකට යෑම කළ නොහැක. මේ නිසා නුවරඑළියේ හදන එළවළු නිසි වෙලාවට කොළඹට ගෙන ඒමට ක්‍රමයක් නැත. ඒ නිසා එම එළවළු කුණුවේ. කොළඹ තිබෙන එළවළු ටික කිලෝව රුපියල් 800 නැත්නම් 1000 ඉක්මවා ඉහළ යයි. මේ තත්ත්වය ආහාර කර්මාන්තයට ඉතා දරුණු ලෙස බලපායි. විශේෂයෙන්ම මත්ස්‍ය කර්මාන්තයේදී මේ තත්ත්වය ඉතාම නරක ප්‍රතිඵල ගෙන දේ. ඩීසල් නැති නිසා මසුන් ප්‍රවාහනය කිරීමට නොහැක. ඒ නිසා සිදුවන්නේ මුහුදු මාළු කරවල බවට පත් කිරීමය. එසේ නම් කරවල සුලබ වීම නිසා එහි මිල අඩු විය යුතුය. එහෙත් ලංකාවේ ආර්ථිකයේ ස්වභාවය ඉතාම වෙනස්ය. කොතරම් මාළු බහුල වුවත් මේ මොහොතේදී සාලයන් කිලෝව ද රුපියල් 800 ඉක්මවයි. ලංකා ඉතිහාසයේ සාලයන් සහ සූඩයන් මෙතරම් මිල ඉහළ ගිය මුල් අවස්ථාව මෙය වේ. එසේම ප්‍රවාහන දුෂ්කරතා නිසා විකුණා  ගැනීමට නොහැකි මාළු කරවල කරන්නේ නම් කරවල මිල අඩුවිය යුතුය. එහෙත් මේ වන විට කරවල කිලෝවක් ද රුපියල් 4000 කි. තවමත්  කුසගින්නේ මියගිය අය ගැන ලංකාවෙන් අසන්නට නොලැබේ. එහෙත් සිය දරුවන් කුසගින්නේ සිටින අයුරු බලා සිටීමට නොහැකි දෙමව්පියන් සියදිවි නසාගත් අවස්ථා ගැන දැනගන්නට තිබේ. ඖෂධ හිඟය ඉතාම නරක තැනකට පත්ව තිබේ. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල නිතරම කියන්නේ ඇති තරම් ඖෂධ වර්ග තිබෙන බවය. එහෙත් ඉස්පිරිතාලයට ගිය විට බෙහෙත් නැත. මෙය රටේ අවසානය ද නොඑසේ නම් ජනතාවගේ අවසානය ද යන්න නොතේරේ.

advertistmentadvertistment
advertistmentadvertistment